සංයුත්තනිකායො

මහා වර්ගය

3. සතිපට්ඨාන සංයුත්තය

3. සීලට්ඨිති වර්ගය

9. සිරිවඞ්ඪ සූත්‍රය

[1] මා විසින් මෙසේ අසනලදී එක් සමයෙක්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම කලන්දක නිවාප නම්වූ වෙළුවනයෙහි වාසයකරයි. එකල්හි වනාහි සිරිවඞ්ඪ ශෘහපති තෙමේ රෝගාතුර වූයේ, දුක් වූයේ, දැඩිසේ ගිලන් වූයේ වෙයි.

ඉක්බිති සිරිවඞ්ඪන ගෘහපතිතෙමේ එක්තරා පුරුෂයෙකුට කථාකළේය. “පින්වත් පුරුෂය, නුඹ එව. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එතැනට යව, ගොස්, ‘ස්වාමීනි, සිරිවඞ්ඪන ගෘහපතිතෙමේ රෝගාතුරවූයේ දැඩි ගිලන් වූයේ වෙයි. හෙතෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ගේ පා හිසින් වඳීයයි’ මගේ වචනයෙන් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ පාද හිසින් වඳුව, මෙසේද කියව.

“ස්වාමීනි, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, සිරිවඞ්ඪ ගෘහපතියාගේ ගෘහය යම් තැනෙක්හිද අනුකම්පා උපදවා එතැනට වඩිනු මැනව, කියායි”

[2] ඒ පුරුෂතෙමේද “ස්වාමීනි, එසේ”යයි, ගෘහපතියාට පිළිතුරු දී ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් යම් තැනකද එතැනට ගියේය. ගොස්, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ඒ පුරුෂතෙමේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, සිරිවඞ්ඪ ගෘහපතිතෙමේ රෝගාතුර වූයේ, දුක්වූයේ, දැඩිසේ ගිලන් වූයේ වෙයි. හෙතෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ පා හිසින් වඳියි මෙසේද කීවේය. ‘ස්වාමීනි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ අනුකම්පා උපදවා සිරිවඞ්ඪ ගෘහපතියාගේ නිවෙස යම් තැනකද එතැනට වඩිනු මැනවයි.” ආයුෂ්මත් ආනන්ද ස්තවිරයන් වහන්සේද ආරාධනය නිශ්ශබ්දව ඉවසූහ.

[3] ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ පෙරවරු කාලයෙහි හැඳ පෙරවා පාත්‍ර සිවුරු ගෙන සිරිවඞ්ඪ ගෘහපතියාගේ නිවෙස යම් තැනකද එතැනට වැඩියේය. වැඩමවා පැනවූ අසුනෙහි වැඩහුන්නේය. වැඩහුන් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ සිරිපඞ්ඪ ගෘහපතියාගෙන් මෙසේ ඇසීය. “කිම, ගෘහපතිය, නුඹට ඉවසිය හැකිද? කිම, යැපියහැකිද?

“කිම, දුක් වේදනාවෝ අඩුවෙත්ද? කිම, දියුණුවෙත්ද? දුක් වේදනාවන්ගේ අඩුවීමක් පෙනේද? වැඩීමක් නොපෙනේද?”

“ස්වාමීනි, මට ඉවසිය හැකි බවක් නැත. යැපිය හැකි බවක් නැත. මගේ දැඩි දුක් වේදනාවෝ දියුණු වෙත්. අඩු නොවෙත්. වැඩිවන බව පෙනේ. අඩුවන බවක් නොපෙනේ යයි” කීය.

[4] “එසේ නම්, ගෘහපතිය, නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ‘කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලොකයෙහි ලොභයද ද්වෙෂයද සංසිඳුවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරමි’

“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලොකයෙහි ලොභයද ද්වෙෂයද සංසිඳුවා වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කරමි.’

“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලොකයෙහි ලොභයද ද්වේෂයද සංසිඳුවා චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරමි.’

“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලොකයෙහි ලොභයද ද්වෙෂයද සංසිඳුවා ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරමි.’

“එසේ නම් ගෘහපතිය, නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි.”

[5] “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ඒ සතර සතිපට්ඨාන කෙනෙක් දෙශනා කරන ලද්දාහුද, ඒ රත්න ධර්මයෝ මා කෙරෙහි විද්‍යමාන වෙත්. මමද ඒ ධර්මයන් දකින්නෙමි. ස්වාමීනි, මම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලොකයෙහි ලොභයද ද්වෙෂයද සංසිඳුවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරමි.

“ස්වාමීනි, මම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලොකයෙහි ලොභයද ද්වෙෂයද සංසිඳුවා වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කරමි.

“ස්වාමීනි, මම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලොකයෙහි ලොභයද ද්වෙෂයද සංසිඳුවා විත්තයන්හි විත්තයන් නැවත නැවත බලමින් වාසය කරමි.

“ස්වාමීනි මම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලොකයෙහි ලොභයද ද්වෙෂයද සංසිඳුවා ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරමි.

[6] “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ඔරම්භාගීය සංයෝජන පසක් දෙශනා කරන ලද්දාහුද, මම ඔවුන්ගෙන් කිසිවක් තමා කෙරෙහි ප්‍රහීණ නොවූයේයයි නොදකිමි.” ගෘහපතිය, නුඹට ලාභයකි. ගෘහපතිය, නුඹ විසින් අනාගාමී ඵලය ප්‍රකාශ කරන ලදැයි” කීය.