සංයුත්තනිකායො

මහා වර්ගය

2. බොජ්ඣංග සංයුත්තය

6. සාකච්ඡා (බොජ්ඣංග) වර්ගය

4. හලිද්දවසන (මෙත්තා) සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොලිය ජනපදයෙහි කොලියවංශිකයන්ගේ හලිද්දවසන නම් නියම් ගමක්වීද එහි වැඩවාසය කරන සේක.

[2] එකල්හි වනාහි බොහෝ භික්ෂූහු පෙරවරු කාලයෙහි හැඳ පොරවා පා සිවුරු ගෙන හලිද්දවසන නම් නියම් ගමට පිඬු පිණිස ගියාහුය. එකල්හි වනාහි ඒ භික්ෂූන්ට මෙබඳු සිතක් විය. ‘හලිද්දවසනයෙහි පිඬු පිණිස හැසිරීමට තවම උදෑසන වැඩිය. අපි අන්‍යතීර්ථක පිරිවැජියන්ගේ ආරාමය යම් තැනකද එතැන්හි යන්නෙමු නම් යහපති’ කියායි. ඉක්බිති අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනකද එතැන්හි ගියාහුය. ගොස් ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන් සමග සතුටු වූවාහුය. සතුටු වියයුතුවූ සිහි කටයුතුවූ කථාවකොට නිමවා එකත්පසක හුන්හ. එකත්පසක හුන් කල්හි ඒ භික්ෂූන්ට ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ මෙසේ කීහ.

“ඇවැත්නි, ශ්‍රමණ ගෞතමතෙමේ ශ්‍රාවකයන්ට මෙසේ දහම් දෙසයි. ‘මහණෙනි, තෙපි එව්.

[3] “සිත කෙලෙසන නුවණ දුර්වලකරන පංචනීවරණයන් දුරුකොට මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව්. එපරිද්දෙන් දෙවෙනි දිශාවද, එපරිද්දෙන් තුන්වෙනි දිශාවද, එපරිද්දෙන් සතරවෙනි දිශාවද, පතුරුවා වසව්. මෙසේ උඩ යට අනුදිග යන සියළු තන්හි සියළු සත්වයන් තමා මෙන් කොට සිතීමෙන් සියළු සත්වලෝකයා කෙරෙහි මහත්වූ, මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, ව්‍යාපාද රහිතවූ, මෛත්‍රී සහගත සිත පතුරුවා වාසය කරව්.

[4] “කරුණා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව්. එසේම දෙවෙනි දිශාවද, එසේම තුන්වෙනි දිශාවද එසේම සතරවෙනි දිශාවද පතුරුවා වසව්. මෙසේ උඩ යට අනුදිගයන සියළුතන්හි සියළු සත්වයන් තමා මෙන්කොට සිතීමෙන් සියළු සත්වලෝකයා කෙරෙහි මහත්වූ මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, ව්‍යාපාද රහිතවූ, කරුණා සහගත සිත පතුරුවා වාසය කරව්.

[5] “මුදිතා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව් එසේම දෙවෙනි දිශාවද එසේම තුන්වෙනි දිශාවද එසේම සතරවෙනි දිශාවද පතුරුවා වාසය කරවු. මෙසේ උඩ යට අනුදිග යන සියළුතන්හි සියළු සත්වයන් තමාමෙන් සිතීමෙන් සියළු සත්ව ලෝකයා කෙරෙහි මහත්වූ මහත්ගතවූ, අප්‍රමාණවූ අවෛරවූ, ව්‍යාපාද රහිතවූ, මුදිතාසහගත සිත පතුරුවා වාසය කරවු.

[6] “උපෙක්ඛා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව්. එසේම දෙවෙනි දිශාවද, එසේම තුන්වෙනි දිශාවද, එසේම සතරවෙනි දිශාවද, පතුරුවා වාසයකරවූ, මෙසේ උඩ යට අනුදිග සියළු තන්හි සියළු සත්වයන් තමාමෙන් සිතීමෙන් සියළු සත්වලෝකයා කෙරෙහි මහත්වූ මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, ව්‍යාපාද රහිතවූ, උපෙක්ෂා සහගත සිත පතුරුවා වාසය කරව්.”

