සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

8. ගාමණී සංයුත්තය

12. රාසිය සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. ඉක්බිති රාසිය නම් ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් රාසිය ගාමණිතෙම භාග්‍යවතුන්සේට “ස්වාමීනි, ‘ශ්‍රමණ ගෞතමතෙම සියලු තපස්වලට ගර්හා කරති. රූක්ෂව ජීවත් වන සියලු තපස් ඇත්තන්ට ඒකාන්තයෙන් දොස් කියත්. ආක්‍රොශ කෙරෙත් යයි,’ මෙය මා විසින් අසන ලදී. ස්වාමීනි, යම් ඒ කෙනෙක් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සියලු තපස්වලට ගරහති. රූක්ෂව ජීවත්වන සියලු තපස් ඇත්තන්ට දොස් කියති. ආක්‍රොශ කරතිය’යි යමෙක් කීවාහුද, කිමෙක්ද ඔව්හු භාග්‍යවතුන් වහන්සේ කියන ලද්දක් කියන්නහුද භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් චොදනා නොකරන්නාහුද? ධර්මයට අනුකූල දෙයක් ප්‍රකාශ කරත්ද? කිසියම් කරුණු සහිත වාදයකින් ගැරහිය යුතු තැනට නොපැමිණේ දැයි” ඇසුයේය.

“ගාමණිය, යම් ඒ කෙනෙක් ‘ශ්‍රමණ ගෞතමතෙම සියලු තපස් ගරහති. රූක්ෂව ජීවත්වන සියලු තපස් ඇත්තන්ට ඒකාන්තයෙන් දොස් කියත්. ආක්‍රොශ කරත්”යයි මෙසේ කියන්නාහුද ඔව්හු මා විසින් කියන ලද්දක් කියන්නාහු නොවෙති. ඔව්හු මාහට බොරුවෙන් චොදනා කරන්නාහුය.

“ගාමිණිය, පැවිද්දා විසින් සෙවනය නොකළ යුතු මේ අන්ත දෙකක් වෙයි. යම් මේ හීනවූ ග්‍රාම්‍යවූ පෘථග්ජනයන්ට අයත් ආර්ය නොවූ අනර්ථය පිණිස පවත්නාවූ කම්සැපෙහි ඇලී වාසය කිරීමක් වෙයිද යම් මේ දුක්වූ අනාර්යවූ අනර්ථය පිණිස පවත්නාවූ ශරීරයට දුක්දීමෙහි යෙදී වාසය කිරීමක් වෙයිද මේ අන්ත දෙක වෙයි.

“ගාමණිය, මේ අන්ත දෙකට නොපැමිණ තථාගතයන් වහන්සේ විසින් අවබොධ කරනලද මධ්‍යම ප්‍රතිපදාව ප්‍රඥා චක්ෂුස ඇතිකරන්නේය, ඤාණය ඇති කරන්නේය. කෙලෙස් සංසිඳුවීම පිණිස විශෙෂයෙන් දැනීම පිණිස යහපත් අවබොධය පිණිස නිවන පිණිස පවත්නේය. ගාමණිය, තථාගතයන් වහන්සේ විසින් අවබොධ කරන ලද්දාවූ ප්‍රඥාචක්ෂූස ඇති කරන්නාවූ ඤාණය උපදවන්නාවූ කෙලෙස් සංසිඳවීම පිණිස පවත්නාවූ විශෙෂ ඥානය පිණිස පවත්නාවූ යහපත් අවබොධය පිණිස පවත්නාවූ නිවන පිණිස පවත්නාවූ ඒ මධ්‍යම ප්‍රතිපදාව කවරීද, සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයමය. ගාමණිය, මේ වනාහි තථාගතයන් වහන්සේ විසින් අවබොධ කරන ලද ප්‍රඥාචක්ෂුස ඇති කරන්නාවූ ඤාණය ඇති කරන්නාවූ කෙලෙස් සංසිඳුවීම පිණිස පවත්නාවූ විශෙෂ ඥානය පිණිස පවත්නාවූ යහපත් අවබොධය පිණිස පවත්නාවූ නිවන පිණිස පවත්නාවූ මධ්‍යම ප්‍රතිපදාවයි.

