සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
1. අවිජ්ජා වර්ගය
8. අට්ඨංග විභාග සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවා පිළිගන්වන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, තොපට ආර්යඅෂ්ටාඩ්ගික මාර්ගය දෙශනා කරන්නෙමි. බෙදා දක්වන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමි.” ඒ භික්ෂූහු “එසේය. ස්වාමීනි’යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. “මහණෙනි, ආර්යඅෂ්ටාඩ්ගික මාර්ගය නම් කුමක්ද? ඒ මෙසේයි සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය සහ සම්‍යක් සමාධියයි.
“මහණෙනි, සම්‍යක් දෘෂ්ටිය කවරීද යත්, මහණෙනි යම් දුක දන්නාවූ ඥානයක් වේද, දුකට හෙතුව දන්නාවූ ඥානයක් වේද, දුක් නැතිකිරීම දන්නා ඥානයක් වේද දුක් නැති කිරීමට පැමිණෙන මාර්ගය දන්නා ඥානයක් වේද මහණෙනි මේ සම්‍යක් දෘෂ්ටියයි කියනු ලැබේ.
“මහණෙනි, සම්‍යක් සංකල්පය කුමක්ද? යම් නෛෂ්ක්‍රම්‍ය කල්පනාවක් වේද අව්‍යාපාද කල්පනාවක් වේද අවිහිංසා කල්පනාවක් වේද මහණෙනි මෙය සම්‍යක් සංකල්ප යයි කියනු ලැබේ.
“මහණෙනි, සම්‍යක් වචනය නම් කවරේද? මහණෙනි, යම් බොරුකීමෙන් වෙන්වීමක් වේද කේලාම් කීමෙන් වෙන් වීමක් වේද ඵරුස වචනයෙන් වෙන්වීමක් වේද හිස් වචන කීමෙන් වෙන්වීමක් වේද මහණෙනි, මෙය සම්‍යක් වචනයයි කියනු ලැබේ.
“මහණෙනි, සම්‍යක් කර්මාන්තය නම් කුමක්ද? මහණෙනි, යම් ප්‍රාණඝාතයෙන් වෙන්වීමක් වේද සොරකම් කිරීමෙන් වෙන්වීමක් වේද අබ්‍රහ්මචරියාවෙන් වෙන්වීමක් වේද මහණෙනි, මෙය සම්‍යක් කර්මාන්තයයි කියනු ලැබේ.
“මහණෙනි, සම්‍යක් ආජීවය නම් කුමක්ද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්යශ්‍රාවක තෙමේ වැරදි ජීවිකාවෙන් වෙන්ව යහපත් ජීවිකාවෙන් ජිවිකාව කෙරේද? මහණෙනි, මේ සම්‍යක් ආජීවයයි කියනු ලැබේ.
“මහණෙනි, සම්‍යක් ව්‍යායාමය නම් කුමක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නූපන් ලාමක අකුසල ධර්මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවයි. වීර්ය කෙරෙයි වීර්ය පටන් ගනියි. සිත ඔසවයි, උත්සාහ කෙරෙයි, උපන්නාවූ ලාමක අකුසල ධර්මයන්ගේ නැතිකිරීම පිණිස කැමැත්ත උපදවයි. උත්සාහ කෙරෙයි. වීර්ය කෙරෙයි වීර්ය පටන්ගනියි. සිත ඔසවයි උත්සාහ කෙරෙයි. නූපන් කුසල ධර්මයන්ගේ ඉපදවීම පිණිස කැමැත්ත උපදවයි. උත්සාහ කෙරෙයි වීර්ය පටන් ගනියි. සිත ඔසවයි, උත්සාහ කෙරෙයි. උපන් කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස, සිහි නැතිනොවීම පිණිස, බොහෝ බව පිණිස, මහත් බව පිණිස, වැඩීම පිණිස, සම්පූර්ණවීම පිණිස කැමැත්ත උපදවයි. උත්සාහ කරයි. වීර්ය පටන්ගනී. සිත ඔසවයි. උත්සාහ කරයි, මහණෙනි, මේ සම්‍යක් ව්‍යායාමයයි කියනු ලැබේ.
“මහණෙනි, සම්‍යක් සතිය කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙළෙස් තවන වීර්ය ඇතිව ඤාණයෙන් යුක්තව සිහියෙන් යුක්තව කාය සංඛ්‍යාත ලොකයෙහි ලොභ ද්වෙෂයන් සන්සිඳුවා කයෙහි කය අනුව නැවත නැවත බලමින් වාසය කරයිද, කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව ඤාණයෙන් යුක්තව සිහියෙන් යුක්තව වේදනා සංඛ්‍යාත ලොකයෙහි ලොභ දොසයන් සන්සිඳුවා වෙදනාවන්හි වෙදනාව අනුව නැවත නැවත බලමින් වාසය කරයිද, කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව ඤාණයෙන් යුක්තව සිහියෙන් යුක්තව චිත්ත සංඛ්‍යාත ලොකයෙහි ලොභයද ද්වෙෂයද සන්සිඳුවන චිත්තයන්හි සිත නැවත නැවත බලමින් වාසය කරයිද, කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව ඤාණයෙන් යුක්තව සිහියෙන් යුක්තව ධර්ම සංඛ්‍යාත ලොකයෙහි ලොභ දොසයන් සන්සිඳුවා ධර්මයන්හි ධර්මයන් අනුව නැවත නැවත බලමින් වාසය කරයිද, මහණෙනි, මේ සම්‍යක් සතියයි කියනු ලැබේ.
“මහණෙනි, සම්‍යක් සමාධිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම පඤ්චකාමයෙන් වෙන්වම අකුසලයන්ගෙන් වෙන්ව විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත්තාවූ ප්‍රීතිය හා සැපය ඇති පළමුවන ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් තමා තුළ පැහැදීම කරන්නාවූ චිත්තයාගේ එකඟ බව වූ විතර්ක නැති විචාර නැති සමාධියෙන් උපන්නාවූ ප්‍රීතිය හා සැපය ඇති දෙවන ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, ප්‍රීතියෙහිද නොඇල්මෙන් ධ්‍යාන උපෙක්ෂාවෙන් යුක්තවූයේ සිහි ඇත්තේ නුවණ ඇත්තේ කයින් සුව විඳීද, යම් ධ්‍යානයක් උපෙක්ෂාවෙන් යුක්තව සිහියෙන් යුක්තව සැපවිහරණ ඇත්තේයයි ආර්යයෝ කියත්, ඒ තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, සැප නැතිකිරීමෙන්ද දුක නැතිකිරීමෙන්ද ධ්‍යානය ලැබීමට පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ දුරුකිරීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ඛා සති දෙකින් පිරිසිදුවූ සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ සම්මා සමාධියයි කියනු ලැබේ යයි’ වදාළෝය.