සංයුත්තනිකායො

මහා වර්ගය

2. බොජ්ඣංග සංයුත්තය

1. පර්වත වර්ගය

3. සීලවන්ත දස්සන සූත්‍රය

(මේ සූත්‍රයද මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)

“මහණෙනි, යම් ඒ භික්ෂූහු සීලයෙන් යුක්තවූවාහුද ප්‍රඥාවෙන් යුක්තවූවාහුද විමුක්තියෙන් යුක්තවූවාහුද විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්තවූවාහුද, මහණෙනි, මම ඒ භික්ෂූන්ගේ දැකීමද බොහෝ උපකාර ඇත්තේයයි කියමි. මහණෙනි, මම ඒ භික්ෂූන් ගැන ඇසීමද බොහෝ උපකාර ඇත්තේයයි කියමි. මහණෙනි, මම ඒ භික්ෂූන් වෙත පැමිණීමද බොහෝ උපකාර ඇත්තේයයි කියමි. මහණෙනි, මම ඒ භික්ෂූන් ආශ්‍රය කිරීමද බොහෝ උපකාර ඇත්තේයයි කියමි. මහණෙනි, මම ඒ භික්ෂූන් ගැන සිහි කිරීමද බොහෝ උපකාර ඇත්තේයයි කියමි. මහණෙනි, මම ඒ භික්ෂූන් අනුව පැවිදිවීමද බොහෝ උපකාර ඇත්තේයයි කියමි. ඊට හේතු කවරේද?

“මහණෙනි, එබඳු භික්ෂූන්ගෙන් බණ අසා, කාය විවේකයෙන්ද චිත්ත විවේකයෙන්ද යන දෙවැදෑරුම් විවේකයෙන් යුක්තව වාසය කෙරෙයි. එසේ විවේකව වාසය කරන්නාවූ හෙතෙම ඒ ධර්මය සිහි කෙරෙයි. නැවත නැවත කල්පනා කෙරෙයි. මහණෙනි යම් කලෙක එසේ විවේකව වාසය කරන්නාවූ මහණතෙම ඒ ධර්මය සිහිකෙරෙයිද, නැවත නැවත කල්පනා කෙරෙයිද, එකල්හි ඒ මහණහුගේ සති සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේවෙයි. යම් කලක මහණ තෙම සති සම්බොජ්ඣංගය වඩයිද, එකල්හි මහණහුගේ සති සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. එසේ සිහියෙන් වාසය කරන්නාවූ ඒ මහණතෙම ඒ ධර්මය නුවණින් සොයයි. පරීක්ෂා කරයි. විමසීමට පැමිණෙයි.

“මහණෙනි, යම් කාලයක එසේ සිහියෙන් වාසයකරන්නාවූ මහණතෙම ඒ ධර්මය නුවණින් සොයාද පරීක්ෂා කරයිද විමසීමට පැමිණේද, එකල්හි ඒ මහණහුගේ ධර්මවිචය සම්බොජ්ඣංගය පටන් ගන්නා ලද්දේ වෙයි. යම් කලක මහණතෙම ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද, එකල්හි මහණහුගේ ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙයි. ඒ ධර්මය නුවණින් සොයන්නාවූ, පරීක්ෂාකරන්නාවූ, විමසීමට පැමිණෙන්නාවූ ඒ මහණහුගේ නොහැකිළෙන්නාවූ වීර්ය පටන් ගන්නා ලද්දේ වෙයි.

“මහණෙනි, යම් කලක ඒ ධර්මය නුවණින් සොයන්නාවූ, පරීක්ෂා කරන්නාවූ, විමසීමට පැමිණෙන්නාවූ මහණහුගේ නොහැකිළෙන්නාවූ වීර්යය පටන් ගන්නා ලද්දේවේද, එකල්හි මහණහුගේ විරිය සම්බොජ්ඣංගය පටන් ගන්නා ලද්දේවෙයි. යම් කලෙක මහණතෙම විරිය සම්බොජ්ඣංගය වඩයිද, එකල්හි මහණහුගේ විරිය සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙයි. පටන් ගන්නා ලද වීර්යය ඇත්තාහට නිරාමිස ප්‍රීතිය උපදවයි.

“මහණෙනි, යම් කලක පටන් ගන්නා ලද වීර්යය ඇත්තාවූ මහණහට නිරාමිස ප්‍රීතිය උපදීද, එකල්හි මහණහුගේ පීති සම්බොජ්ඣංගය පටන් ගන්නා ලද්දේ වෙයි. යම් කලක මහණතෙම පීති සම්බොජ්ඣංගය වඩයිද, එකල්හි මහණහුගේ පීති සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ වීමට පැමිණෙයි. පීති සිත ඇත්තාහුගේ කයද සංසිඳෙයි. සිතද සංසිඳෙයි.

“මහණෙනි, යම් කලක ප්‍රීති සිත ඇති මහණහුගේ කයත් සංසිඳෙයිද, සිතත් සංසිඳෙයිද, එකල්හි මහණහුගේ පස්සද්ධි සම්බොජ්ඣංගය පටන් ගන්නා ලද්දේ වෙයි. යම් කලක මහණතෙම පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද එකල්හි මහණහුගේ පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙයි. සංසිඳුණු කය ඇත්තාහට සැපය ඇතිවෙයි. සැප ඇත්තාහුගේ සිත එකඟවේ.

