සංයුත්තනිකායො

මහා වර්ගය

4. ඉන්ද්‍රිය සංයුත්තය

1. සුද්ධින්ද්‍රිය වර්ගය

9. ඉන්ද්‍රිය විභඞග සූත්‍රය

[2] “මහණෙනි, මේ ඉන්ද්‍රිය පස්දෙනෙක් වෙති කවර පසෙක්ද? සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය යනුයි.

[3] “ මහණෙනි, සද්ධින්ද්‍රිය යනු කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ශ්‍රද්ධා ඇත්තේ වේද, ඒ භාග්‍යවතුන් වහන්සේ මේ නිසා අර්හත්යහ සම්‍යක් ම්බුද්ධයහ. අෂ්ටවිද්‍යා පසළොස් චරණ ධර්මයෙන් යුක්තයහ. සුගතයහ. සියලු ලෝකයන් දන්නාහ. නිරුත්තර පුරුසදම්ම සාරථීය. දෙවි මිනිසුන්ට ශාස්තෲයහ. බුද්ධයහ භාග්‍යවත්යයි තථාගතයන් වහන්සේ බුද්ධත්වය අදහන්නේ වෙයිද, මහණෙනි, මෙය සද්ධින්ද්‍රියයයි කියනු ලැබේ.

[4] “මහණෙනි, විරියින්ද්‍රිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ අකුසල ධර්මයන් පහකරනු පිණිස කුසල ධර්මයන් වැඩීම පිණිස දැඩි වීර්‍ය්‍ය ඇතිව පටන් ගන්නාලද වීර්‍ය්‍යය ඇතිව කුසල ධර්මයන්හි බහාතබන ලද බර ඇතිව වාසය කරයිද, මහණෙනි, මේ විරින්ද්‍රියයයි කියනු ලැබේ.

[5] “මහණෙනි, සතින්ද්‍රිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සිහියෙන් යුක්තවේද

මනාකොට සිහි නුවණින් යුක්ත වූයේවේද, පෙර කරනලද පෙර කියනලද දේ සිහි කරන්නේ විශෙෂයෙන් සිහි කරන්නේ වෙයිද, මහණෙනි, මෙය සතින්ද්‍රිය යයි කියනු ලැබේ.

[6] “මහණෙනි, සමාධින්ද්‍රිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ නිවන් අරමුණු කොට සමාධිය ලබයිද, සිතේ එකඟකම ලබයිද, මහණෙනි, මෙය සමාධින්ද්‍රිය යයි කියනු ලැබේ.

[7] “මහණෙනි, පඤ්ඤින්ද්‍රිය කවරේද, මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ උතුම්වූ කලකිරීම් පිණිස පවත්නාවූ මනාකොට දුක් නැතිකිරීම පිණිස පවත්නාවූ ඇතිවීම හා නැතිවීම දක්නාවූ නුවණින් යුක්තවූයේ ප්‍රඥාවත් වූයේ වේද, මහණෙනි, මෙ පඤ්ඤින්ද්‍රිය යයි කියනු ලැබේ. මහණෙනි, මොව්හු වනාහි පඤ්චෙන්ද්‍රියයෝ යයි කියනු ලැබෙත්.