සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

8. ගාමණී සංයුත්තය

7. දේසනා සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාලන්දානුවර පාවාරික අඹවනයෙහි වාසය කරණසේක. එකල්හි අසිබන්ධක පුත්ත ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්නේය. එකත්පසෙක හුන් අසිබන්ධකපුත්ත ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේගෙන් “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරණසේක් නොවේ දැයි” ඇසීය.

“ගාමණිය එසේය තථාගතයන් වහන්සේ සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පීව වාරය කරයි. එසේ නම් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කුමක් හෙයින් සමහරුන්ට සකස්කොට ධර්ම දේශනා කරන්නේද, ඇතැමුන්ට සකස් කොට ධර්මදේශනා නොකරන්නේද, එසේ වීනම් මෙහිදී තොපගෙන්ම අසමි. යම්සේ තොපට වැටහේද එසේ ප්‍රකාශ කරන්නෙහිය.

“ගාමණිය, මේ ලොකයෙහි ගොවිතැන් කරන ගෘහපතියෙකුට කුඹුරු තුනක් වෙත්. එකක් අග්‍රය. එකක් මධ්‍යමය එකක් කර්කශය. කරදිය සහිතය මුඩු බිමකි. ගාමණිය,’ ඒ කුමකැයි සිතන්නෙහිද ඒ ගොවිතැන් කරන ගෘහපති තෙම බිජු වපුරණු කැමැත්තේ යම් ඒ කෙතක් අග්‍ර වෙයිද, යම් ඒ කෙතක් මධ්‍යමද, යම් ඒ කෙතක් කර්කශද කරදිය සහිතද, මුඩු බිමක්වේද

එයින් කවර කෙතක පළමුකොට බිජු වපුරන්නේද?”

“ස්වාමීනි බිජු වපුරනු කැමැත්තාවූ ඒ ගෘහපතිතෙම යම් කෙතක් අග්‍රද එහි පළමුව වපුරන්නේය. එහි වපුරා යම් කුඹුරක් මධ්‍යමද එහි වපුරන්නේය. එහි වපුරා යම් කෙතක් රළුද කරදිය සහිතද, මුඩු බිමක්ද, එහි යටත් පිරිසෙයින් ගවයන්ට කෑම පිණිසවත් වන්නේයයි වපුරන්නේ හෝ වෙයි. නො වපුරන්නේ හෝ වෙයි.”

“ගාමණිය යම්සේ යම් ඒ කෙතක් අග්‍රද මගේ භික්ෂු භික්ෂුණීහුද එසේමය. මම ඔවුන්ට මුල යහපත්වූද, මැද යහපත්වූද, අග යහපත්වූද, අර්ථ සහිතවූද, ව්‍යඤ්ජන සහිත වූද, සර්වප්‍රකාරයෙන් සම්පූර්ණවූ පිරිසිදු බ්‍රහ්මචර්යය ප්‍රකාශ කරමි. ඊට හේතු කවරේද? ගාමණිය, මොව්හු මා පිහිටකොට ඇත්තාහ. මා සැඟවෙන තැන්කොට ඇත්තාහ. මා ආරක්ෂා ස්ථානකොට ඇත්තාහ. මා පිළිසරණකොට ඇත්තාහ.

“ගාමණිය, යම්සේ යම් ඒ කෙතක් මධ්‍යමද, මගේ උපාසක උපාසිකාවෝ එසේමය. මම ඔවුන්ටද මුල යහපත්වූ මැද යහපත්වූ අග යහපත්වූ, අර්ථ සහිතවූ ව්‍යඤ්ජන සහිතවූ හාත්පසින් සම්පූර්ණවූ පිරිසිදුවූ බ්‍රහ්මචර්ය ප්‍රකාශකරමි. ඊට හේතු කවරේද ගාමණිය මොව්හු පිහිටකොට ඇත්තාහ. මා සැඟවෙන තැන්කොට ඇත්තාහ. මා ආරක්ෂා ස්ථානකොට ඇත්තාහ. මා පිළිසරණකොට ඇත්තාහ.

“ගාමණිය, යම්සේ යම් ඒ රළු කරදිය ඇති මුඩු බිමක්වූ කෙතක්වේද මගේ අන්‍ය තීර්ථක ශ්‍රමණ බ්‍රාහ්මණ පරිබ්‍රාජකයෝත් එසේවෙත් මම ඔවුන්ටද මුල යහපත්වූ මැද යහපත්වූ අග යහපත්වූ අර්ථ සහිතවූ ව්‍යඤ්ජන සහිතවූ හාත්පසින් සම්පූර්ණවූ පිරිසිදු බ්‍රහ්මචර්යය ප්‍රකාශකරමි. ඊට හේතු කවරේද?

එකපදයක් නමුත් දැනගන්නේ නම් යහපත. එය ඔවුන්ට බොහෝ කාලයක් හිත පිණිසද සැප පිණිසද වන්නේය කියායි.

