සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

8. ගාමණී සංයුත්තය

11. භට්ඨභ සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මල්ල ජනපදයන්හි උරුවෙල කප්ප නම් මල්ල රජවරුන්ගේ නියම් ගමෙහි වාසය කරණසේක. එකල්හි භද්‍රග ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්නේය. එක්පසෙක හුන් භද්‍රභ ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට දුකට හේතුවද දුක නැතිකිරීමද, දේශනා කරන්නේ නම් යහපතැයි කීයේය.

“ඉදින් ගාමණිය, මම ඔබට අතීත කාලයෙහි මෙසේ වීයයි අතීත කාලය අරබයා දුකට හේතුවද දුක නැතිකිරීමද දෙශනා කරන්නෙම් නම් එහි ඔබට සැකයක් විමතියක් වන්නේය. ගාමණිය, මම ඔබට අනාගත කාලය අරබයා අනාගත කාලයෙහි මෙසේ වන්නේ යයි දුකට හේතුවත් දුක නැතිකිරීමත් ඉදින් දෙශනා කරන්නෙම් නම් එහිද ඔබට සැකයක් විමතියක් වන්නේය. ගාමණිය, මෙහි ඉන්නාවූ මම මෙහි ඉන්නාවූ තොපට දුකට හේතුවද දුක නැතිකිරීමද, දෙශනා කරන්නෙමි. එය අසව යහපත්සේ මෙනෙහි කරව. දෙශනා කරන්නෙමියි” වදාළේය.

“එසේයයි ස්වාමීනි, භද්‍රග ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේ මෙසේ වදාළේය.

“ගාමණිය, ඒ කුමකැයි සිතන්නෙහිද යම් කෙනෙකුන්ගේ මරණයෙන් හෝ හිරකිරීමකින් හෝ ධනහානියකින් හෝ නින්දාවකින් හෝ ශොකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් උපදින්නාහු නම් එවැනි මනුෂ්‍යයෝ තොපට මේ උරුවෙලකප්පයෙහි ඇත්තාහුද?”

“ස්වාමීනි. මට උරුවෙලකප්පයෙහි යම් කෙනෙකුන්ගේ මරණයෙන් හෝ හිරකිරීමකින් හෝ ධන හානියකින් හෝ නින්දාවකින් හෝ ශොක පරිදෙව දුක්ඛ දොමනස්ස උපයාසයෝ උපදිත් නම් එබඳු මනුෂ්‍යයෝ මට ඇත්තාහුය.” “ගාමණිය, යම් කෙනෙකුන්ගේ මරණයෙන් හෝ හිරකිරීමකින් හෝ ධන හානියෙන් හෝ නින්දාවකින් හෝ ශොකපරිදෙවදුක්ඛ දොමනස්සය උපායාසයෝ නූපදින්නාහුද එබඳු මනුෂ්‍යයෝ තොපට මේ උරුවෙලකප්පයෙහි ඇත්තාහුද?”

“ස්වාමීනි, මට යම් කෙනෙකුන් මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ ධන හානියෙන් හෝ නින්දාවෙන් හෝ ශොක පරිදෙවදුක්ඛ දොමනස්සයෝ නූපදිත්ද?, එවැනි මනුෂ්‍යයෝද මට උරුවෙලකප්පයෙහි ඇත”

“ගාමණිය, ඇතැම් උරුවෙලකප්පවාසී මනුෂ්‍යයන්ගේ මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ ධන හානියෙන් හෝ නින්දාවෙන් හෝ ශොකපරිදෙවදුක්ඛ දොමනස්ස උපායාසයන් උපදින්නාහුද? ඊට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද? ගාමණිය, ඇතැම් උරුවෙලකප්පවාසී මනුෂ්‍යයන්ගේ මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ ධන හානියෙන් හෝ නින්දාවෙන් හෝ සොකපරිදෙව දුක්ඛදොමනස්ස උපායාසයෝ නූපදින්නාහුද ඊට හේතු කවරේද, ප්‍රත්‍යය කවරේද?”

“ස්වාමීනි, මට යම් උරුවෙලකප්පවාසී මනුෂ්‍යයන්ගේ මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ හානියෙන් හෝ නින්දාවෙන් හෝ සොකපරිදෙව දුක්ඛදොමනස්ස උපායාසයෝ උපදින්නාහුද ඔවුන් කෙරෙහි මගේ ආශාවක් ඇත්තේය. ස්වාමීනි, මට යම් උරුවෙලකප්පවාසී මනුෂ්‍යයන්ගේ මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ ධන හානියෙන් හෝ නින්දාවෙන් හෝ සොකපරිදෙව දුක්ඛදොමනස්ස උපායාසයෝ නූපදින්නාහු නම් ඔවුන් කෙරෙහි මට ආශාවක් නැත්තේය.”

