සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

8. ගාමණී සංයුත්තය

6. මතක සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාලන්දා නුවර පාවාරික නම් අඹ වනයෙහි වාසය කරති. එකල්හි අසිබන්ධක පුත්ත ගාමණි තෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් අසිබන්ධක පුත්ත ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, පච්ඡාභූමිවාසීවූ කෙණ්ඩි දරන්නාවූ දිය සෙවෙල් මාලා දරන්නාවූ දියට බසින්නාවූ ගිනි පුදන්නාවූ බ්‍රාහ්මණයෝ වෙත්ද? ඔව්හු ස්වර්ගයට යවත්. කාලක්‍රියා කළහු මළහු ස්වර්ගය පෙන්වත්. ස්වර්ගයට නංවත්.

“ස්වාමීනි, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ යම්සේ සියලු ලෝකයා කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ග ලෝකයෙහි උපදින්නේ නම් එසේ කිරීමට සමර්ථ වන්නේ දැයි කීය.

“ගාමණිය, එසේනම් මෙය තොපගෙන්ම අසමි. යම් ආකාරයකින් තොපට වැටහේ නම් එය එසේ ප්‍රකාශ කරන්නෙහිය.

“ගාමණිය, ඒ කුමකැයි සිතන්නෙහිද? මේ ලෝකයෙහි පුරුෂයෙක් සතුන් මරන්නේ වේද, නුදුන් දෙය ගන්නේවේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම් කියන්නේ වේද, ඵරුෂ වචන කියන්නේ වේද ප්‍රලාප කියන්නේ වේද, දැඩි ලොභ ඇත්තේ වේද, ක්‍රොධ සිත් ඇත්තෙක් වේද, මිථ්‍යා දෘෂ්ටියෙක් වේද, ඔහු කරා මහජන සමූහයා එක්ව රැස්වී මේ පුරුෂතෙම කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදීවායි යාඥා කරන්නේද, ස්තුති කරන්නේද, ඇඳිලි බැඳ ඔහු වට කර ගන්නේද, ඒ පුරුෂතෙම මහජනයාගේ යාඥාව නිසා හෝ ස්තුතිය නිසා හෝ ඇඳිලි බැඳ වටකර ගැනීම නිසා හෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවේ.”

“ගාමිණිය, පුරුෂයෙක් තෙම මහත්වූ ලොකු ගලක් ගැඹුරු ජලයෙහි දමන්නේද මහජන සමූහයා එක්ව රැස්ව පින්වත් ගල මතු කරව. පින්වත් මහ ගල, ඉල්පුව, පින්වත් මහගල මතුවෙව. පින්වත්, මහගල ඉල්පෙව, පින්වත් මහගල ගොඩට එව යනුවෙන් යාඥා කරන්නේ නම්, ස්තුති කරන්නේ නම්, ඇඳිලි බැඳ අනුව යන්නේ නම් ඒ මහ ගල මහජනයාගේ යාඥාව නිසා හෝ ස්තුතිය නිසා හෝ ඇඳිලිබැඳ වටකර ගැනීම නිසා හෝ මතුවන්නේද, ඉල්පෙන්නේද ගොඩට පැමිණෙන්නේද?” -“ස්වාමීනි, එසේ නොවේ.”

“ගාමණිය, එසේම යම් ඒ පුරුෂයෙක් සතුන් මරන්නේද, නුදුන් දෙය ගන්නේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේද, බොරු කියන්නේද, කේළාම් කියන්නේද ඵරුෂ වචන කියන්නේද, ප්‍රලාප කියන්නේද, දැඩි ලෝභ ඇත්තේද ක්‍රොධ සිත් ඇත්තේද, මිථ්‍යා දෘෂ්ටික වන්නෝද, මහජනයා ඔහුවෙත රැස්ව එක්ව මේ පුරුෂතෙම කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ග ලෝකයෙහි උපදීවායි ඉල්වූයේවී නමුත් ස්තුති කළේවී නමුත් ඇඳිලි බැඳ වටකර ගත්තේවී නමුත් ඒ පුරුෂතෙම කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇත්තාවූ විසමව වැටෙන්නාවූ නිරයෙහි උපදින්නේය.

