සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

8. ගාමණී සංයුත්තය

8. සංඛ සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාලන්දානුවර පාවාරික අඹ වනයෙහි වාසය කරණසේක. එකල්හි නිගණ්ඨ ශ්‍රාවකවූ අසිබන්ධක පුත්ත ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් අසිබන්ධක පුත්ත ගාමණිගෙන් භාග්‍යවතුන්වහන්සේ “ගාමණිය, නිගණ්ඨනාත පුත්‍රතෙම කෙසේ ශ්‍රාවකයන්ට ධර්ම දේශනා කෙරේදැයි” ඇසූසේක.

“ස්වාමීනි, නිගණ්ඨනාත පුත්‍රතෙම යම් කිසිවෙක් සතුන් මරයිද, ඒ හැමදෙන අපායට යන්නේය. නිරයට යන්නේය. යම් කිසිවෙක් නුදුන් දේ ගනීද ඒ හැමදෙන අපායට යන්නේය. නිරයට යන්නේය. යම් කිසිවෙක් කාමයන්හි වරදවා හැසිරෙන්නේද ඒ සියල්ලෝ අපායට යන්නේය. නිරයට යන්නේය. යම් කිසිවෙක් බොරු කියයිද ඒ සියල්ලෝ අපායට යන්නෝය. නිරයට යන්නෝය. යමක් යමක් බහුලව කෙරෙමින් වාසය කරයිද එයින් එයින් පැමිණේයයි මෙසේ ශ්‍රාවකයන්ට ධර්ම දේශනා කෙරේයයි කීයේය.

“ගාමණිය, යමක් යමක් බහුලකොට කරමින් වාසය කෙරේද, ඒ ඒ දෙයින් යන්නේ නම් එසේ ඇති කල්හි නිගණ්ඨනාත පුත්‍රයාගේ වචනය පරිදි කිසිවෙක් අපායට නොයන්නේය. නිරයට නොයන්නේය. ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද?

“යම් ඒ පුරුෂයෙක් සතුන් මරන්නේ නම් කල් නොකල් දෙක අනුව බලන කල්හි රාත්‍රියෙහි හෝ දවල් හෝ යම් කලෙක ඔහු සතුන් මරන්නේද, යම් කලෙක ඔහු සතුන් නොමරන්නේද, ඒ දෙකින් වැඩි කාලය කුමක්ද?”

“ස්වාමීනි කල් නොකල් දෙක අනුව බලන කල්හි යම් ඒ පුරුෂයෙක් රාත්‍රියෙහි හෝ දවල් හෝ යම් කාලයක සතුන් මරන්නේද යම් කාලයක හෙතෙම සතුන් නොමරන්නේද ඒ කාල දෙකින් ඔහු සතුන් මරන්නාවූ කාලයම ටිකය. ඔහු සතුන් නොමරන්නාවූ කාලයම වැඩිය.” “ගාමණිය, යමක් යමක් බහුලව වාසය කරන්නේද එයින් එයින් යන්නේයයි කියන්නේ නම් මෙසේ ඇති කල්හි නිගණ්ඨනාත පුත්‍රයාගේ වචනය අනුව අපායට යන නිරයට යන කිසිවෙක් නැත.

“ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද කල් නොකල් දෙකට අනුව බලන කල්හි යම් ඒ පුරුෂයෙක් රාත්‍රියෙහි හෝ දවල් හෝ යම් කලෙක නුදුන් දෙය ගන්නේද යම් කලෙක හෙතෙම නුදුන් දෙය නොගන්නේද ඒ කාල දෙකින් කුමක් වැඩි කාලය වන්නේද?”

