සංයුත්තනිකායො

මහා වර්ගය

4. ඉන්ද්‍රිය සංයුත්තය

1. සුද්ධින්ද්‍රිය වර්ගය

10. දුතිය ඉන්ද්‍රිය විභඞග සූත්‍රය

[2] “මහණෙනි, මේ ඉන්ද්‍රිය පසෙක් වෙති. කවර පසෙක්ද? සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය පඤ්ඤින්ද්‍රිය යනුයි.

[3] “මහණෙනි, සද්ධින්ද්‍රිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ශ්‍රද්ධාවත් වේද, ඒ භාග්‍යවතුන් වහන්සේ මේ නිසා අර්හත්යහ, සම්‍යක් සම්බුද්ධයහ, අෂ්ටවිද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්තයහ, සුගතයහ, සියලු ලෝකයන් දන්නාහ. නිරුත්තර පුරිසදම්ම සාරථීයහ, දෙව් මිනිසුන්ට ශාස්තෲයහ. බුද්ධයහ, භාග්‍යවත්හයි තථාගතයන් වහන්සේගේ බුද්ධත්වය අදහන්නේද, මහණෙනි, මෙය සද්ධින්ද්‍රිය යයි කියනු ලැබේ.

[4] “මහණෙනි, විරියින්ද්‍රිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ අකුසල ධර්මයන් පහකිරීම පිණිස කුසල ධර්මයන් වැඩීම පිණිස දැඩි වීර්‍ය්‍යයෙන් යුක්ත වූයේ පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තේ කුසල ධර්මයන්හි බහා තබන ලද බර ඇත්තේ වාසය කරයිද, හෙතෙම නූපන් ලාමක අකුසල ධර්මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි, වීර්‍ය්‍යය පටන්ගනියි, සිතින් දැඩි උත්සාහ කරයි, ස්ථිර ලෙස පිහිටුවයි, උපන් ලාමක අකුසල ධර්මයන් පහකිරීම පිණිස කැමැත්ත උපදවයි, වෑයම් කරයි, වීර්‍ය්‍යය පටන් ගනියි, සිතින් දැඩි උත්සාහ කරයි, ස්ථිර ලෙස පිහිටුවයි, නූපන් කුසල් ධර්මයන් ඉපදවීම පිණිස කැමැත්ත උපදවයි, වෑයම් කරයි, වීර්‍ය්‍යය පටන් ගනියි, සිතින් දැඩි උත්සාහ කරයි, ස්ථිර ලෙස පිහිටුවයි, උපන් කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස නොමුළා බව පිණිස බොහෝ බව පිණිස මහත් බව පිණිස වැඩීම පිණිස සම්පූර්ණවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි, වීර්‍ය්‍යය පටන්ගනියි, සිතින් දැඩි උත්සාහ කරයි, ස්ථිර ලෙස පිහිටුවයි. මහණෙනි, මෙය විරියින්ද්‍රිය යයි කියනු ලැබේ.

[5] “මහණෙනි, සතින්ද්‍රිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සිහි ඇතිව මනා සිහි නුවණින් යුක්තව පෙර කරන ලද පෙර කියන ලද දේ සිහි කරන්නේ විශෙෂයෙන් සිහි කරන්නේ වෙයිද හෙතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලොකයෙහි ලොභයද ද්වෙෂයද සංසිඳවා කයෙහි කය නැවත බලමින් වාසය කෙරේද,

“හෙතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලොකයෙහි ලොභයද ද්වෙෂයද සංසිඳවා වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කෙරේද,

“හෙතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව, මේ ලෝකයෙහි ලොභයද ද්වෙෂයද සංසිඳවා සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කෙරේද,

“හෙතෙම කෙලෙස් තවන විර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලොකයෙහි ලොභයද ද්වෙෂයද සංසිඳවා ධර්මයන්හි ධර්මය නැවත නැවත බලමින් වාසය කෙරේද, මහණෙනි, මේ සතින්ද්‍රිය කියනු ලැබේ.

[6] “මහණෙනි, සමාධින්ද්‍රිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ නිවන් අරමුණු කොට පවත්නා සමාධියක් ලබයිද, සිතේ එකඟකම ලබයිද, ඒ මහණතෙම කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතක්ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීති සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයිද, විතක්ක විචාරයන්ගේ සංසිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම් ඇත්තාවූ එකඟ බැව් ඇති අවිතර්කවූ විචාර රහිතවූ සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති දුතියධ්‍යානයට පැමිණ වාසය කරයිද,

“ප්‍රීතියද දුරුකිරීමෙන් උපෙක්ෂාවෙන් යුක්තවූයේ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරයිද, කායික සැපයාගේද දුක්ඛයාගේද නැතිකිරීමෙන් පූර්වයෙහිම සොම්නස් දොම්නස් දෙක දුරලීමෙන් දුකද නැති සැපද නැති උපෙක්ෂාවෙන් හටගත් පිරිසිදු සිහිය ඇති චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මෙය සමාධින්ද්‍රියයයි කියනු ලැබේ.

[7] “මහණෙනි, පඤ්ඤින්ද්‍රිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ උතුම්වූ කලකිරීම පිණිස පවත්නාවූද මනාකොට දුක් නැතිකිරීම පිණිස පවත්නාවූ ඇතිවීම හා නැතිවීම දක්නාවූ නුවණින් යුක්තවූයේ ප්‍රඥාවත් වූයේ වෙයිද, හෙතෙම මෙය දුක යයි තත්වූ පරිද්දෙන් දැන ගනියි. මේ දුකට හෙතුව තත්වූ පරිද්දෙන් දැන ගනියි. මේ දුක් නැතිකිරීම යයි තත්වූ පරිද්දෙන් දැනගනියි. මේ දුක් නැතිකිරීම පිණිස පවත්නාවූ ප්‍රතිපදාව යයි තත්වූ පරිද්දෙන් දැනගනියි. මහණෙනි, මේ පඤ්ඤින්ද්‍රියයයි කියනු ලැබේ. මහණෙනි, මොව්හු වනාහි පඤ්චඉන්ද්‍රියයෝයි.”

සුද්ධිකවග්ගො පඨමො.