සංයුත්තනිකායො

මහා වර්ගය

2. බොජ්ඣංග සංයුත්තය

6. සාකච්ඡා (බොජ්ඣංග) වර්ගය

2. පරියාස සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

[2] එකල්හි වනාහි බොහෝ භික්ෂූහු පෙරවරු කාලයෙහි හැඳ පොරවා පා සිවුරු ගෙන සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියාහුය. ඉක්බිති ඒ භික්ෂූන්ට මෙබඳු අදහසක් පහළවිය. ‘තවම සැවැත්නුවර පිඬු පිණිස හැසිරීමට කල් වැඩිය. අපි අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනකද එතැනට පැමිණෙන්නමෝ නම් යහපති’ කියායි. ඉක්බිති ඒ භික්ෂූහු අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනකද එතැනට ගියාහුය. ගොස් ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන් සමග සතුටුවූවාය. සතුටුවිය යුතු සිහිකටයුතු කථාවකොට නිමවා එක්පසෙක හුන්නාහුය. එක්පසෙක හුන්නාවූ ඒ භික්ෂූන්ට අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ මේ කාරණය කීහ.

[3] “ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ ශ්‍රාවකයන්ට මෙසේ දහම් දෙසයි.” ‘මහණෙනි, එව්, නුඹලා නුවණ දුර්වල කරන සිත කිලුටු කරන පංච නීවරණයන් දුරුකොට සප්ත බොධ්‍යංගයන් ඇති සැටියෙන් වඩව්’ යනුයි. ඇවැත්නි, අපිද ශ්‍රාවකයන්ට මෙසේ දහම් දෙශනා කරන්නෙමු. ‘ඇවැත්නි, එව්, නුඹලා නුවණ දුර්වල කරන සිත කිලුටුකරන පංචනීවරණයන් දුරුකොට සප්ත බොධ්‍යංගයන් ඇති සැටියෙන් වඩව්’ කියායි.

‘ඇවැත්නි, මෙහි ශ්‍රමණ ගෞතමයාගේ අනුශාසනාව හා අපගේ අනුශාසනාවේද ඇති වෙනස කුමක්ද, වෙනස් අදහස කුමක්ද? නානත්වය කුමක්ද? යනුයි.

[4] ඉක්බිති ඒ භික්ෂූහු ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ වචනය පිළිගත්තාහුද නොවූහ ප්‍රතික්ෂෙප කළාහුද නොවූහ. සතුටුද නොවී ප්‍රතික්ෂෙපද නොකොට භාග්‍යවතුන් වහන්සේ වෙතින් මේ කීමේ අර්ථය දැනගන්නෙමුයි” අස්නෙන් නැගිට ගියාහුය.

[5] ඉක්බිති ඒ භික්ෂූහු සැවැත්නුවර පිඬු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුනාහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි ගියාහුය. ගොස් භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසක හුන්නාහුය. එක් පසක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීහ. “ස්වාමීනි, අපි මේ පෙරවරු කාලයෙහි හැඳපොරවා පා සිවුරු ගෙන සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියෙමු. ස්වාමීනි, ඒ අපට මෙබඳු සිතෙක් විය. ‘සැවැත්නුවර පිඬුපිණිස හැසිරීමට තවම ඉතා උදෑසනය. (කල් වැඩිය.) අපි අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනකද එතැන්හි යන්නමෝ නම් හොඳය යනුයි. ඉක්බිති ස්වාමීනි, අපි අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනකද එතැනට ගියෙමු. ගොස් ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන් සමග සතුටුවූවෙමු. සතුටුවිය යුතු සිහිකටයුතු කථාවකොට ඉක්මවා එක්පසක හුන්නෙමු. ස්වාමීනි එක්පසක හුන්නාවූ අපට ඒ අන්‍යතීර්ථක පිරිවැජියෝ මෙසේ කීහ. ‘ඇවැත්නි, ශ්‍රමණ ගෞතමතෙමේ ශ්‍රාවකයන්ට මෙසේ දහම් දෙසයි (කෙසේද)

‘මහණෙනි, එව්, නුඹලා නුවණ දුර්වල කරන, සිත කිලුටු කරන පංච නීවරණයන් දුරුකොට සප්ත බොධ්‍යංගයන් ඇති සැටියෙන් වඩව්’ කියායි. ඇවැත්නි, අපිද ශ්‍රාවකයන්ට මෙසේ දහම් දෙසමු (කෙසේද)