“ස්වාමීනි, කල් නොකල් දෙකට අනුව බලන කල්හි යම් ඒ පුරුෂයෙක් තෙම රාත්‍රියෙහි හෝ දවල් හෝ යම් කලෙක නුදුන් දෙය ගනීද, යම් කාලයක නුදුන් දෙය නොගනීද, ඒ කාල දෙකින් ඔහු නුදුන් දෙය ගන්නා කාලය ස්වල්ප වන්නේය. හෙතෙම යම් කලෙක නුදුන් දෙය නොගන්නේද ඒ කාලයම වැඩිය.”

“ගාමණිය, යමක් යමක් බහුලව කරමින් වසයිද එයින් එයින් යන්නේයයි කියන්නේ නම් මෙසේ ඇති කල්හි නිගණ්ඨනාත පුත්‍රයාගේ වචනය අනුව අපායට යන නිරයට යන කිසිවෙක් නැත්තේය.

“ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද කල් නොකල් දෙකට අනුව යම් ඒ පුරුෂයෙක් රාත්‍රියෙහි හෝ දවල් හෝ යම් කලක හෙතෙම කාමයන්හි වරදවා හැසිරෙන්නේද, යම් කලක හෙතෙම කාමයන්හි වරදවා නොහැසිරෙන්නේද ඒ කාල දෙකින් වැඩි කාලය කවරේද?”

“ස්වාමීනි, යම් ඒ පුරුෂයෙක් තෙම රාත්‍රියෙහි හෝ දවල් හෝ යම් කලක හෙතෙම කාමයන්හි වරදවා හැසිරේද යම් කලක හෙතෙම කාමයන්හි වරදවා නොහැසිරේද, ඒ කාල දෙකින් ඔහු කාමයන්හි වරදවා හැසිරෙන කාලය ස්වල්පය. හෙතෙම කාමයන්හි වරදවා නොහැසිරෙන කාලයම අධිකය.”

“ගාමණිය, යමක් යමක් බහුලව කරමින් වාසය කරයිද, එයින් එයින් යේයයි කියන්නේ නම් එසේ ඇති කල්හි නිගණ්ඨනාත පුත්‍රගේ වචනය පරිදි අපායට, නිරයට යන කිසිවෙක් නැත.

“ගාමණිය, ඒ කුමකැයි හගින්නේද, කල් නොකල් දෙක අනුව යම් ඒ පුරුෂයෙක් රාත්‍රියෙහි හෝ දවල් හෝ යම් කලෙක බොරු කියන්නේ වේද, යම් කලෙක හේ බොරු නොකියන්නේද, එයින් කවර කාලයක් වැඩි කාලය වන්නේද?”

“ස්වාමීනි, යම් ඒ පුරුෂයෙක් තෙම රාත්‍රියෙහි හෝ දවල් හෝ යම් කලක හෙතෙම බොරු කියන්නේද, යම් කලෙක හෙතෙම බොරු නොකියන්නේද, ඒ දෙකින් ඒ කාලය ටිකය. හෙතෙම යම් කාලයක බොරු නොකියන්නේද, ඒ කාලයම ඉතා වැඩිය.

“ගාමණිය, යමක් යමක් බහුලව කරමින් වාසය කරයිද, එයින් එයින් යේයයි කියන්නේනම් එසේ ඇති කල්හි මේ නිගණ්ඨනාත පුත්‍රගේ වචනය පරිදි අපායට, නිරයට යන කිසිවෙක් නැත.

