සංයුත්තනිකායො

මහා වර්ගය

4. ඉන්ද්‍රිය සංයුත්තය

5. ජරා වර්ගය

10. ආපණ නිගම (හෝ සද්ධ) සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අංග ජනපදයෙහි ආපන නම්වූ අංග වාසීන්ගේ නියම්ගම වාසය කළසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ශාරිපුත්ත ස්ථවිරයන්ට ඇමතූ සේක. ‘ශාරිපුත්තය, තථාගතයන් වහන්සේ කෙරෙහි ඒකාන්තයෙන් පැමිණියාවූ විශෙෂයෙන් පැහැදුණාවූ යම් ආර්‍ය්‍ය ශ්‍රාවකයෙක්වේද, හෙතෙමේ තථාගතයන් වහන්සේ කෙරෙහි හෝ තථාගත ශාසනය කෙරෙහි හෝ සැක කරයිද විචිකිච්ඡා කරයිද?”

[2] “ස්වාමීනි, තථාගතයන් වහන්සේ කෙරෙහි එකාන්තයෙන් පැමිණියාවූ විශෙෂයෙන් පැහැදුණාවූ යම් ආර්‍ය්‍යශ්‍රාවකයෙක් වෙයිද, හෙතෙම තථාගතයන් වහන්සේ කෙරෙහි හෝ තථාගත ශාසනය කෙරෙහි හෝ සැක නොකරන්නේය. විචිකිච්ඡා නොකරන්නේය.

[3] “ස්වාමීනි, ශ්‍රද්ධාවෙන් යුත් ආර්‍ය්‍යශ්‍රාවකයා හට අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස කුසල ධර්මයන්ගේ වැඩීම පිණිස වීර්‍ය්‍යය ඇතිව දැඩි උත්සාහ ඇතිව කුසල ධර්මයන්හි බහා නොතැබූ බර ඇතිව පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇතිව වාසය කරන්නේය යන මෙය කැමති විය යුතුයි. ස්වාමීනි, ඔහුගේ යම් වීර්‍ය්‍යයක් වීද, ඔහුගේ විරින්ද්‍රියය වෙයි.

[4] “ස්වාමීනි, ශ්‍රාද්ධාවත් ආර්‍ය්‍යශ්‍රාවකයා හට සිහි ඇත්තෙක් වන්නේය. උතුම්වූ සිහි නුවණින් යුක්තවූයේ බොහෝ පෙර කරන ලද බොහෝ පෙර කියන ලද දේ සිහිකරන්නෙක් වන්නේය යන මෙය කැමති විය යුතුයි ස්වාමීනි, ඔහුගේ යම් සිහියක් වේද, එය ඔහුගේ සතින්ද්‍රියයි. ස්වාමීනි, ශ්‍රද්ධාවෙන් යුත් පටන්ගත් වීර්‍ය්‍ය ඇති එළඹ සිටි සිහියෙන් යුත් ආර්‍ය්‍යශ්‍රාවකයා හට නිවන් අරමුණුකොට පවත්නා සමාධිය ලබන්නේය. සිතේ එකඟකම ලබන්නේය යන මෙය කැමැති වියයුතුයි. ස්වාමීනි, ඔහුගේ යම් සමාධියක් වීද එය ඔහුගේ සමාධින්ද්‍රියයි

[5] “ස්වාමීනි, ශ්‍රද්ධාවෙන් යුත් පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇති එළඹ සිටි සමාධිය ඇති ආර්‍ය්‍යශ්‍රාවකයා හට සංසාරය නොදතහැකි කෙළවර ඇත්තේය. පූර්ව කෙළවරක් නොපෙනේ. අවිද්‍යාවෙන් වැසී තණ්හාවෙන් බැඳි සැරිසරන්නාවූ සත්වයන්ගේ අවිද්‍යාවයයි කියන ලද අන්ධකාර සමූහයාගේ යම් ඉතිරිනොකොට නිරුද්ධ කිරීමක් වෙද මෙය ශාන්තපදය වෙයි. ප්‍රණීත පදය වෙයි. සියලු සංස්කාරයන්ගේ සංසිඳීම වෙයි. සියලු උපධින්ගේ දුරුකිරීම වෙයි තෘෂ්ණාව ක්ෂය කළ නොඇලීමවූ නිරොධයවූ නිර්වාණයයි, දැනගන්නේය යන මෙය කැමති විය යුතුයි. ස්වාමීනි, ඔහුගේ යම් ප්‍රඥාවක් වේද එය ඔහුගේ පඤ්ඤින්ද්‍රිය වෙයි. ස්වාමීනි, ඒ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ වීර්‍ය්‍ය කොට වීර්‍ය්‍ය කොට සිහිකොට සිහිකොට සමාධියට පැමිණ සමාධියට පැමිණ නුවණින් දැන දැන මා විසින් මේ ධර්මයෝ පෙර අසන ලද්දාහුමය. ඒ ධර්මයෝ දැන් වර්තමාන කයින් ස්පර්ශකොට වාසය කරමි. ප්‍රඥාවෙන්ද අවබොධ කොට දකිමියි මෙසේ අදහන්නේය. ස්වාමීනි, ඔහුගේ යම් ශ්‍රද්ධාවක් වීද එයම ඔහුගේ සද්ධින්ද්‍රියයි’

