සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

10. අව්‍යාකත සංයුත්තය

7. ආයතන සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. ඉක්බිති වච්ඡගොත්ත පරිබ්‍රාජකතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවිය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන් වච්ඡගොත්ත පරිබ්‍රාජකතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන්ට, “පින්වත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, ලෝකය ශාස්වතද?”

[2] “වච්ඡගොත්තය, ලොකයශාස්වතය යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ නොකරන ලදැයි” කීයේය.

“පින්වත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, කිමෙක්ද? ලෝකය අශාස්වතද?”

“වච්ඡගොත්තය, ලෝකය අශාස්වාතය යන මෙයද තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලදී.”

“පින්වත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, ලෝකය කෙළවරක් ඇත්තේද?”

“වච්ඡගොත්තය, ලෝකය කෙළවරක් ඇත්තේය යන මෙයද භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරණ ලදී.”

“පින්වත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, කිමෙක්ද? ලෝකය කෙළවරක් නැත්තේද?”

“වච්ඡය, ලෝකය කෙළවරක් නැත්තේයයි මෙයද භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරණ ලදී.”

“පින්වත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, කිමෙක්ද? එය ජීවයද, එයම ශරීරයද?”

“වච්ඡය, එය ජීවය එයම ශරීරය යන මෙයද භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරණ ලදී.”

“පින්වත් මොග්ගල්ලානය, කිමෙක්ද? ජීවය අනිකක්ද? ශරීරය අනිකක්ද?”

“වච්ඡය, ජීවය අනිකක්ය, ශරීරය අනිකක්ය යන මෙයද භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරණ ලදී.”

[3] “පින්වත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, කිමෙක්ද? සත්වතෙමේ මරණින් මතු වේද?”

“වච්ඡය, සත්වතෙමේ මරණින් මතු වේය යන මෙයද භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරණ ලදී.”

“පින්වත් මොග්ගල්ලාන ස්ථවිරයන්වහන්ස, කිමෙක්ද? සත්වතෙම මරණින් මතු නොවේද?”

“වච්ඡය, සත්වතෙමේ මරණින් මතු නොවේය යන මෙයද භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරණ ලදී.”

“පින්වත් මොග්ගල්ලාන ස්ථවිරයන්වහන්ස, කිමෙක්ද? සත්වතෙමේ මරණින් මතු වේද, නොවේද?”

“වච්ඡය, සත්වතෙමේ මරණින් මතු වේද, නොවේද යන මෙයද භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරණ ලදී.”

“පින්වත් මොග්ගල්ලාන ස්ථවිරයන්වහන්ස, කිමෙක්ද? සත්වතෙමේ මරණින් මතු නොවේද, නොවන්නේත් නොවේද?

“වච්ඡය, සත්වතෙමේ මරණින් මතු නොවේද, නොවන්නේත් නොවේද යන මෙයද භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරණ ලද්දේයයි” කීය.

[4] “පින්වත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, යම් කාරණයකින් මෙසේ අසන ලද්දාවූ අන්‍යතීර්ථකයන්ගේ ලෝකය ශාස්වතයයි හෝ ලෝකය අශාස්වතයයි හෝ ලෝකය අන්තයක් ඇත්තේයයි හෝ ලෝකය අන්තයක් නැත්තේයයි හෝ එය ජීවය එයම ශරීරයයි හෝ අනිකක් ජීවය අනිකක් ශරීරයයි හෝ සත්වයා මරණින් මතු වේයයි හෝ සත්වයා මරණින් මතු නොවේයයි හෝ සත්වයා මරණින් මතු වන්නේද වෙයි. නොවන්නේද වෙයි කියා හෝ සත්වයා මරණින් මතු නොවේ, නොවන්නේ නොවේයයි කියා හෝ මෙසේ ප්‍රකාශ කිරීමක් ඇත්තේද, ඊට හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද?”

