සංයුත්තනිකායො

මහා වර්ගය

3. සතිපට්ඨාන සංයුත්තය

2. නාලන්දා වර්ගය

7. අරිය සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් පුරුදු කරන ලද්දාවූ උතුම්වූ නිවන් පිණිස පවත්නාවූද මේ සතර සතිපට්ඨානයෝ එය කරන්නාහු මනාකොට දුක් නැති කිරීමට පමුණුවත්.

“ඒ සතර සතිපට්ඨානයෝ කවරහුද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලොභයද ක්‍රොධයද සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද,

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලොභයද ක්‍රොධයද සංසිඳවා වේදනාවෙහි වේදනා නැවත නැවත බලමින් වාසය කෙරේද,

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලොභයද ක්‍රොධයද සංසිඳවා චිත්තයන් කෙරෙහි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කෙරේද,

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලොභයද ක්‍රොධයද සංසිඳවා නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙරේද?

“මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් පුරුදු කරන ලද්දාවූ උතුම්වූ නිවන් පිණිස පවත්නාවූ මේ සතර සතිපට්ඨානයෝ එය කරන්නාහු මනාකොට දුක් නැති කිරීමට පමුණුවත්.”