“ගාමණිය, කාමභොගීන් තුන්දෙනෙක් ලොකයෙහි ඇත්තාහුය. කවර තුන්දෙනෙක්ද යත්. ගාමණිය, මේ ලොකයෙහි ඇතැම් කාමභොගියෙක්තෙම අධර්මයෙන් සාහසිකව වස්තුව සපයයි. අධර්මයෙන් සාහසිකව වස්තුව සපයා තමාද සැප නොවිඳියි. නොපිණවයි. අනුන්ටද බෙදා නොදෙයි පින් නොකෙරෙයි. මේ ලෝකයෙහි ඇතැම් කාම භොගියෙක් තෙම අධර්මයෙන් සාහසිකව වස්තුව සපයයි. අධර්මයෙන් සාහසිකව වස්තුව සපයා තමා සැප විඳියි. පිණවයි. අනුන්ට බෙදා නොදෙයි. පින් නොකෙරෙයි. ගාමණිය, මේ ලෝකයෙහි ඇතැම් කාමභොගියෙක් තෙම අධර්මයෙන් සාහසිකව වස්තුව සපයයි. අධර්මයෙන් හාහසිකව වස්තුව සපයා තමාද සුවපත් වෙයි. පිණවයි. බෙදා දෙයි. පින් කරයි.

“ගාමණිය, මේ ලෝකයෙහි ඇතැම් කාමභොගියෙක් තෙම ධර්මයෙන්ද, අධර්මයෙන්ද සාහසිකවද, අසාහසිකවද, වස්තුව සපයයි ධර්මයෙන්ද, අධර්මයෙන්ද, සාහසිකවද, අසාහසිකවද වස්තුව සපයා තමාද සැප නොවිඳියි නොපිණවයි. බෙදා නොදෙයි පින් නොකරයි. ගාමණිය, මේ ලෝකයෙහි ඇතැම් කාමභොගියෙක් තෙම ධර්මයෙන්ද අධර්මයෙන්ද, සාහසිකවද, අසාහසිකවද වස්තුව සපයයි. ධර්මයෙන්ද, අධර්මයෙන්ද, සාහසිකවද, අසාහසිකවද වස්තු සපයා තමා සැප විඳියි. පිණවයි. බෙදා නොදෙයි. පින් නොකරෙයි. ගාමණිය, මේ ලෝකයෙහි ඇතැම් කාමභොගියෙක් තෙම ධර්මයෙන්ද, අධර්මයෙන්ද, සාහසිකවද, අසාහසිකවද, වස්තුව සපයා තමා සැප විඳියි. බෙදා දෙයි පින් කෙරෙයි.

“ගාමණිය, මේ ලෝකයෙහි ඇතැම් කාමභොගියෙක් තෙම ධර්මයෙන් අසාහසිකව වස්තුව සපයයි. ධර්මයෙන් අසාහසිකව වස්තුව සපයා තමා සැප නොවිඳියි. නොපිණවයි. බෙදා නොදෙයි. පින් නොකරයි. ගාමණිය, මේ ලෝකයෙහි ඇතැම් කාමභොගියෙක් තෙම ධර්මයෙන් අසාහසිකව වස්තුව සපයයි. ධර්මයෙන් අසාහසිකව වස්තුව සපයා තමා සැප විඳියි. පිණවයි බෙදා නොදෙයි. පින් නොකෙරෙයි. ගාමණිය, මේ ලෝකයෙහි ඇතැම් කාමභොගියෙක් තෙම ධර්මයෙන් අසාහසිකව වස්තුව සපයයි. ධර්මයෙන් අසාහසික වස්තුව සපයා තමා සැප විඳියි. පිණවයි බෙදාදෙයි. පින් කරයි. ඒ වස්තුව ඇලී ගැලී මුසපත්ව ආදීනව නොදැක නිස්සරණ ප්‍රඥාවෙන් තොරව පරිභොග කරයි. ගාමණිය, මේ ලෝකයෙහි ඇතැම් කාමභෝගී පුද්ගලයෙක් ධර්මයෙන් අසාහසිකව වස්තුව සපයයි. ධර්මයෙන් අසාහසිකකමින් වස්තුව සපයා තමා සැප විඳියි, පිණවයි. බෙදා දෙයි, පින් කරයි ඒ වස්තුව නොඇලී නොගිලී මුසපත් නොවී පරිභෝග කරයි.

