සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

7. චිත්ත සංයුත්තය

3. ඉසිදත්ත සූත්‍රය (2)

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි බොහෝ ස්ථවිර භික්ෂූහු අම්බාටක වනයෙහිවූ මච්ජිකාසණ්ඩ නම් වනලැහැබෙහි වාසය කෙරෙත්. ඉක්බිති චිත්ත ගෘහපති තෙම ස්ථවිර භික්ෂූන් යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, ස්ථවිර භික්ෂූන් වැඳ, එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන් චිත්ත ගෘහපතිතෙම ස්ථවිර භික්ෂූන්ට ‘ස්වාමීනි, තෙරුන් වහන්සේලා හෙට දවස පිණිස මගේ බත ඉවසත්වායි කීයේය. ස්ථවිර භික්ෂූහු නිශ්ශබ්ද භාවයෙන් ඉවසූහ. ඉක්බිති චිත්ත ගෘහපතිතෙම ස්ථවිර භික්ෂූන්ගේ ඉවසීම දැන හුන් අස්නෙන් නැගිට, ස්ථවිර භික්ෂූන් වැඳ ගෞරවකොට ගියේය. ඉක්බිති ස්ථවිර භික්ෂූහු ඒ රාත්‍රියගේ ඇවෑමෙන් පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිව්රු ගෙන චිත්ත ගෘහපතීහුගේ ගෘහය යම් තැනෙක්හිද එතැනට පැමිණියෝය. පැමිණ පණවනලද අස්නෙහි වැඩසිටියාහුය.

ඉක්බිති චිත්ත ගෘහපතිතෙම ස්ථවිර භික්ෂූහු යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, ස්ථවිර භික්ෂූන් වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් ස්ථවිරයන්ට ‘ස්වාමීනි, ස්ථවිරයන් වහන්ස යම් මේ නානාප්‍රකාර දෘෂ්ටීහු ලොකයෙහි උපදිත්ද, ලොකය ශාස්වතය කියාද, ලොකය අශාස්වතය කියාද, ලොකය අන්තයක් ඇත්තේය කියාද, ලොකය අන්තයක් නැත්තේය කියාද, එයම ජීවය වෙයි. එයම ශරීරය වෙයි. කියාද, අනිකක් ජීවය වෙයි, අනිකක් ශරීරය වෙයි කියාද, සත්වයා මරණින් මතු වන්නේය කියාද, සත්වයා මරණින් මතු නොවන්නේය කියාද, සත්වයා මරණින් මතු වන්නේද වෙයි. නොවන්නේද වෙයි කියාද, සත්වයා මරණින් මතු නොවෙයි. නොවන්නේත් නොවෙයි කියාද, බ්‍රහ්මජාල සූත්‍රයෙහි වදාරණ ලද යම් මේ දෙසැට දෘෂ්ටි කෙනෙක් ඇද්ද, ස්වාමීනි, මේ දෘෂ්ටීහු කුමක් ඇති කල්හි වෙත්ද, කුමක් නැති කල්හි නොවෙත්දැයි,” මෙසේ කීයේය.

මෙසේ කී කල්හි ආයුෂ්මත් ස්ථවිරතෙමේ නිශ්ශබ්ද විය. දෙවනුවත් චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් ස්ථවිරයන්ට ‘ස්වාමීනි ස්ථවිරයන් වහන්ස, යම් මේ නානාප්‍රකාර දෘෂ්ටීහු ලොකයෙහි උපදිත්ද ලොකය ශාස්වතය කියාද ලොකය අශාස්වතය කියාද, ලොකය අන්තයක් ඇත්තේය කියාද, ලොකය අන්තයක් නැත්තේය කියාද, එයම ජීවය වෙයි. එයම ශරීරය වෙයි කියාද, අනිකක් ජීවය වෙයි, අනිකක් ශරීරයවෙයි කියාද, සත්වයා මරණින් මතු වන්නේය කියාද, සත්වයා මරණින් මතු නොවන්නේය කියාද, සත්වයා මරණින් මතු වන්නේද වෙයි නොවන්නේද වෙයි කියාද, සත්වයා මරණින් මතු නොවෙයි, නොවන්නේද නොවෙයි කියාද, බ්‍රහ්මජාල සූත්‍රයෙහි වදාරණලද යම් මේ දෙසැට දෘෂ්ටි කෙනෙක් ඇද්ද, ස්වාමීනි, මේ දෘෂ්ටීහු කුමක් ඇතිකල්හි වෙත්ද, කුමක් නැතිකල්හි නොවෙත්දැයි” මෙසේ කීයේය. දෙවනුවත් ආයුෂ්මත් ස්ථවිරතෙම නිශ්ශබ්ද විය.

