සංයුත්තනිකායො

මහා වර්ගය

3. සතිපට්ඨාන සංයුත්තය

1. අම්බපාලි වර්ගය

9. බෙලුවගාමක සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලා නුවර බෙලුව නම් ගමෙහි වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ආමන්ත්‍රණය කළසේක. “මහණෙනි, එව තෙපි විශාලා නුවර අවට මිත්‍රයන් යහළුවන් එකට වළඳා පුරුදු ඇතියන් ඇති ඇති සැටියෙන් වස් වසව. මම මෙහිම බෙලුව ගමෙහි වස් වසන්නෙමියි” වදාළේය.

“ස්වාමීනි, එසේයයි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී විශාලා නුවර හාත්පස මිත්‍රයන් යහළුවන් එකට වළඳා පුරුදු වූවත් ඇති පරිදි වස් වැසූහ. භාග්‍යවතුන් වහන්සේ වනාහි බෙලුව ගමෙහි වස් වැසූහ.

එහි වස්වැසූ භාග්‍යවතුන් වහන්සේට කෲර ආබාධයක් උපන්නේය. මාරණාන්තිකවූ බලවත් වෙදනා පවතිත්. ඒ වෙදනා භාග්‍යවතුන් වහන්සේ පීඩා නොවෙමින් සිහි නුවණින් යුක්තව ඉවසූසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේට මෙසේ අදහස් විය. ‘උපස්ථායකයන්ට නොදන්වා භික්ෂූ සංඝයාට අවවාද නොකොට පිරිනිවන්පාන්නෙමි නම් එය මට සුදුසු නොවේ. එහෙයින් මම මේ ආබාධය වීර්‍ය්‍යයෙන් දුරුකොට ජීවිත සංස්කාරය ආරක්ෂා කරන්නාවූ ඵල සමාපත්තිය ඉටා වාසය කරන්නෙමි නම් මැනවි කියායි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වීර්‍ය්‍යයෙන් ආබාධය දුරුකොට ජීවිතය රක්නාවූ ඵලසමාපත්තිය ඉටා වාසය කළසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ගිලන්කමින් නැගිට ගිලන්කමින් නැගිටි නොබෝකල් ඇත්තේ සවස් කාලයෙහි වැටෙන විහාර ඡායාවෙහි පණවන ලද ආසනයෙහි වැඩ හුන්හ.

එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හිඳ ගත්තේය. එක් පසෙක හිඳගත් ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැල කෙළේය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට ඉවසිය හැකි බව දක්නා ලදී. භාග්‍යවතුන් වහන්සේට යැපිය හැකි බව දක්නාලදී. භාග්‍යවතුන් වහන්සේගේ ගිලන්කම නිසා මගේ කය ගල් ගැසුනාක් මෙන් විය. මට දිශාද නොවැටහෙත්. මට සතිපට්ඨාන ධර්මයන්ද නොවැටහෙත්. එහෙත්, ස්වාමීනි, මට දැන් භාග්‍යවතුන් වහන්සේ භික්ෂුසංඝයා අරබයා කිසියම් පශ්චිම අවවාදයක් නොදී පිරිනිවන් නොපාන්නේ යයි ස්වල්ප මාත්‍ර ආශ්වාදයක් ලැබිණැයි” කීය.

“ආනන්දය දැන් භික්ෂු සංඝයා මා කෙරෙහි කුමක් හෙයින් බලාපොරොත්තු වන්නෙහිද? ආනන්දය මාවිසින් ඇතුළත් පිරිස, පිට පිරිස වශයෙන් වෙනසක් නොකොට ධර්මය දෙශනා කරන ලදී. ආනන්දය, තථාගතයන්ගේ ධර්මයෙහි ගුරුමුෂ්ටියක් නැත්තේය.

“ආනන්දය, යමෙකුට වනාහි මමම භික්ෂු සංඝයා පරිහරණය කරන්නෙමියි හෝ භික්ෂුසංඝයා මා බලාපොරොත්තුවෙන්ම සිටීවායී හෝ හෙතෙමේම භික්ෂු සංඝයා අරබයා කිසි අවසාන අවවාදයක් කරන්නේයයි හෝ අදහස් වේද, ආනන්දය, තථාගතයන් වහන්සේට එවැනී වූ ‘මමම භික්ෂු සංඝයා පරිහරණය කරන්නෙමි. භික්ෂු සංඝයා මාම බලාපොරොත්තු වේවා’ යන අදහසක් නැත. ආනන්දය, ඒ තථාගතයන් වහන්සේ භික්ෂු සංඝයා අරබයා කිනම් අවසාන අවවාදයක් කරන්නේද? ආනන්දය, දැන් වනාහි මම දිරා ගියේ වෙමි. මහළු වූයේ වෙමි. කල් ගත වූයේ වෙමි. වයසට පැමිණියේ වෙමි. අසූ වයස් වෙමි. ආනන්දය, යම්සේ දිරාගිය ගැලක් උණ පතුරු බැඳ ප්‍රයෝජනයට ගනියිද, ආනන්දය, එසේම තථාගතයන් වහන්සේගේ කය උණ පතුරු තබා බඳින ලද්දාක් මෙන් හඟිමියි වදාළේය

“ආනන්දය, යම්විටෙක තථාගත තෙමේ සියලු රූපාදී අරමුණු මෙනෙහි නොකිරීමෙන් ඇතැම් වේදනා (ලෞකික වෙදනා) නිරුඞ කිරීමෙන් අනිමිත්ත චෙතො විමුක්ති සංඛ්‍යාත අර්හත්ඵල සමාපත්තියට පැමිණ වාසය කරන්නේද, ආනන්දය, එකල්හි තථාගතයන් වහන්සේට අතිශයින් පහසු වෙයි. එහෙයින් ආනන්දය, තමා ආලෝකයක් කොට ගෙන තමා පිහිට කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන ධර්මය ආලෝකයක් කොට ගෙන ධර්මය පිහිට කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන වාසය කරව්.

“ආනන්දය, කෙසේ නම් මහණතෙම තමා ආලෝකයක් කොට ගෙන තමා පිහිට කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන ආලෝකයක් කොට ගෙන ධර්මය පිහිට කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන වාසය කරන්නේද?

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම වීර්‍ය්‍යයෙන් යුත්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලෝකයෙහි ලොභ ද්වෙෂයන් දුරුකොට කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරයිද, “වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලොකයෙහි ලෝභ ද්වෙෂයන් දුරුකොට වේදනාවන්හි වෙදනාවන් නැවත නැවත බලමින් වාසය කරයිද, “වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලෝකයෙහි ලෝභ ද්වෙෂයන් දුරුකොට චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරයිද, ‘වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලෝකයෙහි ලෝභ ද්වෙෂයන් දුරු කොට ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරයිද,

“ආනන්දය, මෙසේ වනාහි මහණතෙමේ තමා ආලෝකයක් කොට ගෙන තමා පිහිට කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන ධර්මය ආලෝකයක් කොට ගෙන ධර්මය පිහිට කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන වාසය කරන්නේ වෙයි.

“ආනන්දය, දැන් හෝ මගෙන් පසුව හෝ යම්කිසිවෙක් තමා ආලෝකයක් කොට ගෙන තමා පිළිසරණ කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන ධර්මය ආලෝකයක් කොට ගෙන ධර්මය පිළිසරණ කොට අනිකක් පිහිට කොට නොගෙන වාසය කරන්නාහුද ආනන්දය, ඔව්හුම අග්‍ර භික්ෂූහු වෙත්. ඔව්හුම ශික්ෂාකාමීහු වෙත්යයි” වදාළේය.