“ගාමණිය, මොවුන් අතුරෙන් යම් මේ කාමභෝගියෙක් අධර්මයෙන් සාහසිකව වස්තුව සපයයිද, අධර්මයෙන් සාහසිකව වස්තුව සපයා තමා සැපනොවිඳියිද, නොපිණවයිද, බෙදා නොදෙයිද, පින් නොකරයිද, ගාමණිය, මේ කාමභෝගී තෙම කරුණු තුනකින් ගැරහිය යුතු වන්නේය. කවර කරුණු තුනකින් ගැරහිය යුත්තේද යත්, අධර්මයෙන් සාහසිකව වස්තුව සපයයි යන මේ පළමුවෙනි කරුණින් ගැරහිය යුතුවේ. තමා සැප නොවිඳියි, නොපිණවයි, යන මේ දෙවෙනි කරුණින් ගැරහිය යුතුවේ. බෙදා නොදෙයි. පින් නොකෙරෙයි, යන මේ තුන්වෙනි කරුණින් ගැරහිය යුතුවේ. ගාමණිය, මේ කාමභෝගි පුද්ගලතෙම මේ කරුණු තුනින් ගැරහිය යුතුවේ.

“ගාමණිය, ඔවුන් අතුරෙන් යම් ඒ මේ කාමභෝගි පුද්ගලයෙක් ධර්මයෙන් සාහසිකව වස්තුව සපයයිද, අධර්මයෙන් සාහසිකව වස්තුව සපයා තමා සැප විඳියිද, බෙදා නොදෙයිද පින් නොකරයිද, ගාමණිය, මේ කාමභෝගිතෙම කරුණු දෙකකින් ගැරහිය යුතුවෙයි. එක් කරුණකින් පැසසිය යුතුවේ. කවර කරුණු දෙකකින් ගැරහිය යුතුද අධර්මයෙන් සාහසිකව වස්තුව සපයයි යන මේ පළමුවෙනි කරුණින් ගැරහිය යුතුවෙයි. බෙදා නොදෙයි. පින් නොකරයි යන මේ දෙවැනි කරුණින් ගැරහිය යුතුවෙයි. කවර එක් කරුණකින් පැසසිය යුත්තේද, තමා සැප විඳියි. පිණවයි යන මේ එක් කරුණකින් පැසසිය යුතුවෙයි. ගාමණිය මේ කාමභෝගීතෙම මේ කරුණු දෙකින් ගැරහිය යුතුවෙයි. මේ එක් කරුණකින් පැසසිය යුතු වෙයි.

“ගාමණිය, ඔවුන් අතුරෙන් යම් මේ කාමභෝගියෙක් තෙම අධර්මයෙන් සාහසිකව වස්තුව සපයයිද, අධර්මයෙන් සාහසිකව වස්තුව සපයා තමා සැප විඳියිද, පිණවයිද, බෙදා දෙයිද, පින්කරයිද, ගාමණිය, මේ කාම භෝගීතෙම එක් කරුණකින් ගැරහිය යුතු වෙයි. කරුණු දෙකකින් පැසසිය යුතුවෙයි. කවර එක් කරුණකින් ගැරහිය යුත්තේද, අධර්මයෙන් සාහසිකව වස්තුව සපයයි යන මේ එක් කරුණින් ගැරහිය යුතු වෙයි. කවර කරුණු දෙකකින් පැසසිය යුත්තේද යත් තමා සැප විඳියි. පිනවයි යන මේ පළමුවෙනි කරුණින් පැසසිය යුතුවෙයි. බෙදා දෙයි පින් කෙරෙයි මේ යන දෙවෙනි කරුණින් පැසසිය යුතු වෙයි. ගාමණිය මේ කාමභෝගිතෙම එක් කරුණකින් ගැරහිය යුතුවෙයි. මේ කරුණු දෙකකින් පැසසිය යුතුවෙයි.