“ඇවැත්නි, අපිදු ශ්‍රාවකයන්ට මෙසේ දහම් දෙශනා කරන්නෙමු” ඇවැත්නි, තෙපි එව්.

[7-10] (මේ ඡෙද මේ සූත්‍රයේ 3, 4, 5, 6 වෙනි ඡෙද මෙනි)

[11] ඇවැත්නි, ශ්‍රමණ ගෞතමයන්ගේ හා අපගේ යම් ධර්මදේශනාවක් වේද, යම් අනුශාසනාවක් වේද, මෙහි කවර වෙනසක්වේද, කවර වෙනස් අදහසක්වේද කවර නානත්වයක් වේද?”

[12] (මේ ඡෙදය මේ වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡෙදය මෙනි)

[13] ඉක්බිති ඒ භික්ෂූහු හලිද්දවසනයෙහි පිඬු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණාහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්හ. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. “ස්වාමීනි, අපි මෙහි පෙරවරු කාලයෙහි හැඳ පෙරවා පා සිවුරුගෙන හලිද්දවසනයට පිඬු පිණිස ගියෙමු ස්වාමීනි, ඒ අපට මෙබඳු සිතක් විය.

‘හලිද්දවසනයෙහි පිඬු පිණිස හැසිරීමට තවම උදෑසන වැඩිය. අපි අන්‍යතීර්ථක පිරිවැජියන්ගේ ආරාමය යම්තැනකද එතැනට යන්නෙමුනම් හොඳය කියායි. ස්වාමීනි එකල්හි වනාහි අපි අන්‍යතීර්ථක පිරිවැජියන්ගේ ආරාමය යම් තැනකද එතනට ගියෙමු. ගොස් ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන් සමග සතුටු වූයෙමු. සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ, කථාවකොට නිමවා එක් පසක හුන්නෙමු. ස්වාමීනි, එක් පසක හුන්කල්හි ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ අපට මෙය කීහ. ‘ඇවැත්නි, ශ්‍රමණ ගෞතමතෙමේ ශ්‍රාවකයන්ට මෙසේ දහම් දෙසයි. මහණෙනි, තෙපි එව්,

[14-17] (මේ ඡෙද මේ සූත්‍රයේ 3, 4, 5, 6 වෙනි ඡෙද මෙනි.)

[18-21] (මේ ඡෙද මේ වර්ගයේ 3, 4, 5, 6 වෙනි ඡෙද මෙනි.)

[22] (මේ ඡෙදය මේ සූත්‍රයේ 11 වෙනි ඡෙදය මෙනි.)

[23] “ඉක්බිති ස්වාමීනි, අපි ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ කීමට සතුටුද නොවීමු. ප්‍රතික්ෂෙපද නොකෙළෙමු. සතුටුද නොවී ප්‍රතික්ෂෙපද නොකොට අස්නෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේ වෙතින් මේ කීමේ තේරුම දැනගන්නෙමුයි ගියෙමු” යනුයි.

[24] “මහණෙනි, මෙසේ කියන්නාවූ, අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ කිය යුතුය. ‘ඇවැත්නි, කෙසේ වඩන ලද මෛත්‍රී සමාධිය කිනම් නිපදවීමක් ඇත්තේද? කුමක් පරමකොට ඇත්තේද, කුමක් අනුසස්කොට ඇත්තේද, කුමක් අවසානයකොට ඇත්තේද? කෙසේ වඩනාලද කරුණා සමාධිය කුමක් නිපදවීමකොට ඇත්තේද? කුමක් පරමකොට ඇත්තේද? කුමක් අනුසස්කොට ඇත්තේද? කුමක් අවසානය කොට ඇත්තේද? කෙසේ වඩනාලද මුදිතා සමාධිය කුමක් නිපදවීමකොට ඇත්තේද? කුමක් පරමකොට ඇත්තේද? කුමක් අනුසස්කොට ඇත්තේද? කුමක් අවසානයකොට ඇත්තේද? කෙසේ වඩනලද උපෙක්ෂා සමාධිය කුමක් පරමකොට ඇත්තේද? කුමක් අනුසස්කොට ඇත්තේද? කුමක් අවසානයකොට ඇත්තේද? කියායි.