තුන්වෙනුවත් චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් ස්ථවිරයන්ට “ස්වාමීනි ස්ථවිරයන් වහන්ස ලොකයෙහි යම් මේ අනේකප්‍රකාර දෘෂ්ටීහු උපදිත්ද, ලොකය ශාස්වතය කියාද, ලොකය අශාස්වතය කියාද, ලොකය කෙළවරක් ඇත්තේය කියාද, කෙළවරක් නැත්තේය කියාද, එයම ජීවය වෙයි එයම ශරීරය වෙයි කියාද, ජීවිය අනිකකි ශරීරය අනිකකි කියාද, සත්වයා මරණින් මතු වෙයි කියාද, සත්වයා මරණින් මතු නොවෙයි කියාද, සත්වයා මරණින් මතු වන්නේද වෙයි. නොවන්නේද වෙයි කියාද, සත්වයා මරණින් මතු නොවන්නේද වෙයි නොවන්නේත් නොවේ කියාද බ්‍රහ්මජාල සූත්‍රයෙහි වදාරණලද යම් මේ දෙසැට දෘෂ්ටි කෙනෙක් ඇද්ද ස්වාමීනි මේ දෘෂ්ටීහු කුමක් ඇතිකල්හි වෙත්ද, කුමක් නැති කල්හි නොවෙත්දැයි” මෙය කීයේය. තුන්වෙනුවත් ආයුෂ්මත් ස්ථවිරතෙමේ නිශ්ශබ්ද විය.

එකල්හි වනාහි ආයුෂ්මත් ඉසිදත්ත තෙමේ ඒ භික්ෂු සංඝයා කෙරෙහි සියල්ලන්ට බාල වූයේ වෙයි. එකල්හි ආයුෂ්මත් ඉසිදත්ත තෙමේ ආයුෂ්මත් ස්ථවිරයන්ට “ස්වාමීනි, ස්ථවිරයන් වහන්ස, චිත්ත ගෘහපතිහුගේ මේ ප්‍රශ්නය මම ප්‍රකාශ කරන්නෙමියි” කීයේය.

“ඇවැත්නි, ඉසිදත්තය, චිත්ත ගෘහපතීහුගේ මේ ප්‍රශ්නය ඔබ ප්‍රකාශ කරව,”

“ගෘහපතිය, ස්වාමීනි ස්ථවිරයන් වහන්ස යම් මේ නානාප්‍රකාර දෘෂ්ටීහු ලොකයෙහි උපදිත්. ලොකය ශාස්වතය කියාද, ලොකය අශාස්වතය කියාද, ලොකය අන්තයක් ඇත්තේය කියාද, ලොකය අන්තයක් නැත්තේය කියාද, එයම ජීවය වෙයි. එයම ශරීරය වෙයි කියාද, අනිකක් ජිවය වෙයි. අනිකක් ශරීරය වෙයි කියාද, සත්වයා මරණින් මතු වන්නේය කියාද, සත්වයා මරණින් මතු නොවන්නේය කියාද, සත්වයා මරණින් මතු වන්නේද වෙයි නොවන්නේද වෙයි කියාද, සත්වයා මරණින් මතු නොවෙයි. නොවන්නේත් නොවෙයි කියාද, බ්‍රහ්මජාල සූත්‍රයෙහි වදාරණ ලද යම් මේ දෙසැට දෘෂ්ටි කෙනෙක් ඇද්ද, ස්වාමීනි, මේ දෘෂ්ටීහු කුමක් ඇති කල්හි වෙත්ද, කුමක් නැතිකල්හි නොවෙත්දැයි විචාළෙහිද?”

“ස්වාමීනි, එසේය.”