“ගාමණිය, ඔවුන් අතුරෙන් යම් මේ කාමභෝගියෙක් තෙම ධර්මයෙන්ද, අධර්මයෙන්ද, සාහසිකවද, අසාහසිකවද වස්තුව සපයයිද, තමා සැප නොවිඳියිද, නොපිණවයිද, බෙදා නොදෙයිද පින් නොකරයිද, ගාමණිය මේ කාමභොගීතෙම එක් කරුණකින් පැසසිය යුතුවෙයි. කරුණු තුනකින් ගැරහිය යුතුවෙයි. කවර එක් කරුණකින් පැසසිය යුතුද? ධර්මයෙන් අසාහසිකව වස්තුව සපයයි යන මේ කරුණකින් පැසසිය යුතුවේ. කවර තුන් කරුණකින් ගැරහිය යුතුද? අධර්මයෙන් සාහසිකව වස්තුව සපයයි. මේ පළමුවන කරුණින් ගැරහිය යුතුවෙයි. තමා සැප නොවිඳියි, නොපිණවයි යන දෙවෙනි කරුණින් ගැරහිය යුතුවෙයි. බෙදා නොදෙයි, පින් නොකරයි යන තුන්වෙනි කරුණින් ගැරහිය යුතුවෙයි. ගාමණිය, මේ කාමභෝගිතෙම මේ එක් කරුණකින් පැසසිය යුතු වෙයි. මේ කරුණු තුනකින් ප්‍රශංසා කටයුතු වෙයි.

“ගාමණිය, ඔවුන් අතුරෙන් යම් මේ කාමභොගියෙක් තෙම ධර්මයෙන්ද, අධර්මයෙන්ද, සැහැසිවද, නොසැහැසිවද වස්තුව සපයයිද, ධර්මයෙන්ද, අධර්මයෙන්ද, සැහැසිවද, නොසැහැසිවද වස්තුව සපයා තමා සැප විඳියිද, පිණවයිද, බෙදා නොදෙයිද, පින් නොකරයිද, ගාමණිය මේ කාමභොගි තෙමෙ කරුණු දෙකකින් පැසසිය යුතුවේ. කරුණු දෙකකින් ගැරහිය යුතුවේ. කවර කරුණු දෙකකින් පැසසිය යුතුද? ධර්මයෙන් නොසැහැසිව වස්තුව සපයයි යන මේ පළමුවැනි කරුණකින් පැසසිය යුතුවෙයි. තමා සැපවිඳියි. පිණවයි යන මේ දෙවෙනි කරුණින් පැසසුම් ලැබියයුතු වෙයි. කවර කරුණු දෙකකින් ගැරහිය යුතුද? අධර්මයෙන් සැහැසිව වස්තුව සපයයි යන මේ පළමුවෙනි කරුණින් ගැරහිය යුතුවේ බෙදා නොදෙයි පින් නොකෙරේයයි යන මේ දෙවෙනි කරුණින් ගැරහිය යුතුවේ. ගාමණිය මේ කාමභොගි තෙම මේ කරුණු දෙකින් පැසසිය යුතුවේ. මේ කරුණු දෙකින් ගැරහිය යුතුවේ.

