සංයුත්තනිකායො

මහා වර්ගය

2. බොජ්ඣංග සංයුත්තය

1. පර්වත වර්ගය

2. ආහාරඨිති කාය සූත්‍රය

(මේ සූත්‍රයද මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)

“මහණෙනි, මේ කය ආහාරය නිසා සිටියිද, ආහාරය නැතිව නොසිටීද, මහණෙනි, එසේ වනාහි පඤ්චනීවරණයෝ ආහාර නැතිව නොසිටිත්. මහණෙනි, නූපන්නාවූ කාමච්ඡන්දයාගේ ඉපදීම පිණිස හෝ උපන්නාවූ කාමච්ඡන්දයාගේ බහුල භාවය පිණිස, මහත් භාවය පිණිස හෝ පවතින්නාවූ ආහාරය කවරේද?

“මහණෙනි, සුභ නිමිත්තක් ඇත්තේය. එහි නුනුවණින් මෙනෙහි කිරීම බහුලකොට පැවැත්මක් වේද, මෙය නූපන්නාවූ කාමච්ඡන්දයාගේ ඉපදීම පිණිස හෝ උපන්නාවූ කාමච්ඡන්දයාගේ බහුල භාවය පිණිස, මහත් භාවය පිණිස හෝ ආහාරය වේ.

“මහණෙනි, නූපන්නාවූ ව්‍යාපාදයාගේ ඉපදීම පිණිස හෝ උපන්නාවු ව්‍යාපාදයාගේ බහුල භාවය පිණිස, මහත් භාවය පිණිස හෝ පවත්නාවූ ආහාරය කවරේද? මහණෙනි, පටිඝනිමිත්තක් ඇත්තේය. එහි නුනුවණින් මෙනෙහි කිරීම බහුලකොට පැවැත්මක් වේද, මෙය නූපන්නාවූ ව්‍යාපාදයාගේ ඉපදීම පිණිස හෝ උපන්නාවූ ව්‍යාපාදයාගේ බහුල භාවය, මහත් භාවය පිණිස හෝ ආහාරය වේ.

“මහණෙනි, නූපන්නාවූ ථින මිද්ධයාගේ ඉපදීම පිණිස හෝ උපන්නාවූ ථින මිද්ධයාගේ බහුලභාවය, මහත්භාවය පිණිස හෝ පවතින්නාවූ ආහාරය කවරේද? මහණෙනි, නොඇල්ම සිතේ අලස බව කයේ අලස බව බත් මදය සහ සිතේ හැකුළුණු බවක් ඇත්තේය. එහි නුනුවණින් මෙනෙහි කිරීම බහුලකොට පැවැත්මක් වේද, මෙය නූපන්නාවූ ථින මිද්ධයාගේ ඉපදීම පිණිස හෝ උපන්නාවූ ථින මිද්ධයාගේ බහුල භාවය, මහත් භාවය පිණිස හෝ ආහාරයවේ.

“මහණෙනි, නූපන්නාවූ උද්ධච්චකුක්කුච්චයාගේ ඉපදීම පිණිස හෝ උපන්නාවූ උද්ධච්චකුක්කුච්චයාගේ බහුලභාවය මහත් භාවය පිණිස හෝ පවතින්නාවූ ආහාරය කවරේද? මහණෙනි, සිතේ නොසන් සිඳීමක් ඇත්තේය. එහි නුනුවණින් මෙනෙහි කිරීම බහුලකොට පැවැත්මක් වේද, මෙය නූපන්නාවූ උද්ධච්චකුක්කුච්චයාගේ ඉපදීම පිණිස හෝ උපන්නාවූ උද්ධච්චකුක්කුච්චයාගේ බහුල භාවය මහත් භාවය පිණිස හෝ ආහාරය වේ.

“මහණෙනි, නූපන්නාවූ විචිකිච්ඡාවේ ඉපදීම පිණිස හෝ උපන්නාවූ විචිකිච්ඡාවේ බහුල භාවය, මහත්භාවය පිණිස හෝ පවත්නාවූ ආහාරය කවරේද? මහණෙනි, සැකයට (විචිකිච්ඡාවට) ස්ථානවූ ධර්මයෝ ඇත්තාහ. එහි නුනුවණින් මෙනෙහි කිරීම බහුලකොට පැවැත්මක් වේද, මෙය නූපන්නාවූ විචිකිච්ඡාවේ ඉපදීම පිණිස හෝ උපන්නාවූ විචිකිච්ඡාවේ බහුල භාවය, මහත් භාවය පිණිස හෝ ආහාරය වේ. මහණෙනි, යම්සේ මේ කය වනාහි ආහාරයෙන් පවතින්නේ ආහාර නිසා සිටියිද, ආහාර නැතිව නොසිටියිද, මහණෙනි, එසේම මේ පඤ්චනීවරණයෝ වනාහි ආහාරයෙන් පවතින්නාහු ආහාරය නිසා සිටිත්. ආහාරය නැතිව නොසිටිත්.