“ගෘහපතිය, ලොකයෙහි මේ නොයෙක් දෘෂ්ටීහු වෙත්ද, ලොකය ශාස්වතය කියාද, ලොකය අශාස්වතය කියාද, ලොකය කෙළවරක් ඇත්තේය කියාද, ලොකය කෙළවරක් නැත්තේය කියාද, එයම ජීවය වෙයි. එයම ශරීරය වෙයි කියාද, ජීවය අනිකකි. ශරීරය අනිකකි කියාද සත්වයා මරණින් මතු වෙයි කියාද, සත්වයා මරණින් මතු නොවෙයි කියාද, සත්වයා මරණින්මතු වන්නේද වෙයි නොවන්නේද වෙයි කියාද, සත්වයා මරණින් මතු නොවේ නොවන්නේද නොවේ කියාද, බ්‍රහ්මජාල සූත්‍රයෙහි වදාරණලද යම් මේ දෙසැට දෘෂ්ටි කෙනෙක් ඇද්ද ගෘහපතිය, මේ දෘෂ්ටීහු සක්කාය දෘෂ්ටිය ඇති කල්හි වෙත්. සක්කාය දෘෂ්ටිය නැති කල්හි නොවෙත්යයි කීය.

“ස්වාමීනි, කෙසේ නම් සක්කාය දෘෂ්ටිය වේද?”

“ගෘහපතිය, මේ ලොකයෙහි ආර්යයන් නොදක්නාවූ ආර්යධර්මයෙහි අදක්ෂවූ, ආර්යධර්මයෙහි නොහික්මුණු, සත්පුරුෂයන් නොදක්නාවූ, සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණු අශ්‍රැතවත් පෘථග්ජනතෙම රූපය ආත්මයයි දකීද, රූ ඇතියහු ආත්මයයි කියා හෝ ආත්මයෙහි රූපය ඇතැයි කියා හෝ රූපයෙහි ආත්මය ඇතැයි කියා හෝ දකියිද, වේදනාව ආත්මයයි දකීද, වේදනා ඇතියහු ආත්මය කියා හෝ ආත්මයෙහි වේදනාව ඇතැයි කියා හෝ වේදනාවෙහි ආත්මය ඇතැයි කියා හෝ දකියිද, සංඥාව ආත්මයයි දකීද, සංඥා ඇතියහු ආත්මයයි කියා හෝ ආත්මයෙහි සංඥාව ඇතැයි කියා හෝ සංඥාවෙහි ආත්මය ඇතැයි කියා හෝ දකියිද, සංස්කාරය ආත්මයයි දකීද, සංස්කාර ඇතියහු ආත්මයයි කියා හෝ ආත්මයෙහි සංස්කාර ඇතැයි කියා හෝ සංස්කාරයෙහි ආත්මය ඇතැයි කියා හෝ දකියිද, විඤ්ඤාණය ආත්මයයි දකීද, විඤ්ඤාණය ඇතියහු ආත්මයයි කියා හෝ ආත්මයෙහි විඤ්ඤාණය ඇතැයි කියා හෝ විඤ්ඤාණයෙහි ආත්මය ඇතැයි කියා හෝ දකීද, ගෘහපතිය, මෙසේ සක්කාය දෘෂ්ටිය වේ.

“ස්වාමීනි, සක්කාය දෘෂ්ටිය කෙසේ නොවේද?” “ගෘහපතිය, මේ ලොකයෙහි ආර්යයන් දක්නා ආර්ය ධර්මයෙහි දක්ෂවූ ආර්ය ධර්මයෙහි හික්මුණාවූ සත්පුරුෂයන් දක්නා සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ සත්පුරුෂ ධර්මයෙහි හික්මුණාවූ ශ්‍රැතවත් ආර්යශ්‍රාවක තෙම රූපය ආත්මය වශයෙන් නොදකියිද, රූපය ඇතියහු ආත්මයයි කියා හෝ ආත්මයෙහි රූපය ඇතැයි කියා හෝ රූපයෙහි ආත්මය ඇතැයි කියා හෝ නොදකීද, වේදනාව ආත්මය වශයෙන් නොදකියිද, වේදනාව ඇතියහු ආත්මය කියා හෝ ආත්මයෙහි වේදනාව ඇතැයි කියා හෝ වේදනාවෙහි ආත්මය ඇතැයි කියා හෝ නොදකීද, සංඥාව ආත්මය වශයෙන් නොදකියිද, සංඥාව ඇතියහු ආත්මයයි කියා හෝ ආත්මයෙහි සංඥාව ඇතැයි කියා හෝ සංඥාවෙහි ආත්මය ඇතැයි කියා හෝ නොදකීද, සංස්කාර ආත්මය වශයෙන් නොදකියිද, සංස්කාර ඇතියහු ආත්මයයි කියා හෝ ආත්මයෙහි සංස්කාරය ඇතැයි කියා හෝ සංස්කාරයෙහි ආත්මය ඇතැයි කියා හෝ නොදකීද විඤ්ඤාණය ආත්මය වශයෙන් නොදකීද, විඤ්ඤාණය ඇතියහු ආත්මයයි කියා හෝ ආත්මයෙහි විඤ්ඤාණය ඇතැයි කියා හෝ විඤ්ඤාණයෙහි ආත්මය ඇතැයි කියා හෝ නොදකීද ගෘහපතිය, මෙසේ සක්කාය දෘෂ්ටිය නොවේ.