[25] “මහණෙනි, මෙසේ අසනලද අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ පිළිතුරු සැපයීමට නොහැකි වන්නාහ. වඩාත් වෙහෙසට පැමිණෙන්නාහ. ඊට හේතුව කවරේද? මහණෙනි, එය ඔවුන්ට අවිෂය බැවිනි. මහණෙනි, දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙහි, මහණ බමුණන් සහිත ප්‍රජාව අතුරෙහි, දෙව් මිනිසුන් අතුරෙහි තථාගතයන් හෝ තථාගත ශ්‍රාවකයෙකු හෝ මේ සාසනයෙන් ඇසුවක් හෝ හැර යමෙක් මේ ප්‍රශ්න විසඳන්නේ නම් (එබඳුකෙනෙකු) මම නුවණැසින් නොමදකිමි.

[26] “මහණෙනි, කෙසේ වඩනා ලද මෛත්‍රී සමාධිය කුමක් නිපදවීම කොට ඇත්තේද, කුමක් පරම කොට ඇත්තේද, කුමක් අනුසස් කොට ඇත්තේද, කුමක් අවසානකොට ඇත්තේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ විවෙකය ඇසුරුකළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුණු මෛත්‍රී සහගත සති සම්බොජ්ඣංගය වඩයිද,

“විවෙකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු මෛත්‍රී සහගත ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,

“විවෙකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරොධය ඇසුරුකළ නිවනට නැමුණු මෛත්‍රී සහගත විරිය සම්බොජ්ඣංගය වඩයිද,

“විවෙකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු මෛත්‍රී සහගත පීති සම්බොජ්ඣංගය වඩයිද,

“විවෙකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු මෛත්‍රී සහගත පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,

“විවෙකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු මෛත්‍රී සහගත සමාධි සම්බොජ්ඣංගය වඩයිද,

“විවෙකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු මෛත්‍රී සහගත උපෙක්ෂා සම්බොජ්ඣංගය වඩයිද,

“ඉදින් හෙතෙම පිළිකුල් නොවූවෙහි පිළිකුල් සංඥාව ඇතිව වාසය කරන්නෙමියි කැමැත්තේ නම්, එහි පිළිකුල් සංඥාව ඇතිව වාසය කරයි. ඉදින් හෙතෙම පිළිකුල් වූවෙහි පිළිකුල් හැඟීම නැතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි පිළිකුල් සංඥාව නැතිව වාසය කරයි. ඉදින් පිළිකුල් නොවූවෙහිද, පිළිකුල් වූවෙහිද පිළිකුල් හැඟීම ඇතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි පිළිකුල් සංඥාව ඇතිව වාසය කරයි. ඉදින් පිළිකුල් වූවෙහිද, පිළිකුල් නොවූවෙහිද පිළිකුල් හැඟීම නැතිව වාසය කරයි. ඉදින් පිළිකුල් නොවුවද පිළිකුල් වුවද යන ඒ දෙක දුරුකොට සිහි ඇතිව මනා නුවණැතිව උපෙක්ෂා ඇත්තේව වාසය කරන්නෙමියි කැමැත්තේ නම් එහි සිහි ඇතිව, නො නුවණැතිව උපෙක්ෂා ඇතිව වාසය කරයි. සුභවූ විමොක්ෂයට හෝ පැමිණ වාසය කරයි. මහණෙනි, මම ලොකොත්තර ධර්මය අවබොධ නොකළාවූ මහණහට සුභය කෙළවරකොට ඇති මෛත්‍රී සමාධිය කියමි.

