සංයුත්තනිකායො

මහා වර්ගය

7. ඉද්ධිපාද සංයුත්තය

2. පාසාද කම්පන වර්ගය

1. හෙතු සූත්‍රය

[1] මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

[2] “මහණෙනි, බුදුවීමට පළමුව බුදු නොවූ බෝසත්වූ මාහට මෙබඳු අදහසක් පහළවිය. ඉද්ධිපාදයන් වැඩීමට හේතුව කවරේද, ප්‍රත්‍යය කවරේද” යනුයි.

[3] “මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘මේ ශාසනයෙහි මහණතෙමේ ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඍද්ධිපාදය වඩන්නේය. කෙසේද? මේ ආකාරයෙන් මාගේ ඡන්දය ඉතා හැකුළුණේ නොවන්නේය. ඉතා එසවුණේත් නොවන්නේය. ඇතුළත හැකුළුණේත් නොව පිටත විසිර ගියේත් නොවන්නේය. රහත් වීමට පෙර මෙන් රහත් වීමට පසුවද පසුව මෙන් පෙරද, ශරීරයෙහි යට මෙන් උඩද උඩ මෙන් යටද, දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද, එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය කියායි. මෙසේ නොවැසූ විවෘත කළ සිතින් බැබලීම් සහිත සිත වඩයි.

[4] “වීර්‍ය්‍යය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඍද්ධිපාදය වඩයි. කෙසේද? ‘මේ ආකාරයෙන් මාගේ වීර්‍ය්‍යය ඉතා හැකුළුණේත් නොවන්නේය. ඉතා එසවුණේත් නොවන්නේය. ඇතුළත හැකුළුණේත් නොවන්නේය. පිටත විසිර ගියේත් නොවන්නේය. පෙර පසු දෙක්හිම එකහා සමාන හැඟීම් ඇතිව වාසය කරයි. රහත්වීමට පළමු මෙන්ම පසුවත් පසුව මෙන්ම පෙරත් ශරීරයෙහි උඩ මෙන්ම යටත් යට මෙන්ම උඩත්, දවල් මෙන්ම රෑත් රෑ මෙන් දවල්හිත්, එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය’ කියායි. මෙසේ විවෘතවූ නොවැසූ සිතින් බැබලීම් සහිත සිතක් වඩයි.

[5] “චිත්තය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඍද්ධිපාදය වඩයි. කෙසේද? ‘මේ ආකාරයෙන් මාගේ සිත ඉතා හැකුළුණේද නොවන්නේය. ඉතා එසවුණේද නොවන්නේය. ඇතුළත හැකුළුණේද නොවන්නේය. පිටත්හි විසිර ගියේද නොවන්නේය. පෙර හා පසුව එකහා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය. පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද, යටිකය මෙන් උඩු කයද උඩු කය මෙන් යටිකයද, දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද, එකහා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය’ කියායි. මෙසේ නොවසන ලද විවෘත කළ සිතින් බැබලීම් සහිත සිත වඩයි.

[6] “විමංසය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඍද්ධිපාදය වඩයි. කෙසේද? ‘මේ ආකාරයෙන් මාගේ විමංසය ඉතා හැකුළුණේත් නොවන්නේය. ඉතා එසවුණේත් නොවන්නේය. ඇතුළත හැකුළුණේත් නොවන්නේය. පිටත්හි විසිර ගියේත් නොවන්නේය. පෙර පසු සමාන හැඟීම් ඇතිව වාසය කරයි. පෙර මෙන්ම පසුවද පසුව මෙන්ම පෙරද, යටි කයෙහි මෙන්ම උඩු කයෙහිද උඩුකයෙහි මෙන්ම යටි කයෙහිද, දවල් මෙන්ම රෑද රෑ මෙන්ම දවල්ද, සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය’ කියායි. මෙසේ නොවසන ලද විවෘතවූ සිතින් බැබලීම් සහිත සිත වඩයි.

[7] “මහණෙනි, මහණතෙම සතර ඍද්ධිපාදයන් මෙසේ වැඩූකල්හි නැවත නැවත වැඩූ කල්හි නොයෙක් වැදෑරුම් ඍද්ධි කොටස් දක්වන්නේය. එක් කෙනෙක්ව බොහෝ දෙනෙක් වෙත්. බොහෝ දෙනෙක්ව එක්කෙනෙක්ද වේ. ප්‍රකට බවට මුවහ බවට අහසෙහි මෙන් බිත්තියෙන් ඔබට පර්වතයෙන් ඔබට ප්‍රාකාරයෙන් ඔබට නොගැටී යයි. ජලයෙහි මෙන් පොළොවෙහි ගැලීම් කිමිදීම් කරයි. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් යයි. පක්ෂියෙකු මෙන් අහසෙහි යේද පර්‍ය්‍යංකයෙන් හිඳගෙන මහත් ඍද්ධි ඇති මහත් අනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කරයි. පිරිමදියි. බ්‍රහ්මලෝක පවා කයින් වසඟ බවට පමුණුවයි.