“ගාමණිය, මේ ලොකයෙහි ඇතැම් ශාස්තෲවරයෙක් යම් කිසිවෙක් ප්‍රාණඝාත කෙරෙයිද, ඒ සියල්ලම අපායට යන්නේය. නිරයට යන්නේය යම් කිසිවෙක් සොරකම් කෙරේද, ඒ සියල්ලම අපායට යන්නේය. නිරයට යන්නේය. යම් කිසිවෙක් කාමයෙහි වරදවා හැසිරෙන්නේද ඒ සියල්ලම අපායට යන්නේය. නිරයට යන්නේය. යම්කිසිවෙක් බොරු කියන්නේද, ඒ සියල්ලම අපායට යන්නේය. නිරයට යන්නේය යන මේ වාද ඇත්තේවේද, දෘෂ්ටි ඇත්තේවේද, ගාමණිය, ඒ ශාස්තෲවරයා කෙරෙහි ශ්‍රාවකතෙමේ පැහැදුනේ වෙයිද, යම් ඒ කිසිවෙක් සතුන් මරයිද, ඒ සියල්ල අපායට යන්නේය නිරයට යන්නේය යන වාද ඇත්තේය. දෘෂ්ටි ඇත්තේය. ‘මා විසින් සතුන් මරණ ලද්දේය. මමද අපායට යන්නෙමි. නරකයට යන්නෙමි’ යන දෘෂ්ටිය ඇතිවෙයි. ගාමණිය, හෙතෙම ඒ වචනය අත් නොහැර ඒ සිත අත්නොහැර ඒ දෘෂ්ටිය අත්නොහැර ගෙනඑන ලද්දක් යම්සේ බිම තබන්නේද, එසේ නරකයෙහි උපදී. මගේ ශාස්තෲතෙම යම් කිසිවෙක් නුදුන්දෙය ගනීද, ඒ සියල්ල අපායට යන්නේය. නිරයට යන්නේය යන වාද ඇත්තේ වෙයි. දෘෂ්ටි ඇත්තේ වෙයි. ‘මා විසින් නුදුන්දෙය ගන්නා ලදී. මමද අපායට යන්නෙක් වෙමි. නිරයට යන්නෙක් වෙමි’ යන දෘෂ්ටිය ඇතිවෙයි ගාමණිය, ඒ වචනය අත්නොහැර, ඒ සිත අත්නොහැර, ඒ දෘෂ්ටිය අත්නොහැර, හෙතෙම ගෙනඑන ලද්දක් බිම තබන්නේ යම්සේද එමෙන් නිරයෙහි උපදින්නේය. ‘මගේ ශාස්තෲ තෙම යම් කිසිවෙක් කාමයන්හි වරදවා හැසිරේද, ඒ සියල්ල අපායට යන්නේය. නිරයට යන්නේය.’ යන වාද ඇත්තේ දෘෂ්ටි ඇත්තේ වෙයි. ‘මා විසින් කාමයන්හි වරදවා හැසිරෙන ලදී. මමද අපායට යන්නෙක් වෙමි. නිරයට යන්නෙක් වෙමි’ යන දෘෂ්ටිය ඇත්තේ වෙයි. ගාමණිය, ඒ වචනය අත්නොහැර ඒ සිත අත්නොහැර ඒ දෘෂ්ටිය අත්නොහැර ගෙනඑන ලද්දක් බිම තබන්නේ යම්සේද එමෙන් නිරයෙහි උපදින්නේය. ‘මගේ ශාස්තෲතෙමේ යම් කිසිවෙක් බොරු කියයිද, ඒ සියල්ල අපායට යන්නේය නිරයට යන්නේය’ යන වාද ඇත්තේ දෘෂ්ටි ඇත්තේ වෙයි. මා විසින් බොරු කියන ලද්දේ වෙයි. මමද අපායට යන්නෙක් වෙමි නිරයට යන්නෙක් වෙමි යන දෘෂ්ටිය ඇතිවෙයි. ගාමණිය, ඒ වචනය අත්නොහැර ඒ සිත අත්නොහැර ඒ දෘෂ්ටිය බැහැර නොකර හෙතෙම ගෙනඑන ලද්දක් යම්සේ බිම තබන්නේද, එමෙන් නරකයෙහි උපදියි.