“ස්වාමීනි, ආර්ය ඉසිදත්ත ස්ථවිර තෙමේ කොහි සිට එන්නේද?”

“ගෘහපතිය, මම අවන්ති රට සිට එමි.”

“ස්වාමීනි, අවන්තියෙහි ඉසිදත්ත නම්වූ අපගේ අදෘෂ්ට මිත්‍ර (නොදැක මිත්‍රවූ) පැවිද්දෙක් ඇත්තේය, ආයුෂ්මතුන් වහන්සේ විසින් එතෙම දක්නා ලද්දේද?”

“ගෘහපතිය, එසේය.”

“ස්වාමීනි, ඒ ආයුෂ්මත්තෙම දැන් කොහි වාසය කෙරේද? මෙසේ කී කල්හි ආයුෂ්මත් ඉසිදත්ත තෙමේ තුෂ්ණිම්භූත විය.

“ස්වාමීනි, ආර්යයන් වහන්සේ අපගේ ඉසිදත්ත ස්ථවිරයෝද?”

“ගෘහපතිය, එසේය.”

“ස්වාමීනි, ආර්ය ඉසිදත්ත ස්ථවිරයන් වහන්සේ මච්ඡිකාසණ්ඩයෙහි විසීමට කැමති වෙත්වා. අම්බාටක වනය සිත්කලුය. මම ආර්ය ඉසිදත්ත ස්ථවිරයන් වහන්සේට චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර සැපයීමට උත්සාහ කරන්නෙමි.

“ගෘහපතිය (තොප විසින්) යහපතක් කියනු ලැබේයයි” කීය.

“ඉක්බිති චිත්ත ගෘහපතිතෙම ආයුෂ්මත් ඉසිදත්ත, ස්ථවිරයන් වහන්සේගේ වචනයට සතුටුව අනුමෝදන්ව ස්ථවිර භික්ෂූන් ප්‍රණීතවූ කෑයුතු දෙයින් බුදියයුතු දෙයින් සියතින් වැළඳවිය. ඇතැයි ප්‍රතික්ෂේප කරවීය. ඉක්බිති වළඳා පාත්‍රයෙන් ඉවත්කරන ලද අත් ඇති ස්ථවිර භික්ෂූහු ආසනයෙන් නැගිට ගියාහුය. ඉක්බිති ආයුෂ්මත් ප්‍රධාන ස්ථවිර තෙම ආයුෂ්මත් ඉසිදත්ත ස්ථවිරයන්ට “ඇවැත් ඉසිදත්තය, තොපට මේ ප්‍රශ්නය වැටහීම යහපතකි. මේ ප්‍රශ්නය මට නොවැටහුණේය. ඇවැත්නි ඉසිදත්තය, එහෙයින් යම් අන් දවසෙක්හිද මෙබඳු ප්‍රශ්නයක් පැමිණෙන්නේ නම් මෙහි තොපිම කියන්නේයයි” කීයේය. ඉක්බිති ආයුෂ්මත් ඉසිදත්තතෙමේ සෙනසුන හකුළුවා පාත්‍ර සිවුරුගෙන මච්ඡිකාසණ්ඩයෙන් වැඩියේය. යම්හෙයකින් මච්ඡිකාසණ්ඩයෙන් ගියේද එසේ ගියේම විය නැවත ආපසු නොආයේය.