“ගාමණිය, ඒ කුමකැයි සිතන්නෙහිද? මේ ලෝකයෙහි පුරුෂයෙක් සතුන් මැරීමෙන් වැළකුණේද, නුදුන් දෙය ගැනීමෙන් වැළකුණේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුණේද, බොරු කීමෙන් වැළකුණේද, කේළාම් කීමෙන් වැළකුණේද, ඵරුෂ වචන කීමෙන් වැළකුණේද, ප්‍රලාප කීමෙන් වැළකුණේද, දැඩි ලොභය නැත්තේද, සම්‍යක් දෘෂ්ටික වේද, ක්‍රොධය නැත්තේද, ඔහු කරා මහජන සමූහයා එක්ව රැස්ව මේ පුරුෂතෙම කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව වැටෙන්නාවූ නරකයෙහි උපදීවායි යාඥා කරන්නේද, ස්තුති කරන්නේද, ඇඳිලි බැඳ වටකර ගන්නේද? “ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද, ඒ පුරුෂතෙම මහජනයාගේ යාඥා කිරීම නිසා හෝ ස්තුති කිරීම නිසා හෝ ඇඳිලි බැඳ වටකර ගැනීම නිසා හෝ කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව වැටෙන්නාවූ නිරයෙහි උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවේය.”

“ගාමණිය, පුරුෂයෙක් තෙම ගිතෙල් කළයක් හෝ තෙල් කළයක් හෝ ගැඹුරු දියකට බැස බිඳින්නේය. එහි යම් කැට හෝ කැබලිති ඇද්ද ඒ යටට බසින්නේය. එහි යම් ගිතෙලක් හෝ තෙලක් හෝ ඇද්ද එය උඩ මතුවන්නේය. එය කරා මහජන සමූහයා එක්ව රැස්ව පින්වත් ගිතෙල තෙල ගිලෙව, පින්වත් ගිතෙල තෙල යටට කිඳෙව, පින්වත් ගිතෙල තෙල යටට යවයි යාඥා කරන්නේය. ස්තුති කරන්නේය. ඇඳිලිබැඳ පිරිවරන්නේය. ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද, මහජනයාගේ ඉල්ලීම නිසා හෝ ස්තුතිය නිසා හෝ ඇඳිලි බැඳ පිරිවැරීම නිසා හෝ ඒ ගිතෙල් තෙල් ගිලාබහින්නේද, කිඳා බහින්නේද, යටට හෝ යන්නේද?” - “ස්වාමීනි, එසේ නොවේ.”

“ගාමණිය, එසේම යම් ඒ පුරුෂයෙක් ප්‍රාණඝාතයෙන් වෙන්වූයේවේද, අදින්නාදානයෙන් වෙන්වූයේද, මිථ්‍යාචාරයෙන් වෙන්වූයේද, බොරු කීමෙන් වෙන්වූයේද, කේළාම් කීමෙන් වෙන්වූයේද, ඵරුෂ වචනයෙන් වෙන්වූයේද, ප්‍රලාප කීමෙන් වෙන් වූයේද, දැඩි ලොභය නැත්තේද, ක්‍රොධය නැත්තේද, සම්‍යක් දෘෂ්ටිකද, හුදෙක් ඔහු කරා මහජන සමූහයා එක්ව රැස්ව මේ පුරුෂතෙම කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව වැටෙන නිරයෙහි උපදීවායි යාඥා කරන්නේවී නමුත් ස්තුති කරන්නේවී නමුත් ඇඳිලිබැඳ පිරිවරන්නේවී නමුත් ඒ පුරුෂතෙම කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ග ලෝකයෙහි උපදින්නේය.”

මෙසේ වදාළ කල්හි අසිබන්ධක පුත්ත ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේට, ස්වාමීනි, යහපති ස්වාමීනි, යහපති ස්වාමීනි, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරුකරන්නේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මුළාවූවෙකුට මග කියන්නේද, ඇස් ඇත්තාහු රූප දකිත්වයි. අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය දේශනාකරන ලදී. ස්වාමීනි, ඒ මම ධර්මයද භික්ෂු සංඝයාද සහිත භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට යෙමි. අද පටන් දිවි හිමියෙන් සරණ ගිය උපාසකයෙකු කොට මං දරණ සේක්වායි” කීයේය.