[27] “මහණෙනි, කෙසේ වඩනා ලද කරුණා සමාධිය කුමක් නිපදවීම කොට ඇත්තේද, කුමක් පරමකොට ඇත්තේද, කුමක් අනුසස් කොට ඇත්තේද, කුමක් කෙළවර ඇත්තේද? මහණෙනි, මෙ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු කරුණා සහගත සති සම්බොජ්ඣංගය වඩයිද,

“විවෙකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු කරුණා සහගත ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,

“විවෙකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු කරුණා සහගත විරිය සම්බොජ්ඣංගය වඩයිද,

“විවෙකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු කරුණා සහගත පීති සම්බොජ්ඣංගය වඩයිද,

“විවෙකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු කරුණා සහගත පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,

“විවෙකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු කරුණා සහගත සමාධි සම්බොජ්ඣංගය වඩයිද,

“විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු කරුණා සහගත උපෙක්ෂා සම්බොජ්ඣංගය වඩයිද, ඉදින් හෙතෙම පිළිකුල් නොවූවෙහි පිළිකුල් හැඟීම ඇතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි පිළිකුල් සංඥාව ඇතිව වාසය කරයි. ඉදින් පිළිකුල් වූවෙහි පිළිකුල් හැඟීම නැතිව වාසය කරන්නෙමියි කැමැත්තේ නම් එහි පිළිකුල් හැඟීම නැතිව වාසය කරයි. ඉදින් පිළිකුල් නොවූවෙහිද පිළිකුල් වූවෙහිද පිළිකුල් හැඟීම ඇතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි පිළිකුල් හැඟීම ඇතිව වාසය කරයි. ඉදින් පිළිකුල් වූවෙහිද පිළිකුල් නොවූවෙහිද පිළිකුල් නැත්තේය යන හැඟීම ඇතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි නොපිළිකුල් හැඟීම ඇතිව වාසය කරයි ඉදින් පිළිකුල් නොවූවද පිළිකුල් වුවද යන දෙක දුරුකොට සිහි ඇතිව මනා නුවණැතිව උපෙක්ෂාවෙන් යුක්තව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි සිහි ඇතිව මනා නුවණැතිව උපෙක්ෂාවෙන් යුක්තව වාසය කරයි. සියළු ආකාරයෙන්ම රූප සංඥාවන්ගේ දුරලීමෙන් හැපීම් සහිත රූප සංඥාවන්ගේ බැහැරලීමෙන් නානත්ත සංඥාවන්ගේ මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසාඤ්චායතනයට පැමිණ වාසය කරයි. මහණෙනි, මම ලොකොත්තර ධර්මය අවබොධ නොකරන්නාවූ මහණහට ආකාසානඤ්චායතනය කෙළවරකොට කරුණා චෙතො විමුක්තිය කියමි.

[28] “මහණෙනි, කෙසේ වඩන ලද මුදිතා සමාධිය කුමක් නිපදවීම කොට ඇත්තේද? කුමක් පරම කොට ඇත්තේද? කුමක් අනුසස් කොට ඇත්තේද? කුමක් කෙළවර කොට ඇත්තේද? මහණෙනි, මේ ශාසනයෙහි විවෙකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු මුදිතා සහගත සති සම්බොජ්ඣංගය වඩයිද,

“විවෙකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු මුදිතා සහගත ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,

“විවෙකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු මුදිතා සහගත විරිය සම්බොජ්ඣංගය වඩයිද,

“විවෙකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු මුදිතා සහගත පීති සම්බොජ්ඣංගය වඩයිද,

“විවෙකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු මුදිතා සහගත පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,

“විවෙකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු මුදිතා සහගත සමාධි සම්බොජ්ඣංගය වඩයිද,

“විවෙකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු මුදිතා සහගත උපෙක්ෂා සම්බොජ්ඣංගය වඩයිද,

“ඉදින් හෙතෙම පිළිකුල් නොවූවෙහි පිළිකුල් සංඥාව ඇතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි පිළිකුල් සංඥාව ඇතිව වාසය කරයි. ඉදින් හෙතෙම පිළිකුල්වූවෙහි පිළිකුල් හැඟීම නැතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි පිළිකුල් සංඥාව නැතිව වාසය කරයි. ඉදින් පිළිකුල් නොවූවෙහිද, පිළිකුල් වූවෙහිද පිළිකුල් හැඟීම ඇතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි පිළිකුල් සංඥාව ඇතිව වාසය කරයි. ඉදින් පිළිකුල් වූවෙහිද පිළිකුල් නොවූවෙහිද පිළිකුල් හැඟීම නැතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි පිළිකුල් හැඟීම නැතිව වාසය කරයි.