“මහණෙනි, මේ කය වනාහි ආහාරයෙන් පවතින්නේ ආහාරය නිසා සිටීද, ආහාර නැතිව නොසිටීද, මහණෙනි, එසේම සත්තබොජ්ඣංගයෝ වනාහි ආහාරය නිසා පවතින්නාහු ආහාරය නිසා සිටිත්. ආහාරය නැතිව නොසිටිත්. මහණෙනි, නූපන්නාවූ සති සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිස හෝ උපන්නාවූ සති සම්බොජ්ඣාංගය වැඩීම පිණිස සම්පූර්ණවීම පිණිස හෝ පවතින්නාවූ ආහාරය කවරේද? මහණෙනි, සති සම්බොජ්ඣංගයට කරුණුවූ ධර්මයෝ ඇත්තාහ. එහි නුවණින් මෙනෙහි කිරීම බහුලකොට පැවැත්මක් වේද, එය නූපන්නාවූ සතිසම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ සතිසම්බොජ්ඣංගයාගේ වැඩීම පිණිසද සම්පූර්ණවීම පිණිසද ආහාරය වේ.

“මහණෙනි, නූපන්නාවූ ධම්ම විචය සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ ධම්ම විචය සම්බොජ්ඣංගයාගේ වැඩීම පිණිසද සම්පූර්ණවීම පිණිසද පවතින්නාවූ ආහාරය කවරේද? මහණෙනි, කුසලා’කුසල ධර්මයෝ සදොස් නිදොස් ධර්මයෝ කළු සුදු හා සමානවූ ධර්මයෝ ඇත්තාහ. එහි නුවණින් මෙනෙහි කිරීම බහුලකොට පැවැත්මක් වේද, එය නූපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගයාගේ වැඩීම පිණිසද සම්පූර්ණවීම පිණිසද ආහාරය වේ.

“මහණෙනි, නූපන්නාවූ විරිය සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ විරිය සම්බොජ්ඣංගයාගේ වැඩීම පිණිසද සම්පූර්ණවීම පිණිසද පවත්නාවූ ආහාරය කවරේද? මහණෙනි, ආරම්භ ධාතුව (පටන්ගන්නා වීර්ය) (කුසිතකමින් නික්මෙන වීර්ය) නික්කම ධාතුව සහ පරක්කම ධාතුව (අතර නොනවත්න වීර්ය) ඇත්තේය. එහි නුවණින් මෙනෙහි කිරීම බහුලකොට පැවැත්මක් වේද, මෙය නූපන්නාවූ විරිය සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ විරිය සම්බොජ්ඣංගයාගේ වැඩීම පිණිසද සම්පූර්ණවීම පිණිසද ආහාරය වේ.

“මහණෙනි, නූපන්නාවූ පීති සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ පීති සම්බොජ්ඣංගයාගේ වැඩීම පිණිසද සම්පූර්ණකිරීම පිණිසද, පවත්නාවූ ආහාරය කවරේද? මහණෙනි, පීති සම්බොජ්ඣංගයට කරුණුවූ ධර්මයෝ ඇත්තාහ. එහි නුවණින් මෙනෙහි කිරීම බහුලකොට පැවැත්මක් වේද, මෙය නූපන්නාවූ පීති සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ පීති සම්බොජ්ඣංගය වැඩීම පිණිසද සම්පූර්ණ කිරීම පිණිසද ආහාරය වේ.

“මහණෙනි, නූපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගයාගේ වැඩීම පිණිසද සම්පූර්ණවීම පිණිසද පවත්නාවූ ආහාරය කවරේද? මහණෙනි, කාය පස්සද්ධිය සහ චිත්ත පස්සද්ධිය ඇත්තේය. එහි නුවණින් මෙනෙහි කිරීම බහුලකොට පැවැත්මක් වේද මෙය නූපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣයාගේ වැඩීම පිණිසද සම්පූර්ණවීම පිණිසද ආහාරය වේ.

“මහණෙනි, නූපන්නාවූ සමාධි සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද, සමාධි සම්බොජ්ඣංගයාගේ වැඩීම පිණිසද සම්පූර්ණවීම පිණිසද පවත්නාවූ ආහාරය කවරේද? මහණෙනි, සිතේ සංසිඳීම ඇතිකරන්නාවූ සමථ නිමිත්ත ඇත්තේය. එහි නුවණින් මෙනෙහි කිරීම බහුල කොට පැවැත්මක් වේද, එය නූපන්නාවූ සමාධි සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ සමාධි සම්බොජ්ඣංගයාගේ වැඩීම පිණිසද සම්පූර්ණවීම පිණිසද ආහාරය වේ.

“මහණෙනි, නූපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගයාගේ වැඩීම පිණිසද සම්පූර්ණවීම පිණිසද පවත්නාවූ ආහාරය කවරේද? මහණෙනි, උපෙක්ඛා සම්බොජ්ඣංගයට කරුණුවූ ධර්මයෝ ඇත්තාහ. එහි නුවණින් මෙනෙහි කිරීම බහුලකොට පැවැත්මක් වේද, එය නූපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගයාගේ වැඩීම පිණිසද සම්පූර්ණවීම පිණිසද ආහාරය වේ.

“මහණෙනි, යම්සේ මේ කය වනාහි ආහාරයෙන් පවත්නේ ආහාරය නිසා සිටීද, ආහාර නැතිව නොසිටීද, මහණෙනි එසේම මේ සත්ත සම්බොජ්ඣංගයෝ වනාහි ආහාරය නිසා පවත්නාහු, ආහාරය නිසා සිටිත්. ආහාරය නැතිව නොසිටිත්යයි” (වදාළසේක.)