“පින්වත් මොග්ගල්ලාන ස්ථවිරය, මෙසේ අසන ලද්දාවූ ශ්‍රමණ ගෞතමයන්ගේ ලෝකය ශාස්වතයයි කියාද, ලෝකය අශාස්වතයයි කියාද, ලෝකය අන්තයක් ඇත්තේයයි කියාද ලෝකය අන්තයක් නැත්තේයයි කියාද, එය ජීවය එය ශරීරයයි කියාද, අනිකක් ජීවය අනිකක් ශරීරය කියාද, සත්වතෙමේ මරණින් මතු වේයයි කියාද, සත්වතෙමේ මරණින් මතු නොවේයයි කියාද, සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි නොවන්නේද වෙයි කියාද සත්වතෙමේ මරණින් මතු නොවේ නොවන්නේ නොවේයයි කියාද මෙසේ ප්‍රකාශ කිරීමක් නැත්තේද? ඊට හේතු කවරේද? ඊට ප්‍රත්‍යය කවරේද?”

[5] “වච්ඡය, අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ වනාහි ඇස මේ මගේය, මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි දකිත්.

“කන මේ මගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි දකිත්.

“නාසය මේ මගේය මේ මම වෙමි මේ මාගේ ආත්මයයි දකිත්.

“දිව මේ මගේය. මේ මම වෙමි. මේ මගේ ආත්මයයි දකිත්.

“කය මේ මගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි දකිත්.

“සිත මේ මගේය. මේ මම වෙමි. මේ මගේ ආත්මයයි දකිත්.

“එසේ හෙයින් මෙසේ අසනලද අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ ලෝකය ශාස්වතය කියාද, ලෝකය අශාස්වතයයි කියාද, ලොකය අන්තයක් ඇත්තේයයි කියාද, ලෝකය අන්තයක් නැත්තේයයි කියාද, එය ජීවය එය ශරීරයයි කියාද, අනිකක් ජීවය, අනිකක් ශරීරයයි කියාද, සත්වතෙමේ මරණින් මතු වේයයි කියාද, සත්වතෙමේ මරණින් මතු නොවේයයි කියාද, සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි කියාද, සත්වතෙමේ මරණින් මතු නොවේ. නොවන්නේද නොවේයයි කියාද ප්‍රකාශ කෙරෙත්.

[6] “වච්ඡය, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ඇස මේ මගේ නොවේ. මේ මම නොවෙමි. මේ මගේ ආත්මය නොවේයයි දකිත්.

“කන මේ මගේ නොවේ මේ මම නොවෙමි. මේ මගේ ආත්මය නොවේ යයි දකිත්.

“නාසය මේ මගේ නොවේ. මේ මම නොවෙමි. මේ මගේ ආත්මය නොවේයයි දකිත්.

“දිව මේ මගේ නොවේ. මේ මම නොවෙමි. මේ මගේ ආත්මය නොවේයයි දකිත්.

“කය මේ මගේ නොවේ. මේ මම නොවෙමි. මේ මගේ ආත්මය නොවේයයි දකිත්.

“සිත මේ මගේ නොවේ. මේ මම නොවෙමි. මේ මගේ ආත්මය නොවේයයි දකිත්.

“එසේ හෙයින් මෙසේ අසන ලද තථාගතයන් වහන්සේගේ සත්වතෙම ලෝකය ශාස්වතයයි කියාද, ලෝකය අශාස්වතයයි කියාද, ලෝකය අන්තයක් ඇත්තේයයි කියාද, ලෝකය අන්තයක් නැත්තේයයි කියාද, එය ජීවය, එය ශරීරයයි කියාද, අනිකක් ජීවය, අනිකක් ශරීරයයි කියාද, සත්වතෙමේ මරණින් මතු වේයයි කියාද, සත්වතෙමේ මරණින් මතු නොවේයයි කියාද, සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි. නොවන්නේද වෙයි කියාද, සත්වතෙමේ මරණින් මතු නොවේ. නොවන්නේද නොවේයයි කියාද ප්‍රකාශ නොකෙරෙත්.

[7] ඉක්බිති වච්ඡගොත්ත පරිබ්‍රාජකතෙම හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන්වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතුවූ සිහිකටයුතුවූ කථාවකොට නිමවා එක්පසෙක හුන්නේය. එක්පසෙකහුන් වච්ඡගොත්ත පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේගෙන් “භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? ලෝකය ශාස්වතද?”

[8] “වච්ඡය, ලෝකය ශාස්වතය යන මෙය මා විසින් ප්‍රකාශ නොකරන ලදී.”

“භවත් ගෞතමන් වහන්ස, කිමෙක්ද, ලෝකය අශාස්වතද?” - “වච්ඡය, ලෝකය අශාස්වතය යන මෙයද මා විසින් ප්‍රකාශ නොකරන ලදී.”