“ඉදින් පිළිකුල් නොවූවද, පිළිකුල් වුවද යන දෙක දුරු කොට සිහි ඇතිව මනා නුවණැතිව උපෙක්ෂාවෙන් යුක්තව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි සිහි ඇතිව මනා නුවණැතිව උපෙක්ෂාවෙන් යුක්තව වාසය කරයි. සියළු ආකාරයෙන්ම ආකාසානඤ්චායතනය දුරුකොට විඥානය අනන්තයයි විඥානඤ්චායතනයට පැමිණ වාසය කරයි. මහණෙනි, මම ලොකොත්තර ධර්මය අවබොධ නොකරන්නාවූ මහණහට විඥානඤ්චායතනය කෙළවර කොට ඇති මුදිතා චෙතො විමුක්තිය කියමි.

[29] “මහණෙනි, කෙසේ වඩනා ලද උපෙක්ෂා චෙතො විමුක්තිය කුමක් නිපදවීම කොට ඇත්තේද? කුමක් පරම කොට ඇත්තේද? කුමක් අනුසස් කොට ඇත්තේද? කුමක් කෙළවර කොට ඇත්තේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණාවූ උපෙක්ෂා සහගත සති සම්බොජ්ඣංගය වඩයිද,

“විවෙකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණාවූ උපෙක්ෂා සහගත ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,

“විවෙකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ නිවනට නැමුණාවූ උපෙක්ඛා සහගත විරිය සම්බොජ්ඣංගය වඩයිද,

“විවෙකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණාවූ උපෙක්ෂා සහගත පීති සම්බොජ්ඣංගය වඩයිද,

“විවෙකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණාවූ උපෙක්ෂා සහගත පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,

“විවෙකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණාවූ උපෙක්ෂා සහගත සමාධි සම්බොජ්ඣංගය වඩයිද,

“විවෙකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, කෙලෙස් නැතිකිරීම ඇසුරු කළ නිවන් පිණිස නැමුණාවූ උපෙක්ෂා සහගත උපෙක්ෂා සම්බොජ්ඣංගය වඩයිද, ඉදින් හෙතෙම පිළිකුල් නොවූවෙහි පිළිකුල් හැඟීම ඇතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි පිළිකුල් හැඟීම ඇතිව වාසය කරයි. ඉදින් පිළිකුල් වූවෙහි පිළිකුල් හැඟීම නැතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි පිළිකුල් හැඟීම නැතිව වාසය කරයි. ඉදින් පිළිකුල් නොවූවෙහිද පිළිකුල් වූවෙහිද පිළිකුල් හැඟීම ඇතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි පිළිකුල් හැඟීම ඇතිව වාසය කරයි. ඉදින් පිළිකුල් වූවෙහිද පිළිකුල් නොවූවෙහිද පිළිකුල් හැඟීම නැතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි පිළිකුල් හැඟීම නැතිව වාසය කරයි. ඉදින් පිළිකුල් නොවූවද, පිළිකුල් වුවද යන ඒ දෙක හැර සිහි ඇතිව මනා නුවණැතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි සිහි ඇතිව මනා නුවණැතිව උපෙක්ෂාවෙන් යුක්තව වාසය කරයි. සියළු ආකාරයෙන් වනාහි විඥානඤ්චායතනය දුරුකොට කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. මහණෙනි, ලොකොත්තර ධර්මය අවබොධ නොකරන්නාවූ මහණහට උපෙක්ෂා සමාධිය ආකිඤ්චඤ්ඤායතනය කෙළවරකොට ඇතැයි මම කියමියි වදාළේය.