“මහණෙනි, යම්කලෙක සංසිඳුණු කය ඇත්තාවූ, සැප ඇත්තාවූ මහණහුගේ සිත එකඟවේද, එකල්හි මහණහුගේ සමාධි සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. යම් කලක මහණතෙම සමාධි සම්බොජ්ඣංගය වඩයිද, එකල්හි මහණහුගේ සමාධි සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙයි. එසේ එකඟවූ සිත මනාකොට මැදහත් වන්නේ වෙයි.

“මහණෙනි, යම් කලක මහණහුගේ එසේ එකඟවූ සිත මනාකොට මැදහත්වේද, එකල්හි මහණහුගේ උපෙක්ඛා සම්බොජ්ඣංගය පටන් ගන්නා ලද්දේ වෙයි. යම්කලක මහණතෙම උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, එකල්හි මහණහුගේ උපෙක්ඛා සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙයි.

“මහණෙනි, මෙසේ වඩනලද්දාවූ, මෙසේ බහුලකරන ලද්දාවූ, සත්තබොජ්ඣංගයන්ගෙන් වනාහී ඵල සතක්, ආනිසංස සතක් කැමැති වියයුත්තාහුය. ඵලසත, ආනිසංස සත කවරේද? මරණයට පෙර මේ ආත්මභාවයෙහිදීම රහත් බවට පැමිණෙන්නේ වෙයි. ඉදින් මරණයට පෙර, මේ ආත්මභාවයෙහිදීම රහත් බවට නොපැමිණෙන්නේ නම් මැරෙන කාලයෙහි රහත් බවට පැමිණෙන්නේ වෙයි. ඉදින් මරණයට පෙර, මේ ආත්ම භාවයෙහිදීම රහත්බවට නොපැමිණෙන්නේ නම්, ඉදින් මැරෙන කාලයෙහි රහත් බවට නොපැමිණෙන්නේ නම්, ඕරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් බඹලොවදී පිරිනිවන් පාන්නේ වන්නේය. ඉදින් මරණයට පෙර, මේ ආත්මභාවයෙහිදීම රහත් බවට නො පැමිණෙන්නේ නම්, ඉදින් මැරෙන කාලයෙහි රහත් බවට නොපැමිණෙන්නේ නම් ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් බඹලොවදී පිරිනිවන්පාන්නේ නොවන්නේ නම් ඕරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් පිරිනිවන් පාන්නෙක් වන්නේය. ඉදින් මරණයට පෙර, මේ ආත්මභාවයෙහිදීම රහත්බවට නොපැමිණෙන්නේ නම්, ඉදින් මැරෙන කාලයෙහි රහත්බවට නොපැමිණෙන්නේ නම්, ඉදින් ඔරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් අන්තරා පරිනිබ්බායි (සුද්ධාවාසයේදී කල්ප පන්සියයට ප්‍රථම රහත් වන්නෙක්) නොපාන්නේ නම් ඉදින් ඕරම්භාගි සංයෝජන පස ක්ෂය කිරීමෙන් උපහච්චපරිනිබ්බායි (සුද්ධාවාසයේ කල්ප පන්සියයකට පසුව රහත් වන්නේ) නොපාන්නේ නම් ඔරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් අසංස්කාර පරිනිබ්බායී (උත්සාහයක් නැතිව) රහත් වන්නෙක් වෙයි.

“ඉදින් මරණයට පෙර මේ ආත්මභාවයෙහිදීම රහත් බව නොලබන්නේ නම්, ඉදින් මැරෙන කාලයෙහි රහත් බව නොලබන්නේ නම්, ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් අන්තරා පරිනිබ්බායී පුද්ගලයෙක් නොවන්නේ නම් ඉදින් ඕරම්භාගිය සංයොජන පස ක්ෂය කිරීමෙන් උප හච්චපරිනිබ්බායී පුද්ගලයෙක් නොවන්නේ නම් ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ක්ෂයකිරීමෙන් අසංස්කාර පරිනිබ්බායී පුද්ගලයෙක් පිරිනිවන් නොපාන්නේ නම්, ඕරම්භාගිය සංයෝජන පස ක්ෂයකිරීමෙන් සසංඛාර පරිනිබ්බායී (උත්සාහ කිරීමෙන් රහත්වන්නෙක්) වෙයි.

“ඉදින් මරණයට පෙර මේ ආත්මභාවයෙහිදීම රහත්බව නොලබන්නේනම්, ඉදින් මැරෙන කාලයෙහි රහත්බව නොලබන්නේ නම්, ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් අන්තරා පරිනිබ්බායි පුද්ගලයෙක් නොවන්නේ නම්, ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් උපහච්ච පරිනිබ්බායී පුද්ගලයෙක් නොවන්නේ නම් ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් අසංඛාර පරිනිබ්බායී පුද්ගලයෙක් නොවන්නේ නම්, ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් සසංඛාර පරිනිබ්බායී පුද්ගලයෙක් නොවන්නේ නම් ඕරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් උද්ධංසොත අකනිට්ඨගාමී (පිළිවෙළින් අකනිටා බඹලොවට පැමිණ රහත්වන්නෙක්) වෙයි.

“මහණෙනි, මෙසේ වඩනලද බහුල කරන ලද සත්ත බොජ්ඣංගයන් ගෙන් මේ ඵල සත, මේ ආනිසංස සත කැමති වියයුතු යයි වදාළසේක.