“ගාමණිය, ඔවුන් අතුරෙන් යම් මේ කාමභොගියෙක් තෙම ධර්මයෙන්ද, අධර්මයෙන්ද, සැහැසිවද, නොසැහැසිවද, වස්තුව සපයයිද, ධර්මයෙන්ද, අධර්මයෙන්ද, සැහැසිවද නොසැහැසිවද වස්තුව සපයා තමා සැප විඳියිද, පිණවයිද, බෙදා දෙයිද, පින් කරයිද, ගාමණිය මේ කාමභොගී තෙම කරුණු තුනකින් පැසසිය යුතුවෙයි.

“එක් කරුණකින් ගැරහිය යුතුවෙයි. කවරකරුණු තුනකින් පැසසිය යුතුද? ධර්මයෙන් නොසැහැසිව වස්තුව සපයයියන මේ පළමුවැනි කරුණකින් පැසසිය යුතුවේ. තමා සැප විඳියි පිණවයි යන මේ දෙවැනි කරුණින් පැසසිය යුතුවෙයි. බෙදා දෙයි පින් කරයි යන මේ තුන්වැනි කරුණින් පැසසිය යුතුවෙයි. කවර එක් කරුණකින් ගැරහිය යුතුද? අධර්මයෙන් සැහැසිව වස්තුව සපයයි යන මේ එක් කරුණකින් ගැරහිය යුතුවෙයි. ගාමණිය මේ කාමභොගී තෙම මේ කරුණු තුනින් පැසසිය යුතුවෙයි. මේ එක් කරුණකින් ගැරහිය යුතුවෙයි.

“ගාමණිය, ඔවුන් අතුරෙන් යම් මේ කාමභොගියෙක් තෙම ධර්මයෙන් නොසැහැසිව වස්තුව සපයයිද, ධර්මයෙන් නොහැසිව වස්තුව සපයා තමා සැප නොවිඳියිද නොපිණවයිද, බෙදා නොදෙයිද, පින් නොකරයිද, ගාමණිය මේ කාමභොගී තෙම එක් කරුණකින් ප්‍රශංසා කටයුතු වෙයි. කරුණු දෙකකින් ගැරහිය යුතුවෙයි. කවර එක් කරුණකින් පැසසිය යුතුවෙයිද? ධර්මයෙන් නොසැහැසිව වස්තුව සපයයි යන මේ එක් කරුණින් පැසසිය යුතුවෙයි. කවර කරුණු දෙකකින් ගැරහිය යුතුද? තමා සැප නොවිඳියි නොපිණවයි යන මේ පළමුවන කරුණින් ගැරහිය යුතු වෙයි. නොබෙදයි පින් නොකෙරෙයි යන මේ දෙවෙනි කරුණින් ගැරහිය යුතු වෙයි. ගාමණිය මේ කාමභොගීතෙම මේ එක් කරුණකින් පැසසිය යුතුවේ. මේ කරුණු දෙකින් ගැරහිය යුතුවේ.

“ගාමණිය, ඔවුන් අතුරෙන් යම් මේ කාමභොගියෙක් ධර්මයෙන් නොසැහැසිව වස්තුව සපයයිද, ධර්මයෙන් නොසැහැසිව වස්තුව සපයා සැප විඳියිද, පිණවයිද, නොබෙදයිද, පින් නොකරයිද, ගාමණිය මේ කාමභොගීතෙම කරුණු දෙකකින් පැසසිය යුතුවේ. එක් කරුණකින් ගැරහිය යුතුවේ. කවර කරුණු දෙකකින් පැසසිය යුතුවේද? ධර්මයෙන් නොසැහැසිව වස්තුව සපයයිද යන මේ පළමුවෙනි කරුණින් පැසසිය යුතුය. තමා සැපවිඳියි පිණවයි යන දෙවෙනි කරුණින් පැසසිය යුතුවෙයි. කවර එක් කරුණකින් ගැරහිය යුතුද? බෙදා නොදෙයි පින් නොකරයි යන මේ එක් කරුණින් ගැරහිය යුතුය. ගාමණිය මේ කාමභොගීතෙම මේ කරුණු දෙකකින් පැසසිය යුතුය” මේ එක් කරුණකින් ගැරහිය යුතුය.