‘ඇවැත්නි, එව්, නුඹලා නුවණ දුර්වල කරන සිත කිලුටු කරන, පංච නීවරණයන් දුරුකොට සප්ත බොධ්‍යංගයන් ඇති සැටියෙන් වඩව්’ කියායි. ‘ඇවැත්නි, මෙහි ශ්‍රමණ ගෞතමයන්ගේ ධර්ම දෙශනාව හා අපගේ ධර්මදේශනාවේද ශ්‍රමණ ගෞතමයන්ගේ අනුශාසනාව හා අපගේ අනුශාසනාවේද ඇති වෙනස කුමක්ද වෙනස් අදහස කුමක්ද? නානත්වය කුමක්ද? යනුයි. එකල්හි වනාහි ස්වාමීනි, අපි අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ වචනය පිළිගත්තාහුද නොවෙමු. ප්‍රතික්ෂෙප කළාහුද නොවෙමු. පිළිනොගෙන බැහැර නොකොට භාග්‍යවතුන් වහන්සේ වෙතින් මේ කීමේ තේරුම දැනගන්නෙමුයි’ ආසනයෙන් නැගිට ගියෙමු.’

[6] “මහණෙනි, මෙසේ කියන්නාවූ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ කියයුතුය. ‘ඇවැත්නි, යම් ක්‍රමයකින් නීවරණ පස දහයක් වෙත්ද, බොධ්‍යංග සත, දහහතරක් වෙත්ද, එබඳු ක්‍රමයක් ඇත්තේදැයි’ ඇසීය, මහණෙනි, මෙසේ අසන ලද අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ නොදක්නාහුය. වඩා වෙහෙසට පැමිණෙන්නාහ. ඊට හෙතු කවරේද? විෂය නොවූවෙක්හි අසන ලද ප්‍රශ්නයක් බැවිනි. මහණෙනි, දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ, ලොකයෙහි මහණ බමුණන් සහිත ප්‍රජාව කෙරෙහි දෙව් මිනිසුන් කෙරෙහි තථාගතයන් හෝ තථාගත ශ්‍රාවකයකු හෝ මේ ශාසනයෙහි ඇසුවෙක් හෝ හැර යමෙක් මේ ප්‍රශ්න විසඳීමෙන් සිත්ගන්නේ වේද, එබඳු කෙනෙකු මම නොදකිමි.

[7] “මහණෙනි යම් ක්‍රමයකින් නීවරණ පස දශයක් වෙත්ද ඒ ක්‍රමය කවරේද? මහණෙනි, තමාගේ පංචස්කන්ධයන් කෙරෙහි යම් තෘෂ්ණාවක් වේද, එයද නීවරණයකි. අනුන්ගේ පංචස්කන්ධයන් කෙරෙහි යම් කාම තෘෂ්ණාවක් වේද, එයද නීවරණයකි. මේ දෙකම කාමච්ඡන්ද නීවරණ යන සංඛ්‍යාවට පැමිණෙත්. මේ ක්‍රමයෙන් කාමච්ඡන්දනීවරණය දෙකක් වෙයි. මහණෙනි, තමාගේ අත්පා ආදීන්කෙරෙහි යම් ක්‍රොධයක්වේද, එයද නීවරණයකි. අනුන්ගේ අත් පා ආදිය කෙරෙහි යම් ක්‍රොධයක්වේද, එයද නීවරණයකි. මේ දෙකම ව්‍යාපාද නීවරණ යන සංඛ්‍යාවට පැමිණෙයි. මේ ක්‍රමයෙන් ව්‍යාපාද නීවරණය දෙකක් වෙයි.

[8] “මහණෙනි, සිතේ යම් අලසකමක්වේද, එයද නීවරණයකි චෛතසිකයන්ගේ යම් අලසකමක්වේද, එයද නීවරණයකි. මේ දෙකම ථිනමිද්ධ නීවරණ යන සංඛ්‍යාවට පැමිණෙයි. මේ ක්‍රමයෙන් ථිනමිද්ධ නීවරණය දෙකක් වෙයි. මහණෙනි, යම් සිතේ නොසන්සුන්කමක්වේද, එයද නීවරණයකි. යම් පසුතැවීමක්වේද, එයද නීවරණයකි. මේ දෙකම උද්ධච්ච කුක්කුච්ච නීවරණයයි උදෙසීමට පැමිණෙයි. මේ ක්‍රමයෙන් උද්ධච්ච කුක්කුච්ච නීවරණය දෙකක් වෙයි.

“මහණෙනි, තමාගේ ස්කන්ධයන්හි යම් සැකයක් වේද, එයද නීවරණයකි මේ දෙකම විචිකිච්ඡා නීවරණ සංඛ්‍යාවට පැමිණෙයි මේ ක්‍රමයෙන් විචිකිච්ඡා නීවරණය දෙකක් වෙයි. මහණෙනි යම් ක්‍රමයකින් නීවරණ පස දශයක් වෙත්ද, මේ ඒ ක්‍රමයයි.

