සංයුත්තනිකායො

මහා වර්ගය

3. සතිපට්ඨාන සංයුත්තය

1. අම්බපාලි වර්ගය

7. මක්කටාලෙප සූත්‍රය

“මහණෙනි, හිමාලය පර්වතයෙහි වඳුරන්ට හෝ මිනිසුන්ට හෝ යා නොහැකි විසමවූ ප්‍රදේශයෝද ඇත්තාහ. මහණෙනි, හිමාලය පර්වතයෙහි වඳුරන්ට යා හැකි මිනිසුන්ට යා නොහැකි විසමවූ ප්‍රදේශයෝද ඇත්තාහ.

“මහණෙනි, හිමාලය පර්වතයෙහි වඳුරන්ටද යා හැකිවූ මිනිසුන්ටද යා හැකිවූ සිත්කළුවූ සමවූ භූමිභාගයෝද ඇත්තාහ. මහණෙනි, එහි වැද්දෝ වඳුරන් යන මාර්ගයන්හි වඳුරන් ඇල්ලීම පිණිස ලාටු එළවන්නාහ. මහණෙනි, එහි මෝඩ නොවූ ලොල් නොවූ වඳුරෝ වෙත්ද, ඔව්හු ඒ ලාටු දැක ඈත්ව යත්. යම් ඒ වඳුරෙක් මෝඩ වෙයිද, ලොල්වූ ස්වභාවය ඇත්තේද හෙතෙමේ ඒ ලාටුව කරා පැමිණ එය අතින් අල්වන්නේය. අත එහි ඇලෙන්නේය. අත මුදාගන්නෙමියි දෙවැනි අතින් අල්වන්නේය. ඒ අතද එහි ඇලෙන්නේය. දෙ අත් මුදාගන්නෙමියි පය තබන්නේය. පයද එහි ඇලෙන්නේය. දෙ අත්ද පයද මුදාගනිමියි දෙවෙනි පාදයද තබන්නේය. එයද එහි ඇලෙන්නේය. දෙ අත්ද දෙපාද මුදා ගනිමියි හොට තබන්නේය. එයද එහි ඇලෙන්නේය.

“මහණෙනි, ඒ වඳුරුතෙමේ පස් තැනෙකින් එල්ලී විනාශයට පැමිණ කෙඳිරිගාමින් වැටී සිටින්නේය. වැද්දාට කැමැත්තක් කළ හැකි වන්නේය. මහණෙනි, වැදිතෙමේ ඔහු විද එහිම පෙරළා දමා කැමති තැනකට යන්නේය. මහණෙනි, යමෙක් අනුන්ට අයත්වූ නුසුදුසු ස්ථානයෙහි වාසය කෙරේනම් මෙසේ වන්නේය.

“මහණෙනි, එසේ හෙයින් අනුන්ට අයත් නුසුදුසු ස්ථානයෙහි වාසය නොකරව්. මහණෙනි, අනුන්ට අයත් නුසුදුසු ස්ථානයෙහි වාසය කරන්නහු පිළිබඳ මාරයා ඉඩ ලබන්නේය. මාරයා කරුණක් ලබන්නේය.

“මහණෙනි, මහණහුගේ අනුන්ට අයත් නුසුදුසු ස්ථානය කවරේද?

“මේ පස්කම් ගුණ පසය. කවර පසක්ද? ඇසින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීම පිණිස පවත්නාවූ ඇලිය යුතුවූ රූපයෝ වෙත්ද,

“කනින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීම පිණිස පවත්නාවූ ඇලිය යුතුවූ ශබ්දයෝ වෙත්ද?

“ නැහැයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීම පිණිස පවත්නාවූ ඇලිය යුතුවූ ගන්ධයෝ වෙත්ද,

“දිවෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීම පිණිස පවත්නාවූ ඇලිය යුතුවූ රසයෝ වෙත්ද,

‘කයින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීම පිණිස පවත්නාවූ ඇලිය යුතුවූ ස්පර්ශයෝ වෙත්ද, මහණෙනි, මේ වනාහි භික්ෂුවගේ අනුන්ට අයත් නුසුදුසු වාසස්ථානය වෙයි

“මහණෙනි, සිය පරපුරෙහි එන ස්වකීය වාසස්ථානයෙහි වාසය කරව්. මහණෙනි, සිය පරපුරෙන් එන ස්වකීය වාසස්ථානයෙහි වාසය කරන භික්ෂුව පිළිබඳව මාරයා ඉඩ නොලබන්නේය. කරුණක් නොලබන්නේය. මහණෙනි, භික්ෂුවගේ සිය පරපුරෙන් එන ස්වකීය වාසස්ථානය කවරේද? මේ සතර සතිපට්ඨානයෝයි.

“කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරයි.

“වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව වේදනාවන්හි වේදනා නැවත නැවත බලමින් වාසය කරයි.

“වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරයි.

“වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරයි. මහණෙනි, මේ වනාහි භික්ෂුවගේ සිය පරපුරෙහි එන ස්වකීය වාසස්ථානය වෙයි.”