“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද, ලෝකයේ අන්තයක් ඇත්තේද?” - “වච්ඡය, ලෝකයේ අන්තයක් ඇත්තේය යන මෙයද මා විසින් ප්‍රකාශ නොකරනලදී.”

“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද, ලෝකයේ අන්තයක් නැත්තේද?” - “වච්ඡය, ලෝකයේ අන්තයක් නැත්තේය යන මෙයද මා විසින් ප්‍රකාශ නොකරන ලදී.”

“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද, එය ජීවය වූයේ එයම ශරීරය වේද?” - “වච්ඡය, එය ජීවය වූයේ, එයම ශරීරය වේ යන මෙයද මා විසින් ප්‍රකාශ නොකරන ලදී.”

“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද, ජීවය අනිකක් වූයේ, ශරීරය අනිකක් වේද?” - “වච්ඡය, ජීවය අනිකක් වූයේ, ශරීරය අනිකක් වේ යන මෙයද මා විසින් ප්‍රකාශ නොකරන ලදී.”

“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද, සත්වතෙමේ මරණින් මතු වේද?” - “වච්ඡය, සත්වතෙමේ මරණින් මතු වේ යන මෙයද මා විසින් ප්‍රකාශ නොකරනලදී.”

“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද, සත්වතෙමේ මරණින් මතු නොවේද?” - “වච්ඡය, සත්වතෙමේ මරණින් මතු නොවේ යන මෙයද මා විසින් ප්‍රකාශ නොකරන ලදී.”

“භවත් ගෞතමයන් වහන්ස, සත්වතෙමේ මරණින් මතු වන්නේත් නොවන්නේත් වේද?” - “වච්ඡය, සත්වතෙමේ වන්නේත් නොවන්නේත් වේ යන මෙයද මා විසින් ප්‍රකාශ නොකරන ලදී.”

“භවත් ගෞතමයන් වහන්ස, සත්වතෙමේ මරණින් මතු නොවෙයි. නොවන්නේත් නොවේද?” - “වච්ඡය, සත්වතෙමේ මරණින් මතු නොවෙයි. නොවන්නේත් නොවෙයි යන මෙයද මා විසින් ප්‍රකාශ නොකරන ලදී.”

[9] “භවත් ගෞතමයන් වහන්ස, මෙසේ අසනලද අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ ලොකය ශාස්වතයයි හෝ ලෝකය අශාස්වතයයි කියාද, ලොකය අන්තයක් ඇත්තේයයිද, ලොකය අන්තයක් නැත්තේයයිද, එය ජීවය එයම ශරීරය යයි කියාද, ජීවය අනිකකි ශරීරය අනිකකියි කියාද, සත්ව තෙමේ මරණින් මතු වේයයිද, සත්වතෙමේ මරණින්මතු නොවේයයිද සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි නොවන්නේද වෙයි කියාද, සත්වතෙමේ මරණින් මතු නොවන්නේද වෙයි නොවන්නේත් නොවෙයි කියාද, මෙසේ ප්‍රකාශ කිරීමක් ඇද්ද, ඊට හේතුව කවරේද? ඊට ප්‍රත්‍යය කවරේද?

“මෙසේ අසනලද්දාවූ භවත් ගෞතමයන්ගේ ලොකය ශාස්වතයයිද, ලොකය අශාස්වතයයි කියාද, ලොකය අන්තයක් ඇත්තේයයිද, ලොකය අන්තයක් නැත්තේ යයිද, එය ජීවය එයම ශරීරයයි කියාද, ජීවය අනිකකි ශරීරය අනිකයි කියාද, සත්වතෙමේ මරණින් මතු වේයයිද, සත්වතෙමේ මරණින් මතු නොවේයයිද, සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි නොවන්නේද වෙයි කියාද, සත්වතෙමේ මරණින් මතු නොවෙයි. නොවන්නේත් නොවෙයි කියාද, මෙසේ ප්‍රකාශ නොකිරීමක් ඇත්ද, ඊට හෙතු කවරේද, ඊට ප්‍රත්‍යය කවරේද?”

[10] “වච්ඡය, අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ ඇස මෙය මගේය මේ මම වෙමි. මේ මගේ ආත්මයයි දකිත්.

“කන මෙය මගේය. මේ මම වෙමි. මේ මගේ ආත්මයයි දකිත්.