[6] “සාරිපුත්තය, යහපති, යහපති, සාරිපුත්තය, තථාගතයන් වහන්සේ වෙත එකාන්තයෙන් පැමිණියාවූ විශෙෂයෙන් පැහැදුණාවූ යම් මේ ආර්‍ය්‍යශ්‍රාවකයෙක් වේද, හෙතෙම තථාගතයන් වහන්සේ කෙරෙහි හෝ තථාගත ශාසනය කෙරෙහි හෝ සැකයක් හෝ විචිකිච්ඡාවක් නොකරයි.

[7] “සාරිපුත්තය, ශ්‍රද්ධාවෙන් යුත් ආර්‍ය්‍යශ්‍රාවකයා හට අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස කුසල ධර්මයන්ගේ වැඩීම පිණිස වීර්‍ය්‍යය ඇතිව දැඩි උත්සාහ ඇතිව කුසල ධර්මයන්හි බහානොතැබූ බර ඇතිව පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇතිව වාසය කරන්නේය යන මෙය කැමති විය යුතුයි. සාරිපුත්තය, ඔහුගේ යම් වීර්‍ය්‍යයක් වීද, ඔහුගේ විරින්ද්‍රියය වෙයි.

[8] ‘සාරිපුත්තය, ශ්‍රද්ධාවත් ආර්‍ය්‍යශ්‍රාවකයා හට සිහි ඇත්තෙක් වන්නේය. උතුම්වූ සිහි නුවණින් යුක්තවූයේ බොහෝ පෙර කරන ලද බොහෝ පෙර කියන ලද දේ සිහිකරන්නෙක් වන්නේය යන මෙය කැමති විය යුතුයි. සාරිපුත්තය, ඔහුගේ යම් සිහියක් වේද, එය ඔහුගේ සතින්ද්‍රියයි. සාරිපුත්තය, ශ්‍රද්ධාවෙන් යුත් පටන් ගත් වීර්‍ය්‍ය ඇති එළඹ සිටි සිහියෙන් යුත් ආර්‍ය්‍යශ්‍රාවකයා හට නිවන් අරමුණු කොට පවත්නා සමාධිය ලබන්නේය. සිතේ එකඟකම ලබන්නේය යන මෙය කැමති විය යුතුයි. සාරිපුත්තය, ඔහුගේ යම් සමාධියක් වීද එය ඔහුගේ සමාධින්ද්‍රියයි.

[9] “සාරිපුත්තය, ශ්‍රද්ධාවෙන් යුත් පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත එළඹ සිටි සමාධිය ඇති ආර්‍ය්‍යශ්‍රාවකයා හට සංසාරය නොදතහැකි කෙළවර ඇත්තේය. පූර්ව කෙළවරක් නොපෙනේ. අවිද්‍යාවෙන් වැසී තණ්හාවෙන් බැඳී සැරිසරන්නාවූ සත්වයන්ගේ අවිද්‍යාව යයි කියන ලද අන්ධකාර සමූහයාගේ යම් ඉතිරි නොකොට නිරුද්ධ කිරීමක් වේද, මෙය ශාන්ත පදය වෙයි. ප්‍රණීත පදය වෙයි. සියලු සංස්කාරයන්ගේ සංසිඳීම වෙයි. සියලු උපධින්ගේ දුරුකිරීම වෙයි. තෘෂ්ණාව ක්ෂය කළ නොඇලීමවූ නිරොධයවූ නිර්වාණයයි, දැනගන්නේය යන මෙය කැමති වියයුතුයි. සාරිපුත්තය, ඔහුගේ යම් ප්‍රඥාවක් වේද එය ඔහුගේ පඤඤින්ද්‍රියවෙයි. සාරිපුත්තය, ඒ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ වීර්‍ය්‍යකොට වීර්‍ය්‍යකොට, සිහිකොට සිහිකොට, සමාධියට පැමිණ, සමාධියට පැමිණ, නුවණින් දැන දැන ‘ඒ මේ ධර්මයෝ මා විසින් දැන් වර්තමාන කයින් ස්පර්ශකොට වාසය කරමි. ප්‍රඥාවෙන්ද අවබොධකොට දකිමියි’ අදහයි. සාරිපුත්තය, ඔහුගේ යම් ශ්‍රද්ධාවක් වීද, එයම ඔහුගේ සද්ධින්ද්‍රිය වන්නේයයි” වදාළේය.

ජරාවග්ගො පඤ්චමො.