“ගාමණිය, ඔබ දක්නාලද ප්‍රකට කරනලද පැමිණෙනලද බැසගන්නාලද මේ ධර්මයෙන් අතීත, අනාගත දෙකක් දැනගනුව. අතීත අනාගතවූ යම් දුකක් උපදීද ඒ සියල්ලද ආශාව මුල්කොට ඇත්තේය. ආශාව හෙතුකොට ඇත්තේය. ආශාව දුකට මුල්වෙයි. යම් කිසි අනාගත දුකක් උපදින්නේද ඒ සියල්ල ආශාව මුල්කොට ඇත්තේය. ආශාව හෙතුකොට ඇත්තේය. ආශාව දුකට මුලයයි වදාළසේක.

“ස්වාමීනි, ආශ්චර්යය, ස්වාමීනි අද්භූතය, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ යම්කිසි අතීත අනාගත දුකක් උපදීද ඒ සියල්ල ආශාව මුල්කොට ඇත්තේය. ආශාව හෙතුකොට ඇත්තේය. ආශාව දුකට මුලයයිද යම්කිසි අනාගත දුකක් උපදින්නේද ඒ සියල්ල ආශාව මුල්කොට ඇත්තේය. ආශාව හෙතුකොට ඇත්තේය, ආශාව දුකට මුලයයි වදාළ වචනය ඉතා යහපත්කොට වදාරණලදැයි” කීය.

“ස්වාමීනි, මට නුවරින් පිට වාසය කරන්නාවූ චිරවාසී නම් කුමරෙක් ඇත ස්වාමීනි, ඒ මම වේලාසනින්ම නැගිට ‘බොල යව, චිරවාසී කුමාරයාගේ සුවදුක් දැන එවයි’ පුරුෂයකු යවන්නෙමි. ස්වාමීනි, යම්තාක් ඒ පුරුෂතෙම නොඑයිද චිරවාසී කුමාරයාට කිසි ආබාධයක්වත් දැයි මගේ සිත වෙනස්වෙයි.

“ගාමණිය, ඒ කුමකැයි හඟින්නෙහිද ඔබගේ චීරවාසී කුමාරයාගේ මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ ධන හානියෙන් හෝ නින්දාවෙන් හෝ ශොක පරිදෙවදුඃඛ දොමනස්ස උපායාසයෝ උපදින්නාහුද?”

“ස්වාමීනි, මගේ චිරවාසී කුමාරයාගේ මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ ධන හානියෙන් හෝ නින්දාවෙන් හෝ ජීවිතයාගේ වෙනසක් වන්නේය. කුමක් හෙයින් ශොක පරිදෙව දුක්ඛ දොමනස්ස උපායාසයෝ නූපදින්නාහුද?”

“ගාමණිය, මේ ආකාරයෙන්ද යම් කිසි දුකක් උපදී නම් ඒ සියල්ල ආශාව මුල්කොට ඇත්තේය. ආශාව හෙතුකොට ඇත්තේය දුකට ආශාව මුලයයි දතයුතුයි.

“ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද? යම් (කිසි) කලෙක්හි තොප විසින් චිරවාසී කුමාරයාගේ මව නොදක්නා ලද්දීද? නොඅසන ලද්දීද? එකල්හි චිරවාසී කුමාරයාගේ මව කෙරෙහි කැමැත්තක් හෝ ආශාවක් හෝ ප්‍රෙමයක් හෝ වූයේද?” “ස්වාමීනි, එසේ නොවීය.”

“ගාමණිය තොපට දැකීම නිසා හෝ ගාමණිය තොපට ඇසීම නිසා හෝ චිරවාසී කුමාරයාගේ මව කෙරෙහි කැමැත්ත හෝ ආශාව හෝ ප්‍රේමය හෝ වූයේද?” “ස්වාමීනි, එසේය.”

“ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද? තොපට චිරවාසී කුමාරයාගේ මවගේ මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ ධන හානියෙන් හෝ නින්දාවෙන් හෝ ශොකපරිදෙව දුක් දොම්නස් උපායාසයන් උපදින්නාහුද?”

“ස්වාමීනි. මට චිරවාසී කුමාරයාගේ මවගේ මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ ධන හානියෙන් හෝ නින්දාවෙන් හෝ ජීවිතයේ වෙනසක්ද වන්නේය. කුමක් නිසා මට ශොක පරිදෙව දුක් දොම්නස් උපායාසයෝ නූපදින්නාහුද?

‘ගාමණිය, මේ කරුණින්ද යම්කිසි දුකක් උපදී නම් ඒ සියල්ල ආශාව මුල්කොට ඇත්තේය. ආශාව හෙතුකොට ඇත්තේය. ආශාව දුකට මුලයයි දතයුතුයයි වදාළේය.