සංයුත්තනිකායො
සගාථ වර්ගය
5. භික්ඛුනී සංයුත්තය
2. සෝමා සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි සෝමා මෙහෙණී පෙරවරුයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරු ගෙන සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියාය.
සැවැත්නුවර පිඬු සිඟා වළඳා පසුබත් කල්හි පෙරළා ආ තැනැත්තී දිවා විහරණය පිණිස අන්ධවනය කරා පැමිණියාය. අන්ධවනයට බැස දාවල් විවේකය පිණිස එක්තරා රුක්මුලෙක උන්නාය.
එකල්හි පාපීවූ මාරයා සෝමා මෙහෙණියට බිය තැති ලොමුදැහැගැනුම් උපදවනු කැමැත්තේ, සමාධියෙන් තොරකරනු කැමැත්තේ. ඒ මෙහෙණිය යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ සෝමා මෙහෙණියට ගාථායෙන් ( මෙසේ ) කීය:
’’ඎෂීන් විසින් ලැබියයුතු, දුර්ලභවූ, යම් පදවියක් ( රහත් බවෙක් ) ඇද්ද, එය දෑඟුල් නුවණ ඇති, ස්ත්‍රියක විසින් ලැබිය නොහැක්ක.’’
එවිට සෝමා මෙහෙණියට මෙසේ සිත්විය: ’’මේ ගාථා කියනුයේ කවරෙක්ද? මිනිසෙක්ද නොහොත් නොමිනිසෙක්ද?’
ඉක්බිති ඇයට, ’මේ පාපීවූ මාරයාය. මට බිය, තැතිගැන්ම, ලොමුදැහැගැන්ම උපදවනු කැමැතිව, සමාධියෙන් තොරකරනු කැමැත්තෙ ඔහු ගාථා කියාය’ යි මේ අදහස විය.
ඉක්බිති සෝමා මෙහෙණිය ’ මේ පාපීවූ මාරයාය’ යි දැන පාපීවූ මාරයාට ගාථාවලින් මෙසේ කීවාය:
’’සිත මොනවට සමාධියට පැමිණි කල්හි, නුවණ ඇති කල්හි, දහම් ඇතිසැටියෙන් දක්නහුට ස්ත්රීබව කුමක් කරන්නේද?
’’ ’ මම් ස්ත්රියකමි’ යි හෝ ’පිරිමියෙකිමි’ යි කියා හෝ ’එයින් අන් යම් එකෙකිමි’ යි කියා හෝ යමෙකුට මෙබඳු අදහසෙක් ඒකාන්තයෙන් වන්නේ නම්, මාරයා ඔහුට නම් (මට කී දේ) කියන්නට සෑහේ.’’
එවිට පාපීවූ මාරයා, ’සෝමා මෙහෙණිය මා දන්නීය’ යි දුක් දොම්නස් වැද එහිම අතුරුදන්විය.