[9] “මහණෙනි, යම් ක්‍රමයකින් බොධ්‍යංග සත දහහතරක් වෙත්ද, ඒ ක්‍රමය කවරේද? මහණෙනි, තමාගේ ස්කන්ධයන් කෙරෙහි යම් සිහියක්වේද, එයද සති සම්බොධ්‍යංගයයි. අනුන්ගේ ස්කන්ධයන් කෙරෙහි යම් සිහියක්වේද, එයද සති සම්බොධ්‍යංගයයි. මේ දෙකම සති සම්බොධ්‍යංග යන සංඛ්‍යාවට පැමිණෙයි මේ ක්‍රමයෙන් සති සම්බොධ්‍යංගය දෙකක් වෙයි.

[10] “මහණෙනි, අධ්‍යාත්මික ධර්මයන් කෙරෙහි යමක් නුවණින් (ඒ ඒ ධර්මයන්ගේ ලක්ෂණ) සොයයිද, (එහි නුවණ) හසුරවයිද, විමසීමට පැමිණෙයිද එයද ධම්මවිචය සම්බොධ්‍යංගයයි. බාහිර ධර්මයන් කෙරෙහි නුවණින් යමක් සොයයිද, හසුරුවයිද, විමසීමට පැමිණෙයිද, එයද ධම්මවිචය සම්බොධ්‍යංගයයි මේ දෙකම ධම්මවිචය සම්බොධ්‍යංග යන සංඛ්‍යාවට පැමිණෙයි. මේ ක්‍රමයෙන් ධම්මවිචය සම්බොධ්‍යංගයද දෙකක් වෙයි. මහණෙනි, යම් කායිකවීර්යයක් වේද, එයද විරිය සම්බොධ්‍යංගයයි. යම් චෛතසික වීර්යයක් වේද, එයද විරිය සම්බොධ්‍යංගයයි මේ දෙකම විරිය සම්බොධ්‍යංග යන සංඛ්‍යාවට පැමිණෙයි. මේ ක්‍රමයෙන් විරිය සම්බොධ්‍යංගයද දෙකක් වෙයි.

[11] “මහණෙනි, විතර්ක සහිතවූ විචාරසහිතවූ යම් ප්‍රීතියක් වේද එයද පීති සම්බොධ්‍යංගයයි. විතර්ක රහිතවූ, විචාර රහිතවූ යම් ප්‍රීතියක්වේද, එයද පීති සම්බොධ්‍යංගයයි. මේ දෙකම පීති සම්බොධ්‍යංග යන සංඛ්‍යාවට පැමිණෙයි. මේ ක්‍රමයෙන් පීති සම්බොධ්‍යංගයද දෙකක් වෙයි. මහණෙනි, චෛතසිකයන්ගේ සන්සිඳීමක් වේද, එයද පස්සද්ධි සම්බොධ්‍යංගයයි. සිතේ යම් සන්සිඳීමක් වේද එයද පස්සද්ධි සම්බොධ්‍යංගයයි. මේ දෙකම පස්සද්ධි සම්බොධ්‍යංග යන සංඛ්‍යාවට පැමිණෙයි. මේ ක්‍රමයෙන් පස්සද්ධි සම්බොධ්‍යංගද දෙකක් වෙයි.

[12] “මහණෙනි, විතර්ක රහිතවූ, විචාර සහිතවූ යම් සමාධි සම්බොධ්‍යංගයක්වේද, එයද සමාධි සම්බොධ්‍යංගයයි. විතර්ක රහිතවූ, විචාර රහිතවූ, යම් සමාධි සම්බොධ්‍යංගයක් වේද, එයද සමාධි සම්බොධ්‍යංගයයි. මේ දෙකම සම්බොධ්‍යංගයයි. උදෙසීමට පැමිණෙයි. මේ ක්‍රමයෙන් සමාධි සම්බොධ්‍යංගයද දෙකක් වෙයි.

[13] “මහණෙනි, අධ්‍යාත්මික ධර්මයන්හි යම් උපෙක්ෂාවක්වේද, එයද උපෙක්ඛා සම්බොධ්‍යංගයයි. බාහිර ධර්මයන්හි යම් උපෙක්ෂාවක්වේද, එයද උපෙක්ඛා සම්බොධ්‍යංගයයි. මේ දෙකම උපෙක්ෂා සම්බොධ්‍යංගයයි උදෙසීමට පැමිණෙයි. මේ ක්‍රමයෙන් මේ උපෙක්ඛා සම්බොධ්‍යංගය දෙකක් වෙයි. මහණෙනි, යම් ක්‍රමයකින් බොධ්‍යංග සත, දස සතරක් වෙත්ද, මේ ඒ ක්‍රමයයි” යනුයි.