“නාසය මෙය මගේය. මේ මම වෙමි. මේ මගේ ආත්මයයි දකිත්.

“දිව මෙය මගේය. මේ මම වෙමි. මේ මගේ ආත්මයයි දකිත්.

“කය මෙය මගේය. මේ මම වෙමි. මේ මගේ ආත්මයයි දකිත්.

“සිත මේ මමය. මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි. දකිත්.

“එසේ හෙයින් මෙසේ අසනලද අන්‍ය තීර්ථකයන්ගේ ලෝකය ශාස්වතයයි හෝ ලොකය අශාස්වතයයි කියාද, ලොකය අන්තයක් ඇත්තේයයිද, ලොකය අන්තයක් නැත්තේයයිද, එය ජීවය එයම ශරීරයයි කියාද ජීවය අනිකකි ශරීරය අනිකකියි කියාද, සත්වතෙමේ මරණින් මතු වේයයිද, සත්වතෙමේ මරණින් මතු නොවේයයිද, සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි නොවන්නේද වෙයි කියාද, සත්වතෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේත් නොවෙයි කියාද මෙසේ ප්‍රකාශ කිරීමවේ.

[11] “වච්ඡය, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතතෙමේ ඇස මෙය මගේ නොවේ. මේ මම නොවෙමි. මෙය මගේ ආත්මය නොවේයි දකියි.

“කන මෙය මගේ නොවේ. මේ මම නොවෙමි. මෙය මගේ ආත්මය නොවේයයි දකියි.

“නාසය මෙය මගේ නොවේ. මේ මම නොවෙමි. මෙය මගේ ආත්මය නොවේයයි දකියි.

“දිව මෙය මගේ නොවේ. මේ මම නොවෙමි. මෙය මගේ ආත්මය නොවේයයි දකියි.

“කය මෙය මගේ නොවේ. මේ මම නොවෙමි. මෙය මගේ ආත්මය නොවේයයි දකියි.

“සිත මෙය මගේ නොවේ මේ මම නොවෙමි මෙය මගේ ආත්මය නොවේයයි දකියි.

“එහෙයින් මෙසේ අසනලද තථාගතයන්ගේ ලොකය ශාස්වතයයි කියාද, ලොකය අශාස්වතයයි කියාද ලොකය අන්තයක් ඇත්තේයයිද, ලොකය අන්තයක් නැත්තේයයිද, එය ජීවය එයම ශරීරයයි කියාද, ජීවය අනිකකි ශරීරය අනිකකියි කියාද, සත්වතෙමේ මරණින් මතු වේයයිද, සත්ව තෙමේ මරණින් මතු නොවේයයිද, සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි නොවන්නේද වෙයි කියාද සත්වතෙමේ මරණින් මතු නොවෙයි නොවන්නේත් නොවෙයි කියාද මෙසේ ප්‍රකාශ කිරීමක් නැත.

[12] “භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්යයි. භවත් ගෞතමයන් වහන්ස අද්භූතයි. මේ ධර්මපදයෙහි ශාස්තෲහුගේද, ශ්‍රාවකයාගේද, අර්ථයෙන් අර්ථය ව්‍යඤ්ජනයෙන් ව්‍යඤ්ජනය වචනයෙන් වචනය සංසන්දනය වන්නේය. සමවන්නේය. වෙනස් නොවන්නේය. භවත් ගෞතමයන් වහන්ස, දැන් මම මොග්ගල්ලාන ශ්‍රමණයන් කරා පැමිණ මේ අර්ථය ඇසුවෙමි.

“භවත් ගෞතමතෙමේ යම්සේද එමෙන් ශ්‍රමණ මොග්ගල්ලාන තෙමේද මේ පදයන්ගෙන් මේ ව්‍යඤ්ජනයන්ගෙන් මේ අර්ථය ප්‍රකාශ කළේය.

“භවත් ගෞතමයන්වහන්ස, ආශ්චර්යයි. භවත් ගෞතමයන් වහන්ස, අද්භූතයි. යම් ධර්ම පදයෙක්හි ශාස්තෲහුගේද, ශ්‍රාවකයාගේද, අර්ථයෙන් අර්ථය ව්‍යංජනයෙන් ව්‍යංජනය වචනයෙන් වචනය සංසන්දනය වන්නේය, සමවන්නේය, වෙනස් නොවන්නේයයි” කීය.