සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

8. ගාමණී සංයුත්තය

5. අස්සාරුහ සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වසනසේක. ඉක්බිති අස්සාරුහ ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් අස්සාරුහ ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේට, ස්වාමීනි, යම් ඒ අසුන් නගින්නෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේද වෑයම් කෙරේද, උත්සාහ කරන වෑයම් කරන ඔහු අන්‍යයෝ නසත්ද, මරත්ද හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් දෙවියන් අතර උපදීයයි අසුන් පිට යන පූර්ව ආචාර්ය ප්‍රාචාර්යයන් කියන්නාවූ මෙය මා විසින් අසන ලදී. මෙහි භාග්‍යවතුන් වහන්සේ කුමක් කියන්නාහුද?” “ගාමණිය, කම්නැත මෙය තිබේවා, මෙය මගෙන් නොඅසව.”

“දෙවනුවත් “ස්වාමීනි, යම් ඒ අසුන් නගින්නෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේද, වෑයම් කෙරේද, උත්සාහ කරන වෑයම් කරන ඔහු අන්‍යයෝ නසත්ද, මරත්ද හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් දෙවියන් අතර උපදීයයි කියන්නාවූ මෙය මා විසින් අසන ලදී. මෙහි භාග්‍යවතුන් වහන්සේ කුමක් කියන්නාහුද?” “ගාමණිය, කම් නැත මෙය තිබේවා. මෙය මගෙන් නොඅසව.”

තුන්වෙනුවත් අස්සාරුහ ගාමණිතෙම, භාග්‍යවතුන් වහන්සේගෙන්, “ස්වාමීනි, යම් ඒ අසුන් පිට නගින්නෙක් යුද්ධයෙහි උත්සාහ කරයිද, වෑයම් කරයිද උත්සාහ කරන වෑයම් කරන ඔහු අන්‍යයෝ නසත්ද මරත්ද හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සරාජිත දෙවියන් අතර උපදීයයි පූර්ව අසුන් පිට නැගී යුද්ධකරන පූර්ව ආචාර්ය ප්‍රාචාර්යයන් කියන්නාවූ මෙය මා විසින් අසන ලදී. භාග්‍යවතුන් වහන්සේ මෙහි කුමක් කියන්නාහුදැයි” ඇසීය.

“ගාමණිය, කම්නැත මෙය තිබේවා. මෙය මගෙන් නොවිචාරවයි යන මෙය තොපගෙන් මම ඒකාන්තයෙන් නොලබමි. එනිසා මම තොපට ප්‍රකාශ කරන්නෙමි. ගාමණිය, යම් ඒ අසුන් පිට නැගී යුද්ධ කරන්නෙක් යුද්ධයෙහි උත්සාහ කරයිද, වෑයම් කරයිද, ඔහුගේ සිත පළමුකොටම හීනය නපුරුකොට කරණලදී. නපුරුකොට තබනලදී. මේ සත්වයෝ නැසෙත්වා, බැඳෙත්වා, මැරෙත්වා, නසිත්වා, නොවෙත්වා කියායි (කෙසේද?) ඒ උත්සාහ කරන්නාවූ වෑයම් කරන්නාවූ ඔහු අන්‍යයෝ නසත්ද, මරත්ද හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් නිරයක් වේද එහි උපදී.

යම් ඒ අශ්වාරොහකයෙක් යුද්ධයෙහි උත්සාහ කරයිද, වෑයම් කරයිද, උත්සාහ කරන්නාවූ වෑයම් කරන්නාවූ ඔහු අන්‍යයෝ නසත්ද මරත්ද හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් දෙවියන් අතර උපදීයයි මෙසේ දෘෂ්ටියක් ඇත්තේද ඒ ඔහුගේ මිථ්‍යා දෘෂ්ටියයි. ගාමණිය, මිථ්‍යා දෘෂ්ටියෙන් යුත් පුද්ගලයාට නිරය තිරිසන් අපාය යන දෙගතීන් අතුරෙන් එක්තරා ගතියක් කියමි.”

මෙසේ වදාළ කල්හි අස්සාරොහ ගාමණිතෙම හැඬුයේය. කඳුළු වැගිරවූයේය. ‘ගාමණිය, මෙසේ හෙයින් කම්නැත මෙය තිබේවා. මෙය මගෙන් නොවිචාරවයි කීයෙමි. එය මම තොපගෙන් නොලැබුවෙමි.”

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ හෙයින් මම නොහඬමි. ස්වාමීනි, එසේවුවත් බොහෝ කාලයක් මුළුල්ලෙහි යම් ඒ අශ්වාරොහකයෙක් යුද්ධයෙහි උත්සාහ කරයිද වෑයම් කරයිද, උත්සාහ කරන්නාවූ වෑයම් කරන්නාවූ ඔහු අන්‍යයෝ නසත්ද, මරත්ද, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් දෙවියන් අතර උපදීයයි පූර්ව අශ්වාරොහක ආචාර්ය ප්‍රාචාර්යයන් විසින් මුළාකරන ලදී. වංචාකරන ලදී. පොළඹවන ලදී. ස්වාමීනි, යහපති, ස්වාමීනි යහපති ස්වාමීනි, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුන දෙයක් විවෘත කරන්නේද, මුළා වූවෙකුට මග කියන්නේද, ඇස් ඇත්තාහු රූප දකිත්වායි, අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය දෙශනා කරන ලදී. ස්වාමීනි, ඒ මම ධර්මයද භික්ෂු සංඝයාද සහිත භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට යමි. අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයෙකුකොට මා දරණසේක්වායි” කීය.