සංයුත්තනිකායො

මහා වර්ගය

3. සතිපට්ඨාන සංයුත්තය

2. නාලන්දා වර්ගය

10. සේදක සූත්‍රය. (2)

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සුම්භ ජනපදයෙහි සුම්භයන්ගේ සේදක නම් නියම්ගමක් වේද, එහි වාසය කළසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූසේක. “මහණෙනි, යම්සේ ජනපද කල්‍යාණිය, ජනපදකල්‍යාණියයයි කීකල්හි මහජනයා රැස්වන්නේද, ඒ ජනපද කළ්‍යාණිය වනාහි නැටුමෙහි දක්ෂය. ගී කීමෙහි දක්ෂය.

“මහණෙනි, ජනපද කල්‍යාණිය නටන්නීය. ගායනා කරන්නීයයි කීකල්හි වැඩියත් මහජන සමූහයා රැස්වන්නේය. එකල්හි ජීවත්වෙනු කැමති, නොමැරෙනු කැමති, සැප කැමති, දුක් පිළිකුල් කරන පුරුෂයෙක් එන්නේය. ඔහුට මෙසේ කියන්නාහුය. ‘පින්වත් පුරුෂය, නුඹ විසින් මුවවිට දක්වා පිරුණු මේ තෙල් පාත්‍රය මහාජන සමූහයාටත් ජනපද කළ්‍යාණියටත් අතරින් ගෙනයා යුතුයි. යම් තැනකදී එයින් ස්වල්පයක්වත් හලන්නේ නම් එතැනදීම තාගේ හිස ගසන්නේයයි’ ඔහු පසු පසින් ඔසවන ලද කඩු ඇති එක් පරුෂ යෙක්ද ලුහුබඳින්නේය.

“මහණෙනි, ඒ කුමකැයි හඟින්නාහුද? ඒ පුරුෂතෙම තෙල් පාත්‍රය සිහි නොකොට පිටත ප්‍රමාදයකට පැමිණෙන්නේද?”

‘ස්වාමීනි, එය එසේ නොවේ”

“මහණෙනි, අර්ථය හැඟවීම පිණිස මා විසින් උපමාවක් කරණලදී. මෙය එහි අර්ථයයි. මහණෙනි, මුවවිට දක්වා පිරුණු තෙල් පාත්‍රය යන මෙය කායගතා සතියට නමෙකි. මහණෙනි, එසේ හෙයින් මෙහිලා මෙසේ හික්මිය යුතුයි. අප විසින් කායගතාසතිය වඩන ලද්දී බහුලවශයෙන් කරන ලද්දී, යානාවක් මෙන් කරන ලද්දී, අනුව සිටින ලද්දී පුරුදු කරනලද්දී, මනාකොට පටන්ගන්නා ලද්දී’ වන්නේයයි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.”

නාලන්දවග්ගො දුතියො.