සංයුත්තනිකායො

මහා වර්ගය

3. සතිපට්ඨාන සංයුත්තය

5. අමත වර්ගය

7. ආදි විසොධන සූත්‍රය

එකල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට සැකෙවින් ධර්මය දෙශනා කරන සේක්වා. මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා හුදෙකලාව තනිව අප්‍රමාදව කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව සංසිඳවන ලද සිත් ඇතිව වාසය කරන්නෙමි” යනුයි.

“මහණ, එසේ නම් නුඹ කුසල ධර්මයන්හි මුලම පිරිසිදු කරව. කුසල ධර්මයන්හි මුල කවරේද? මහණ, නුඹ මෙහි කාය දුශ්චරිතය දුරුකොට කාය සුචරිතය වඩන්නෙහිය. වාක් දුශ්චරිතය දුරුකොට වාක් සුචරිතය වඩන්නෙහිය. මනො දුශ්චරිතය දුරුකොට මනොසුචරිතය වඩන්නෙහිය. මහණ නුඹ යම් කලෙක පටන් කාය දුශ්චරිතය දුරුකොට කාය සුචරිතය වඩන්නෙහිද වාක් දුශ්චරිතය දුරුකොට වාක් සුචරිතය වඩන්නෙහිද මනොදුශ්චරිතය දුරුකොට මනො සුචරිතය වඩන්නෙහිද, මහණ, නුඹ එතැන් පටන් සීලය නිසා සීලයෙහි පිහිටා සතර සතිපට්ඨානයන් වඩන්නෙහිය.

(මේ ඡෙදය මේ වර්ගයේ 6 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡෙදය මෙනි.)

මහණ, නුඹ යම් කලෙක පටන් සීලය නිසා සීලයෙහි පිහිටා මේ සතර සතිපට්ඨානයන් මෙසේ වඩන්නෙහිද එතැන්පටන් මහණ නුඹට යම් රාත්‍රියක් හෝ දාවලක් පැමිණෙන්නේද කුසල ධර්මයන්හි වෘද්ධියම කැමති විය යුතුයි. පිරිහීමක් කැමති නොවිය යුතුයි.”

“ඉක්බිති ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව අනුමෝදන්ව ආසනයෙන් නැගිට වැඳ ගරු කොට ගියේය. ඉක්බිති ඒ භික්ෂුතෙම හුදෙකලාව විවේකීව කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව සංසිඳවන ලද සිත් ඇතිව වාසය කරන්නේ නොබෝකලකින්ම යමක් සඳහා කුල පුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම සසුනෙහි පැවිදි වෙත්ද, බඹසර කෙළවර කොට ඇති ඒ උතුම්වූ නිවන මේ අත්බැව්හිම දැන එයට පැමිණ වාසය කළේය.

ඉපදීම ක්ෂය විය. බඹසර වැස නිමවන ලදි. කළයුත්ත කරන ලදී. මෙයින් අනික් ආත්ම භාවයක් නැතැයි දැන ගත්තේය.

ඒ භික්ෂූන් වහන්සේද රහතන් වහන්සේලා අතරින් එක්තරා කෙනෙක් වූහ.