[8] “මහණෙනි, මහණතෙමේ මෙසේ සතර ඍද්ධිපාදයන් මෙසේ වැඩූ කල්හි නැවත නැවත වැඩූ කල්හි මිනිස් බව ඉක්මවූ පිරිසිදුවූ දිව කණින් දිව්‍යමයවූද මනුෂ්‍යමයවූද දුරවූද ළංවූද ශබ්ද අසයි. මහණෙනි, මහණතෙමේ මෙසේ සතර ඍද්ධිපාදයන් වැඩූ කල්හි නැවත නැවත වැඩූ කල්හි අනික් සත්වයන්ගේ අනික් පුද්ගලයන්ගේ සිතින් සිත වෙන් කොට දැනගනියි. රාග සහිත සිත රාග සහිත සිතයයි දැනගනියි. රාග රහිත සිත රාග රහිත සිතයයි දැනගනියි. දොස සහිත සිත දොස සහිත සිතයයි දැනගනියි. දොස රහිත සිත දොස රහිත සිතයයි දැනගනියි. මොහ සහිත සිත මොහ සහිත සිතයයි දැනගනියි. මොහ රහිත සිත මොහ රහිත සිතයයි දැනගනියි.

[9] “හැකිලුන සිත හැකිලුන සිතයයි දැනගනියි. විසිරගිය සිත විසිර ගිය සිතයයි දැනගනියි. මහග්ගත සිත මහග්ගත සිතයයි දැනගනියි. මහග්ගත නොවූ සිත මහග්ගත නොවූ සිතයයි දැනගනියි. උසස් සිත උසස් සිතයයි දැනගනියි. උසස් නොවූ සිත උසස් නොවූ සිතයයි දැනගනියි. සමාහිත නොවූ සිත සමාහිත නොවූ සිතයයි දැනගනියි. සමාහිත සිත සමාහිත සිතයයි දැනගනියි. නොමිඳුනු සිත නොමිඳුනු සිත යයි දැනගනියි. මිදුනු සිත මිදුනු සිතයයි දැනගනියි.

[10] “මහණෙනි, මහණතෙම මෙසේ සතර ඉද්ධිපාදයන් වැඩූකල්හි නැවත නැවත වැඩූකල්හි නොයෙක් වැදෑරුම් පෙරවිසූ කඳ පිළිවෙල සිහි කරයි. ඒ කෙසේදයත්?

“ජාති එකක්ද ජාති දෙකක්ද ජාති තුනක්ද ජාති සතරක්ද ජාති පහක්ද ජාති දහයක්ද ජාති විස්සක්ද ජාති තිහක්ද ජාති හතලිහක්ද ජාති පණහක්ද ජාති සියයක්ද ජාති දහසක්ද ජාති ලක්ෂයක්ද නොයෙක් සංවට්ට කල්පයන්ද නොයෙක් විවට්ට කල්පයන්ද නොයෙක් සංවට්ට විවට්ට කල්පයන් අසවල් තැන සිටියෙමි. නම මෙසේය. ගොත්‍රය මෙසේය වර්ණය මෙසේය. ආහාරය මෙසේය. මෙසේ සැප දුක් වින්දේ මෙසේ ආයු කෙළවර විය. හෙතෙම එයින් චුතව මෙහි උපන්නේය. මෙසේ ආකාර සහිතව කොටස් සහිතව නොයෙක් වැදෑරුම් පෙරවිසූ කඳ පිළිවෙල සිහි කරයි.

[11] “මහණෙනි, මෙසේ සතර ඉද්ධිපාදයන් වැඩූකල්හි නැවත නැවත වැඩූ කල්හි මිනිස්බව ඉක්මවූ පිරිසිදු දිව ඇසින් චුතවන්නාවූද උපදින්නාවූද හීනවූද, ප්‍රණීතවූද, මනා පැහැ ඇත්තාවූද, දුර්වර්ණවූද සැපයට පැමිණියාවූද, දුකට පැමිණියාවූද, සත්වයන් දකියි. කර්මානුකූලව උපන් සත්වයන් දකියි.

“මේ පින්වත් සත්වයෝ ඒකාන්තයෙන් කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. වචී දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. මනො දුෂ්චරිතයෙන් යුක්ත වූවාහුය. ආර්‍ය්‍යයන්ට නිග්‍රහ කළාවූ මිසදිටු වූවාහුය. මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන් වූවාහුය. ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇත්තාවූ විවසව වැටෙන්නාවූ නිරයෙහි උපන්නාහුය.

[12] “මේ පින්වත් සත්වයෝ ඒකාන්තයෙන් කාය සුචරිතයෙන් යුක්තවූවාහුය. වචී සුචරිතයෙන් යුක්තවූවාහුය. මනො සුචරිතයෙන් යුක්තවූවාහුය. ආර්‍ය්‍යයන්ට නිග්‍රහ නොකළාහුය. සම්‍යක්දෘෂ්ටියෙන් යුක්ත වූවාහුය. සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදන් වූවාහුය. ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් යුත් ස්වර්ගලෝකයෙහි උපන්නාහුයයි කර්මානුකූලව උපන් සත්වයන් දකියි.

“මෙසේ මිනිස්බව ඉක්මවූ පිරිසිදුවූ දිවඇසින් චුතවන්නාවූද උපදින්නාවූද හීනවූද ප්‍රණීතවූද මනා වර්ණ ඇත්තාවූද, යහපත් වර්ණ ඇත්තාවූද, සැප ඇත්තාවූද සැප නැත්තාවූද සත්වයන් දකියි. කර්මානුකූලව උපන් සත්වයන් දකියි.

[13] “මහණෙනි, මහණතෙමේ මෙසේ සතර ඉද්ධිපාදයන් වැඩූකල්හි නැවත නැවත වැඩූකල්හි ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධියත් අර්හත් ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරන්නේය.”