සංයුත්තනිකායො

මහා වර්ගය

4. ඉන්ද්‍රිය සංයුත්තය

2. මුදුතර වර්ගය

1. පඤ්චෙන්ද්‍රිය පටිලාභ සූත්‍රය

[1] මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

[2] “මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ පසෙක් වෙති. කවර පසෙක්ද? සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ධිය, පඤ්ඤින්ද්‍රිය යනුයි.

[3] “මහණෙනි, සද්ධින්ද්‍රිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ශ්‍රද්ධා ඇත්තේ වේද, ඒ භාග්‍යවතුන් වහන්සේ මේ නිසා අර්හත්ය. සම්‍යක් සම්බුද්ධයහ අෂ්ට විද්‍යාපසළොස් චරණ ධර්මයෙන් යුක්තයහ. සුගතයහ. සියලු ලෝකයන් දන්නාහ. නිරුත්තර පුරුසදම්මසාරථියහ. දෙව් මිනිසුන්ට ශාස්තෲයහ. බුද්ධයහ. භාග්‍යවත් හයි තථාගතයන් වහන්සේගේ බුද්ධත්වය අදහන්නේ වෙයිද, මහණෙනි, මේ සද්ධින්ද්‍රියයයි කියනු ලැබේ.

[4] “මහණෙනි, විරියින්ද්‍රිය කවරේද? මහණෙනි, සතර සම්‍යක් ප්‍රධානයන් අරභයා යම් වීර්‍ය්‍යයක් ලබයිද, මහණෙනි, මෙය විරියින්ද්‍රියයයි කියනු ලැබේ.

[5] “මහණෙනි, සතින්ද්‍රිය කවරේද? මහණෙනි, සතර සතිපට්ඨානයන් අරභයා යම් සිහියක් ලබයිද? මහණෙනි, මෙය සතින්ද්‍රියයයි කියනු ලැබේ.

[6] “මහණෙනි, සමාධින්ද්‍රිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ අරමුණුකොට ඇති සමාධියක් ලබයිද, චිත්තයාගේ එකඟ බවක් ලබයිද මහණෙනි, මෙය සමාධින්ද්‍රිය යයි කියනු ලැබේ.

[7] “මහණෙනි, පඤ්ඤින්ද්‍රිය කවරේද? මහණෙනි, මේ ශාසනයේ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඇතිවීම හා නැතිවීම දක්නාවූ නුවණින් යුක්තවූයේ උතුම්වූ විනිවිද දක්නාවූ මනාකොට දුක් නැතිකිරීම පිණිස පවත්නාවූ ප්‍රඥාවෙන් යුක්ත වූයේ නුවණැත්තේ වේද, මහණෙනි, මෙය පඤ්ඤින්ද්‍රියයයි කියනු ලැබේ. මහණෙනි, මොව්හු වනාහි පඤ්චෙන්ද්‍රියයෝයි.”