“ගාමණිය, ඔවුන් අතුරෙන් යම් මේ කාමභොගියෙක් තෙම ධර්මයෙන් නොසැහැසිව වස්තුව සපයයිද, ධර්මයෙන් නොසැහැසිව වස්තුව සපයා සුවපත්වෙයිද, පිණවයිද බෙදාදෙයිද, පින්කරයිද, හෙතෙම ඒ වස්තුව ඇලීගැලී මුසපත්ව ආදීනව නොදක්නේ නිස්සරණ ප්‍රඥාවෙන් තොරව පරිභොග කරයි. ගාමණිය මේ කාමභොගීතෙම කරුණු තුනකින් පැසසිය යුතුවේ. එක් කරුණකින් ගැරහිය යුතුවේ. කවර කරුණු තුනකින් පැසසිය යුතුද? ධර්මයෙන් නොසැහැසිව වස්තුව සපයයි යන මේ පළමුවන කරුණින් පැසසිය යුතුවෙයි. තමා සැප විඳියි පිණවයි යන මේ දෙවෙනි කරුණින් ප්‍රසංසා කටයුතු වෙයි. බෙදයි පින් කෙරේයයි මේ තුන්වෙනි කරුණින් පැසසිය යුතු වෙයි. කවර එක් කරුණකින් ගැරහිය යුතුද? ඒ වස්තුව ඇලී ගැලී මුසපත්ව පරිභොග කරයි යන මේ එක් කරුණකින් ගැරහිය යුතුවෙයි. ගාමණිය මේ කාමභොගීතෙම මේ කරුණු තුනින් පැසසිය යුතුවෙයි. මේ එක් කරුණකින් ගැරහිය යුතු වෙයි.

“ගාමණිය, ඔවුන් අතුරෙන් යම් මේ කාමභෝගියෙක් තෙම ධර්මයන් නොසැහැසිව වස්තුව සපයයිද, ධර්මයෙන් නොසැහැසිව වස්තුව සපයා සැප විඳියිද, පිණවයිද, බෙදා දෙයිද, පින් කරයිද, ඒ වස්තුව නොඇලී නොගිලී මුසපත් නොවී ආදීනව දක්නේ නිස්සරණ ප්‍රඥාවෙන් යුක්තව පරිභොග කරයිද, ගාමණිය, මේ කාමභෝගී තෙම කරුණු සතරකින් පැසසිය යුතු වෙයි. කවර කරුණු සතරකින් පැසසිය යුතුවෙයිද, ධර්මයෙන් නොසැහැසිව වස්තුව සපයයිද, මේ පළමුවෙනි කරුණින් පැසසිය යුතු වෙයි. සැප විඳියි පිණවයි යන මේ දෙවෙනි කරුණින් පැසසිය යුතු වෙයි. බෙදයි. පින් කරයි යන මේ තුන්වෙනි කරුණින් පැසසිය යුතුවෙයි. ඒ වස්තුව නොඇලී නොගිලී මුසපත් නොවී ආදීනව දක්නේ නිස්සරණ ප්‍රඥාවෙන් යුක්තව පරිභොග කෙරෙයි යන මේ සතරවෙනි කරුණින් පැසසිය යුතුවෙයි. ගාමණිය, මේ කාමභොගීතෙම මේ කරුණු සතරින් පැසසිය යුතුවෙයි.

“ගාමණිය, ලොකයෙහි කටුක ජීවිතයක් ඇත්තාවූ තාපසයෝ තුන්දෙනෙක් ඇත්තාහුය. කවර තුන්දෙනෙක්ද යත්, ගාමණිය, මේ ලොකයෙහි කටුකව ජීවත්වන තාපසයෙක් කුශල ධර්ම රැස්කරගන්නෙම් නම් යහපත. මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ආර්යභාවය සිදුකරන ඤාණ දර්ශන විශෙෂයක් ප්‍රත්‍යක්ෂ කරන්නෙම්නම් යෙහෙකැයි සිතා ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම අනගාරිකව පැවිදිවූයේ නම් හෙතෙම තමා තවයි, හාත්පසින් තවයි. කුශල ධර්මයන්ද රැස් නොකරයි. මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ආර්යභාවය සිදුකරන ඤාණ දර්ශන විශෙෂයක්ද ප්‍රත්‍යක්ෂ නොකරයි.

