සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

8. ගාමණී සංයුත්තය

10. මණිචූළ සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම් වෙළුවනයෙහි වාසය කරණසේක. ඒ කාලයෙහි රජුගේ ඇතුළු නුවරෙහි රාජ පිරිසෙහි රැස්වූවන් අතරෙහි මේ කථාව ඇතිවිය. ‘ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට රන් රිදී කහවණු කැපද ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ රන් රිදී කහවණු ඉවසත්ද ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී කහවණු පිළිගනිත්ද?” යනුයි.

ඒ කාලයෙහි මණිචූළක ගාමණි තෙම ඒ පිරිසෙහි හුන්නේ විය. එකල්හි මණිචූළකතෙම, “ආචාර්යයෝ මෙසේ නොකියත්වා ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට රන් රිදී කහවණු කැප නැත. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී කහවණු නොඉවසත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී කහවණු නොපිළිගනිත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී කහවණුවලින් දුරුවූවෝයයි” කීය. මණිචූළක ගාමණි ඒ පිරිසට අවබොධ කරවන්ට නොහැකිවිය.

“ඉක්බිති මණිචුලක ගාමණිතෙම භාග්‍යවතුන්වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් මණිචූලක ගාමණි තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, මෙහි රජුගේ ඇතුල් නගරයෙහි රජ පිරිසෙහි රැස්වූවන් අතර ‘ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට රන් රිදී කහවණු කැපද? ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී කහවණු ඉවසත්ද? ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී කහවණු පිළිගනිත්ද?” යන මේ කථාව පහළවිය. ස්වාමීනි, මෙසේ කී ඒ පිරිසට මම ‘ආර්යයෙනි එසේ නොකියනු මැනව. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට රන් රිදී කහවණු අකැපය. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී කහවණු නොඉවසත්. ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ රන් රිදී කහවණු නොපිළිගනිත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ බහාතබනලද රන් රුවන් ඇත්තාහ. ඉවත්කළ රන් රිදී කහවණු ඇත්තාහයි’ කීවෙමි. ඒ පිරිසට අවබොධ කරවන්නට නොහැකිවිය. ස්වාමීනි, කිමෙක්ද මෙසේ කියන්නාවූම භාග්‍යවතුන් වහන්සේ කියන ලද්දක් කියන්නෙක් වූයෙම්ද? භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් චොදනා නොකෙරෙම්ද? ධර්මයට අනුකූල දෙයක් ප්‍රකාශකෙරෙම්ද? කිසියම් කරුණු සහිත, වාදයකින් ගැරහිය යුතු තැනට නොපැමිණෙම්ද? යනුයි.

“ගාමණිය, මෙසේ ප්‍රකාශ කරණු ලැබූ ඔබ ඒකාන්තයෙන් මා විසින් කියනලද්දක්ම කියන්නෙක් වූයෙහිය. ඔබ බොරුවෙන් චොදනා නොකරන්නෙහිය. ධර්මයට අනුකූල දෙයක් ප්‍රකාශ කෙළෙහිය. කිසියම් කරුණු සහිත වාදයකින් ගැරහියයුතු තැනට නොපැමිණියේයි ගාමණිය, ශ්‍රමණශාක්‍ය පුත්‍රයන්ට රන් රිදී කහවණු අකැපය. ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ රන් රිදී කහවණු නොඉවසත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී කහවණු පිළිනොගනිත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ බහාතබනලද රන් රුවන් ඇත්තාහ. ඉවත්කළ රන් රිදී කහවණු ඇත්තාහ. ගාමණිය, යමෙකුට රන් රිදී කහවණු කැපනම් ඔහුට පස්කම් සැපම කැප වෙත්. ඔහුටම රන් රිදී කහවණු කැපය. ගාමණිය මෙය ඒකාන්තයෙන් අශ්‍රමණ ධර්මයකැයිද අශාක්‍ය පුත්‍ර ධර්මයකැයිද දැනගන්නෙහිය. එහෙත් ගාමණිය මම මෙසේ කියමි. තෘණකැමැත්තවුන් විසින් තෘණ සෙවිය යුතුය. ලී දඬු කැමැත්තන් විසින් ලී දඬු සෙවිය යුතුය. ගැල්වලින් ප්‍රයොජන ඇත්තන් විසින් ගැල් සෙවිය යුතුය. පුරුෂයන්ගෙන් ප්‍රයෝජන ඇත්තන් විසින් පුරුෂයන් සෙවිය යුතුය. ගාමණිය, මම කිසිම ආකාරයකින් රන් රිදී මසු සෙවිය යුතුයයි ඉවසිය යුතුයැයි නොකියමියි.” වදාළසේක.