“ගාමණිය, ලොකයෙහි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ, විද්‍යාචරණ සම්පන්නවූ, සුගතවූ, ලොකවිදුවූ, අනුත්තර පුරිෂ ධම්මසාරථිවූ, දෙව්මිනිසුන්ට ශාස්තෲවූ භාග්‍යවත්වූ තථාගත තෙම ලොකයෙහි උපදී. හෙතෙම නොයෙක් ආකාරයෙන් සතුන්මැරීම ගරහයි. නින්දා කරයි. ප්‍රාණඝාතයෙන් වළකිව්යයි කියයි. සොරකම් කිරීම ගරහයි. නින්දාකරයි. සොරකම් කිරීමෙන් වළකිව්යයි කියයි. කාමයන්හි වරදවා හැසිරීම ගරහයි. නින්දා කරයි. කාමයන්හි වරදවා හැසිරීමෙන් වළකිව් යයි කියයි. බොරුකීම ගරහයි. නින්දාකරයි. බොරුකීමෙන් වළකිව්යයි කියයි. ගාමණිය, ඒ ශාස්තෲවරයා කෙරෙහි ශ්‍රාවක තෙම පැහැදුනේ වෙයිද’ හෙතෙම මෙසේ සිතයි ‘භාග්‍යවතුන් වහන්සේ වනාහි නොයෙක් අයුරින් සතුන් මැරීම ගරහයි. නින්දා කරයි. සතුන් මැරීමෙන් වළකිව්යයි ප්‍රකාශ කරති. ‘යම් මා විසින් යම් ඒ ප්‍රමාණයකින් සතුන් මරණ ලද්දේ වේ. යම් ඒ ප්‍රමාණයකින් මා විසින් සතුන් මරණ ලද්දේ, එය නරකය. එය යහපත් නොවේයයි ඒ හේතුවෙන් මම පසුතැවෙන්නෙම් මා විසින් ඒ පාපකර්මය නොකරන ලද්දේ නොවේය’ කියායි. හෙතෙම මෙසේ සිතා ඒ සතුන් මැරීම අත්හරියි. මත්තෙහිද සතුන් මැරීමෙන් වෙන් වූයේ වේ. මෙසේ මේ පාපකර්මයාගේ ප්‍රහාණය ඉක්මවීම වේ. මෙසේ ඒ පාපකර්මයාගේ ඉක්මීම වේ.

“භාග්‍යවතුන් වහන්සේ වනාහි නොයෙක් අයුරින් සොරකම් ගරහයි. නින්දාකරයි. සොරකමින් වළකිව්යයි ප්‍රකාශ කරති ‘යම් ඒ ප්‍රමාණයකින් මා විසින් සොරකම් කරන ලද්දේය. මා විසින් යම් ඒ ප්‍රමාණයකින් සොරකම් කරන ලද්දේද, එය නරකය යහපත් නොවේයයි මම පසුතැවෙන්නෙම් නම් ඒ හේතුවෙන් මා විසින් පාපකර්මය නොකරන ලද්දේ නොවෙයි. හෙතෙම මෙසේ සිතා ඒ සොරකම අත් හරියි. මත්තෙහිද සොරකමින් වෙන්වූයේ වේ. මෙසේ මේ පාපකර්මයාගේ ප්‍රහාණයවේ. මෙසේ ඒ පාපකර්මයාගේ ඉක්මීම වේ.

භාග්‍යවතුන් වහන්සේ වනාහි නොයෙක් අයුරින් කාමයෙහි වරදවා හැසිරීම ගරහයි. නින්දා කරයි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකිව්යයි’ ප්‍රකාශ කරති. ‘යම් ඒ පරිද්දෙකින් මා විසින් කාමයන්හි වරදවා හැසිරෙන ලදී. මා විසින් යම් ඒ පරිද්දෙකින් කාමයන්හි වරදවා හැසිරෙන ලද්දේද, එය නරකය. එය යහපත් නොවේයයි මම ඒ හේතුවෙන් පසුතැවෙන්නෙම් නම් මා විසින් ඒ පාපකර්මය නොකරන ලද්දේ නොවෙයි.’ හෙතෙම මෙසේ සිතා ඒ කාමයෙහි වරදවා හැසිරීම අත්හරියි. මත්තෙහිද කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වූයේ වේ. මෙසේ මේ පාපකර්මය ප්‍රහීණ වේ. මෙසේ මේ පාපකර්මයාගේ ඉක්මීම වේ.