“ගාමණිය, මේ ලෝකයෙහි කටුක ජීවිකාව ඇති එක් තාපසයෙක් කුශල ධර්මයක් උපදවා ගන්නෙම් නම් යහපත. මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ආර්යභාවය සිදු කිරීමට සමර්ථ ඤාණ දර්ශන විශෙෂයක් ප්‍රත්‍යක්ෂ කරන්නෙම් නම් යහපතැයි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම අනගාරිකව පැවිදිවූයේ වෙයි. හෙතෙම තමා තවයි. හාත්පස තවයි. කුසල්ද රැස්කරගනියි.

මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ආර්යභාවය සිදු කිරීමෙහි සමර්ථ ඤාණදර්ශන විශෙෂයක් ප්‍රත්‍යක්ෂ නොකරයි. ගාමණිය, ලෝකයෙහි කටුක ජීවිතය ඇති ඇතැම් තාපසයෙක් කුශල ධර්මයක් රැස්කරන්නෙම් නම් යෙහෙක. මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ආර්යභාවය සිදුකිරීමෙහි සමර්ථ ඤාණ දර්ශන විශෙෂයක් ප්‍රත්‍යක්ෂකරන්නෙම් නම් මැනවැයි ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම අනගාරිකව පැවිදි වෙයි. හෙතෙම තමන් තවයි. හාත්පස තවයි. කුසල්ද රැස්කරයි. මනුෂ්‍යධර්මයට වඩා උසස් ආර්යභාවයක් සිදු කිරීමට සමර්ථ ඤාණ දර්ශන විශෙෂයක් ප්‍රත්‍යක්ෂ කරයි.

“ගාමණිය, ඔවුන් අතුරෙන් යම් මේ කටුක ජීවිතයක් ඇති තාපසයෙක් තමන් තවයිද විශෙෂයෙන් තවයිද කුශල ධර්ම රැස් නොකරයිද, මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ආර්යභාවය සිදුකරන සමර්ථ ඤාණදර්ශනයක් ප්‍රත්‍යක්ෂ නොකරයිද ගාමණිය රූක්ෂව ජීවත්වන මේ තවුස්තෙමේ කරුණු තුනකින් ගැරහිය යුතුවේ. කවර කරුණු තුනකින් ගැරහිය යුතු වේද, තමන් තවයි, විශෙෂයෙන් තවයි මේ පළමුවන කරුණින් ගැරහිය යුතුය. කුශල ධර්ම රැස් නොකරයි, යන මේ දෙවෙනි කරුණින් ගැරහිය යුතුය. මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ආර්ය භාවය සිදුකරන ඤාණදර්ශන විශෙෂයක් ප්‍රත්‍යක්ෂ නොකරයිද, මේ තුන්වැනි කරුණින් ගැරහිය යුතුය. රුක්ෂව ජීවත්වන මේ තපස්වී තෙම මේ කරුණු තුනින් ගැරහිය යුතුය.