“ගාමණිය, යම්සේ පුරුෂයෙකුට කළගෙඩි තුනක් ඇත්තාහුද? එක් එක් කළගෙඩියක් සිදුරු නැත්තේය. ජලය ගන්නේය. ජලය නොසිඳෙන්නේය. එක් කළයක් සිදුරු නැත්තේය. ජලය ගන්නේය. ජලය සිඳෙන්නේය. එක් කළයක් සිදුරු සහිතය. වතුර නොඅල්ලන්නේය. වතුර සිඳෙන්නේය. ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද? මේ පුරුෂතෙම ජලය වත්කරනු කැමැත්තේ යම් ඒ කළයක් සිදුරු නැත්තේද වතුර නොසිඳෙන්නේද යම් ඒ කළයක් සිදුරු නැත්තේද වතුර ගන්නේද සිඳෙන්නේද, යම් ඒ කළයක් සිදුරු සහිතද වතුර නොඅල්ලන්නේද වතුර සිඳෙන්නේද එයින් කවර කළයකට පළමුවෙන් වතුර වත්කරන්නේද?”

“ස්වාමීනි, ජලය වත්කරනු කැමති පුරුෂතෙම යම් ඒ කළයක් සිදුරු නැත්තේද වතුර අල්ලන්නේද එහි වත්කරන්නේය. වතුර නොසිඳෙන්නේද, එහි වත්කොට යම් ඒ කළයක් සිදුරු නැත්තේද ජලය ගන්නේද ජලය සිඳෙන්නේද එහි වත්කරන්නේය. එහි වත්කොට යම් ඒ කළයක් සිදුරු සහිතද ජලය ගන්නේද ජලය සිඳෙන්නේද එහි වත්කරන්නේ හෝ වෙයි. නොවත්කරන්නේ හෝ වෙයි. ඊට හේතු කවරේද, යටත් පිරිසෙයින් භාණ්ඩ සෝදන පමණටවත් වන්නේය කියයි.”

“ගාමණිය, යම් සේ යම් ඒ කළයක් සිදුරු නැත්තේද ජලය ගන්නේද ජලය නොසිඳෙන්නේද මගේ භික්ෂු භික්ෂුණිහුද එසේමය. මම ඔවුන්ට මුල යහපත්වූද, මැද යහපත්වූද, අග යහපත්වූද, අර්ථ සහිතවූද, ව්‍යඤ්ජන සහිත වූද, හාත්පසින් සම්පූර්ණවූ පිරිසිදු බ්‍රහ්මචර්යය ප්‍රකාශ කරමි. ඊට හේතු කවරේද? ගාමණිය, ඔව්හු මා පිහිටකොට ඇතිව, මා සැඟවෙන තැන්කොට ඇත්තන්ව, මා ආරක්ෂා ස්ථානකොට ඇත්තන්ව, මා පිළිසරණකොට ඇත්තන්ව හැසිරෙත්.

“ගාමණිය, යම් සේ යම් ඒ කළයක් සිදුරු නැත්තේද, ජලය ගන්නේද, ජලය සිඳෙන්නේද, මගේ උපාසක උපාසිකාවෝද එසේමය. මම ඔවුන්ටද මුල යහපත් වූද මැද යහපත්වූද, අග යහපත්වූද අර්ථ සහිත ව්‍යඤ්ජන සහිත හාත්පසින් සම්පූර්ණවූ පිරිසිදු බ්‍රහ්මචර්යය ප්‍රකාශ කරමි. ඊට හේතු කවරේද? ගාමණිය මොව්හු මා පිහිටකොට ඇත්තන්ව, මා සැඟවෙන තැන්කොට ඇත්තන්ව, මා ආරක්ෂා ස්ථානකොට ඇත්තන්ව, මා පිහිටකොට ඇත්තන්ව වාසය කරත්.

“ගාමණිය, යම් සේ යම් ඒ කළයක් සිදුරු සහිතද ජලය නොඅල්ලන්නේද, ජලය සිඳෙන්නේද, මගේ අන්‍යතීර්ථක ශ්‍රමණ බ්‍රාහ්මණ පරිබ්‍රාජකයෝද එබඳුය. මම ඔවුන්ටද මුල යහපත්වූද, මැද යහපත්වූද, අග යහපත්වූද, අර්ථ සහිතවූද ව්‍යඤ්ජන සහිතවූද, සර්වාකාරයෙන් සම්පූර්ණ පිරිසිදු බ්‍රහ්මචර්යය ප්‍රකාශ කරමි. ඊට හේතු කවරේද? එක පදයක් නමුත් දැනගන්නාහු නම් එය ඔවුන්ට බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වන්නේය” කියායි.

මෙසේ වදාළ කල්හි අසිබන්ධක පුත්ත ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, යහපත, ස්වාමීනි, යහපත. ස්වාමීනි යම් සේ යටිකුරු කරනලද්දක් උඩුකුරු කරන්නේද, වැසුණ දෙයක් විවෘත කරන්නේද, මුළාවූවෙකුට මග කියන්නේද ඇස් ඇත්තාහු රූප දකිත්වයි, අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය දෙශනා කරනලදී. ස්වාමීනි, ඒ මම ධර්මයද භික්ෂු සංඝයාද සහිත භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට යමි. අද පටන් දිවිහිම්කොට සරණගිය උපාසකයෙකුකොට දරණ සේක්වායි’ කීය.