“භාග්‍යවතුන් වහන්සේ වනාහි නොයෙක් අයුරින් බොරුකීම ගරහයි. නින්දාකරයි. බොරුකීමෙන් වළකිව්යයි ප්‍රකාශ කරති ‘මා විසින් යම් ඒ ප්‍රමාණයකින් බොරු කියා ඇත. මා විසින් යම් ඒ ප්‍රමාණයකින් බොරු කියන ලද්දේද, එය නරකය. එය යහපත් නොවේයයි පසුතැවෙන්නෙම් නම් ඒ හේතුවෙන් ඒ පාපකර්මය මා විසින් නොකරන ලද්දේ නොවෙයි’ හෙතෙම මෙසේ සිතා ඒ බොරුකීම අත්හරියි. මත්තෙහිද බොරුකීමෙන් වෙන්වූයේවේ. මෙසේ ඒ පාපකර්මයාගේ ප්‍රහාණය වේ. මෙසේ ඒ පාපකර්මයාගේ ඉක්මවීම වේ.

“හෙතෙම සතුන් මැරීම අත්හැර සතුන් මැරීමෙන් වෙන්වූයේවේ. සොරකම් අත්හැර සොරකමින් වෙන්වූයේවේ. කාමයෙහි වරදවා හැසිරීම අත්හැර කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වූයේ වේ. බොරුකීම අත්හැර බොරුකීමෙන් වෙන්වූයේ වේ. කේළාම් කීම අත්හැර කේළාම් කීමෙන් වෙන්වූයේ වේ. ඵරුෂවචන කීම අත්හැර ඵරුෂවචන කීමෙන් වෙන්වූයේ වේ. ප්‍රලාපකීම අත්හැර ප්‍රලාප කීමෙන් වෙන්වූයේ වේ දැඩි ලොභය අත්හැර දැඩි ලොභ නැත්තේ වේ. ව්‍යාපාදය අත්හැර ව්‍යාපාද නැත්තෙක්වේ. මිථ්‍යාදෘෂ්ටිය අත්හැර සම්‍යක්දෘෂ්ටි ඇත්තේ වේ.

“ගාමණිය, ඒ ආර්යශ්‍රාවකතෙම මෙසේ අභිධ්‍යාව පහකළේ ව්‍යාපාදය පහකළේ මුළා නොවූයේ යහපත් ප්‍රඥාවෙන් යුක්තවූයේ සිහි ඇත්තේ මෛත්‍රීසහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙවෙනි දිසාවක් එසේ තුන්වෙනි දිසාවක්, එසේ සතරවෙනි දිසාවක්, මෙසේ උඩ යට සරස සර්වප්‍රකාරයෙන් හැමතැන සියල්ල සහිත ලොකය විශාලවූ මහද්ගතවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ව්‍යාපාද නැත්තාවූ මෛත්‍රි සහගත සිතින් පතුරුවා වාසය කරයි.

“ගාමණිය, බලවත් සක්පිඹින්නෙක් අපහසුවක් නැතිවම සතර දිසාවට දන්වන්නේද, එසේම ගාමිණිය මෙසේ වඩනලද මෙසේ බහුල වශයෙන් කරනලද මෛත්‍රීසහගත සමාධිය කාමාවචර කර්මයෙන් මැඩ පැවැත්විය නොහේ. යටකළ නොහේ.