“ගාමණිය, එහි යම් මේ රූක්ෂව ජීවත්වන තාපසයෙක් තමන් තවයිද, විශෙෂයෙන් තවයිද, කුශල ධර්මයන් රැස්කරයිද, මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ආර්ය භාවය සිදුකරන විශෙෂ ඤාණයෙන් ප්‍රත්‍යක්ෂ නොකරයිද, ගාමණිය, රූක්ෂව ජීවත්වන මේ තපස්වීතෙම කරුණු දෙකකින් ගැරහිය යුතු වෙයි. එක් කරුණකින් පැසසියයුතු වෙයි. කවර කරුණු දෙකකින් ගැරහිය යුත්තේද? තමන් තවයි විශෙෂයෙන් තවයි යන මේ පළමුවන කරුණින් ගැරහිය යුතු වෙයි. මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ආර්යභාවය සිද්ධකරන විශෙෂ ඥාණයක් ප්‍රත්‍යක්ෂ නොකෙරෙයි යන මේ දෙවැනි කරුණින් ගැරහියයුතු වෙයි. කවර එක් කරුණකින් පැසසිය යුතු වෙයිද? කුශල ධර්මයන් රැස්කරයි යන මේ එක් කරුණකින් පැසසිය යුතු වෙයි. ගාමණිය, රූක්ෂව ජීවත්වන මේ තපස්වීතෙම මේ කරුණු දෙකකින් ගැරහිය යුතු වෙයි. මේ එක් කරුණකින් පැසසියයුතු වෙයි.

“ගාමණිය, ඔවුන් අතුරෙන් රූක්ෂව ජීවත්වන යම් තපස්වියෙක් තමන් තවයිද, හාත්පසින් තවයිද, කුශල ධර්මයන්ද ලබයිද, මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ආර්යභාවය සිද්ධකරන විශෙෂ ඤාණයක් ප්‍රත්‍යක්ෂ කරයිද, ගාමණිය, රූක්ෂව ජීවත්වන මේ තපස්වීතෙම එක් කරුණකින් ගැරහිය යුතුවෙයි. කරුණු දෙකකින් පැසසිය යුතුවෙයි. කවර එක් කරුණකින් ගැරහිය යුතුද? තමන් තවයි. හාත්පසින් තවයි යන මේ එක් කරුණින් ගැරහිය යුතු වෙයි. කවර කරුණු දෙකකින් පැසසිය යුතු වේද, කුශල ධර්ම රැස්කෙරෙයි. යනමේ පළමුවන කරුණින් පැසසිය යුතුවෙයි. මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ආර්ය භාවය සිද්ධකරන විශෙෂ ඤාණයක් ප්‍රත්‍යක්ෂ කෙරෙයි. යන මේ දෙවැනි කරුණින් පැසසිය යුතු වෙයි. ගාමණිය, රූක්ෂව ජීවත්වන මේ තපස්වීතෙම මේ එක් කරුණකින් ගැරහිය යුතු වෙයි. මේ කරුණු දෙකින් පැසසිය යුතු වෙයි.

“ගාමණිය, මේ ආත්මයෙහි විපාක දෙන්නාවූ කල් නොයවා දෙන ඵල ඇත්තාවූ ‘එව, බලව’ යයි පෙන්විය හැකි ඵල ඇත්තාවූ නුවණැත්තන් විසින් වෙන වෙනම තමන් තුළ එළවාගත යුතුවූ කෙලෙස් දුරවීම් තුනක් ඇත්තාහ. කවර තුන්දෙනෙක්ද යත්?

රාගයෙන් මත්වූ යමෙක් රාගය හෙතුකොටගෙන තමන්ට විපත් පිණිස සිතයි. අනුන්ට විපත් පිණිස සිතයි. දෙපක්ෂයටම විපත් පිණිස සිතයි. රාගය ප්‍රහීණවූ කල්හි තමන්ට විපත් පිණිසද නොසිතයි. අනුන්ට විපත් පිණිසද නොසිතයි. තමන්ටද, අනුන්ටද, විපත් පිණිසද නොසිතයි. මේ මේ ආත්මයෙහි විපාක දෙන්නාවූ කල් නොයවා දෙන ඵල ඇත්තාවූ ‘එව බලව’ යයි පෙන්විය හැකි ඵල ඇත්තාවූ නුවණැත්තන් විසින් තමන් කෙරෙහි වෙන වෙනම ලා දතයුතුවූ කෙලෙස් දිරවීමයි.

(මෙහි කොටසක් අඩුය)