සංයුත්තනිකායො

මහා වර්ගය

2. බොජ්ඣංග සංයුත්තය

1. පර්වත වර්ගය

1. හිමවන්ත සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා ඒ භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, හිමාලය පර්වතරාජයා නිසා නාගයෝ කය වඩත්. බලගන්වත්. ඔවුන් එහි කය වඩා, බලගන්වා කුඩා වලවලට බසිත්. කුඩා වලවලට බැස, මහවලවලට බසිත්. මහ වලවලට බැස, කුඩා ගංගාවලට බසිත්. කුඩා ගංගාවලට බැස, මහ ගංගාවලට බසිත්. මහ ගංගාවලට බැස, මහා සමුද්‍රයට-සාගරයට බසිත්. එහිදී ඔවුන් කයින් මහත් බවට විශාල බවට පැමිණෙත්.

“මහණෙනි, එසේම මහණතෙම වනාහි සීලය නිසා සීලයෙහි පිහිටා, සත්තබොජ්ඣංගයන් බහුලකරන්නේ, ධර්මයන්හි මහත් බවට විපුල බවට පැමිණෙයි. මහණෙනි, මහණතෙම කෙසේනම් සීලය නිසා, සීලයෙහි පිහිටා, සත්තබොජ්ඣංගයන් වඩන්නේ සත්තබොජ්ඣංගයන් බහුල කරන්නේ, ධර්මයන්හි මහත් විශාල බවට පැමිණෙයිද?

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ, සති සම්බොජ්ඣංගය වඩාද, විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ, ධම්මවිචය සම්බොජ්ඣගය වඩාද, විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ විරිය සම්බොජ්ඣංගගය වඩාද, විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ නිවනට නැමුණාවූ පීති සම්බොජ්ඣංගය වඩාද විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ, පස්සද්ධි සම්බොජ්ඣංගය වඩාද, විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ, සමාධි සම්බෝජ්ඣංගය වඩාද, විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ උපෙක්ෂා සම්බොජ්ඣංගය වඩාද,

“මහණෙනි, මෙසේ වනාහි මහණතෙම සීලය නිසා, සීලයෙහි පිහිටා, සත්ත බොජ්ඣංගයන් වඩන්නේ, සත්ත බොජ්ඣංගයන් බහුල කරන්නේ ධර්මයන්හි බහුල බවට, මහත් බවට පැමිණේයයි” වදාළසේක.