“ගාමණිය, ඒ ආර්යශ්‍රාවකතෙම් මෙසේ අභිධ්‍යාව පහකළේ ව්‍යාපාදය පහකළේ මුළානොවූයේ යහපත් ප්‍රඥාවෙන් යුක්තවූයේ සිහි ඇත්තේ කරුණාසහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙවෙනි දිසාවක් එසේ තුන්වෙනි දිසාවක්, එසේ සතරවන දිසාවක්. මෙසේ උඩ යට සරස සර්වප්‍රකාරයෙන් හැමතැන සියල්ල සහිත ලොකය විශාලවූ මහද්ගතවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ කරුණාසහගත සිතින් පතුරුවා වාසය කරයි.

“ගාමණිය, බලවත් සක් පිඹින්නෙක් අපහසුවක් නැතිවම සතර දිසාවට දන්වන්නේද, එසේම ගාමිණිය මෙසේ වඩනලද, මෙසේ බහුල වශයෙන් කරනලද කරුණාසහගත සමාධිය කාමාවචර කර්මයෙන් මැඩ පැවැත්විය නොහේ. යටකළ නොහේ.

“ගාමණිය, ඒ ආර්යශ්‍රාවක තෙම මෙසේ අභිධ්‍යාව පහකළේ ව්‍යාපාදය පහකළේ මුළානොවූයේ යහපත් ප්‍රඥාවෙන් යුක්තවූයේ සිහි ඇත්තේ මුදිතා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙවෙනි දිසාවක්, එසේ තුන්වෙනි දිසාවක්, එසේ සතරවන දිසාවක්, මෙසේ උඩ යට සරස සර්වප්‍රකාරයෙන් හැමතැන සියල්ල සහිත ලොකය විශාලවූ මහද්ගතවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ව්‍යාපාද නැත්තාවූ, මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයි.

“ගාමණිය, බලවත් සක් පිඹින්නෙක් අපහසුවක් නැතිවම සතර දිසාවට දන්වන්නේද, එසේම ගාමිණිය මෙසේ වඩනලද මෙසේ බහුල වශයෙන් කරනලද මුදිතාසහගත සමාධිය කාමාවචර කර්මයෙන් මැඩ පැවැත්විය නොහේ. යටකළ නොහේ.

“ගාමණිය, ඒ ආර්යශ්‍රාවකතෙම මෙසේ අභිධ්‍යාව පහකළේ ව්‍යාපාදය පහකළේ මුළානොවූයේ යහපත් ප්‍රඥාවෙන් යුක්තවූයේ සිහි ඇත්තේ උපෙක්ෂා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙවන දිසාවක්, එසේ තුන්වන දිසාවක්, එසේ සතරවන දිසාවක්. මෙසේ උඩ යට සරස සර්වප්‍රකාරයෙන් හැම තැන සියල්ල සහිත ලොකය විශාලවූ මහද්ගතවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ව්‍යාපාද නැත්තාවූ උපෙක්ෂාසහගත සිතින් පතුරුවා වාසය කරයි.

“ගාමණිය, බලවත් සක් පිඹින්නෙක් අපහසුවක් නැතිවම සතර දිසාවට දන්වන්නේද, එසේම ගාමිණිය මෙසේ වඩනලද මෙසේ බහුල වශයෙන් කරනලද උපෙක්ෂා සහගත සමාධිය කාමාවචර කර්මයෙන් මැඩපැවැත්විය නොහේ. යට කළ නොහේ.”

මෙසේ වදාළ කල්හි අසිබන්ධක පුත්‍රවූ ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, යහපත, ස්වාමීනි, යහපත ස්වාමීනි යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේද වැසුණ දෙයක් විවෘතකරන්නේද, මංමුළාවූවෙකුට මග කියන්නේද, ඇස් ඇත්තාහු රූප දකිත්වයි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය දෙශනා කරන ලදී. ස්වාමීනි, ඒ මම ධර්මයද භික්ෂු සංඝයාද සහිත භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට යමි. අද පටන් ජීවිතාන්තය දක්වා සරණගත උපාසකයෙකු කොට මා දරණසේක්වායි” කීයේය.