සංයුත්තනිකායො

මහා වර්ගය

8. අනුරුද්ධ සංයුත්තය

1. රහොගත වර්ගය

1. පඨම රහොගත සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වාසය කරයි. එකල රහසිගතව විවේකයෙන් සිටි ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ට මෙබඳු අදහසක් ඇතිවිය. ‘යම්කිසි කෙනෙකුන් විසින් සතර සතිපට්ඨානයෝ සම්පූර්ණ නොකරන ලද්දාහුද, ඔවුන් විසින් මනාකොට දුක් ක්ෂය කිරීමට පැමිණෙන්නාවූ ආර්‍ය්‍ය මාර්ගය සම්පූර්ණ නොකරන ලද්දේය. යම්කිසි කෙනෙකුන් විසින් සතර සතිපට්ඨානයෝ සම්පූර්ණ කරන ලද්දාහුද ඔවුන් විසින් මනාකොට දුක් ක්ෂය කිරීමට පැමිණෙන්නාවූ ආර්‍ය්‍ය මාර්ගය සම්පූර්ණ කරන ලදී,’ යනුයි.

එකල්හි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ගේ සිත තමාගේ සිතින් දැන යම්සේ බලවත් පුරුෂයෙක් වක්කල අතක් දික් කරන්නේද, දික්කල අතක් වක්කරන්නේද, එපරිද්දෙන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ගේ ඉදිරියෙහි පහළවූහ. එකල්හි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරණුවෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ට මෙය කීහ.

“ඇවැත් අනුරුද්ධයෙනි, කොපමණකින් වනාහි භික්ෂුව විසින් සතර සතිපට්ඨානයෝ පටන්ගන්නා ලද්දාහු වෙත්ද?” “ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ස්කන්ධලොකයෙහි ලොභයද ද්වෙෂයද දුරුකොට තමාගේ කයෙහි ඉපදීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, තමාගේ කයෙහි විනාශවීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, තමාගේ කයෙහි ඉපදීම් ස්වභාවයත් විනාශවීම් ස්වභාවයත් නැවත නැවත බලමින් වාසය කෙරේද,

“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලොකයෙහි ලොභයද ද්වෙෂයද දුරුකොට අනුන්ගේ කයෙහි ඉපදීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, අනුන්ගේ කයෙහි විනාශවීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, අනුන්ගේ කයෙහි ඉපදීම් ස්වභාවයත් විනාශවීම් ස්වභාවයත් නැවත නැවත බලමින් වාසය කෙරේද,

“කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලොකයෙහි ලොභයද ද්වෙෂයද දුරුකොට තමාගේ කයෙහිද අනුන්ගේ කයෙහිද ඉපදීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, තමාගේ කයෙහිද අනුන්ගේ කයෙහිද විනාශවීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, තමාගේ කයෙහිද අනුන්ගේ කයෙහිද ඉපදීම් ස්වභාවයත් විනාශවීම් ස්වභාවයත් නැවත නැවත බලමින් වාසය කෙරේද,

“හෙතෙම ඉදින් ‘නොපිළිකුල් දෙයෙහි පිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරමියි කැමති වේද, එහි පිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරයිද, ඉදින් පිළිකුල් දෙයෙහි නොපිළිකුල්ය යන හැඟීමෙන් යුක්තව වාසය කරන්නෙමියි’ කැමති වෙයිද,

“එහි පිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරයිද, ඉදින් නොපිළිකුල් දෙයෙහිද පිළිකුල් දෙයෙහිද පිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරන්නෙමියි’ කැමති වේද එහි පිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරයිද, ඉදින් ‘පිළිකුල් දෙයෙහිද නොපිළිකුල් දෙයෙහිද නොපිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරන්නෙමියි’ කැමති වෙයිද, එහි නොපිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරයිද, ඉදින් ‘නොපිළිකුලද පිළිකුලද යන දෙක මනාකොට ඉක්මවා මධ්‍යස්ථව සිහි ඇතිව යහපත් නුවණ ඇතිව වාසය කරන්නෙමියි’ කැමති වේද, එහි මධ්‍යස්ථව සිහි ඇතිව මනා නුවණ ඇතිව වාසය කරයිද,

“මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලොකයෙහි ලොභයද ද්වෙෂයද දුරුකොට තමාගේ වේදනාවෙහි ඉපදීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, තමාගේ වේදනාවෙහි විනාශවීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, තමාගේ වේදනාවෙහි ඉපදීම් ස්වභාවයත් විනාශවීම් ස්වභාවයත් නැවත නැවත බලමින් වාසය කෙරේද,

“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලොකයෙහි ලොභයද ද්වෙෂයද දුරුකොට අනුන්ගේ වේදනාවෙහි ඉපදීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, අනුන්ගේ වේදනාවෙහි විනාශවීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, අනුන්ගේ වේදනාවෙහි ඉපදීම් ස්වභාවයත් විනාශවීම් ස්වභාවයත් නැවත නැවත බලමින් වාසය කෙරේද,

“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලොකයෙහි ලොභයද ද්වෙෂයද දුරුකොට තමාගේ වේදනාවෙහිද අනුන්ගේ වේදනාවෙහිද ඉපදීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, තමාගේ වේදනාවෙහිද අනුන්ගේ වේදනාවෙහිද විනාශවීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, තමාගේ වේදනාවෙහිද අනුන්ගේ වේදනාවෙහි ඉපදීම් ස්වභාවයත් විනාශවීම් ස්වභාවයත් නැවත නැවත බලමින් වාසය කෙරේද,

“හෙතෙම ඉදින් ‘නොපිළිකුල් දෙයෙහි පිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරමියි’ කැමතිවේද, එහි පිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරයිද, ඉදින් ‘පිළිකුල් දෙයෙහි නොපිළිකුල්ය යන හැඟීමෙන් යුක්තව වාසය කරන්නෙමියි’ කැමති වෙයිද,

“එහි පිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරයිද, ඉදින් ‘නොපිළිකුල් දෙයෙහිද පිළිකුල් දෙයෙහිද පිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරන්නෙමියි’ කැමතිවේද එහි පිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරයිද, ඉදින් ‘පිළිකුල් දෙයෙහිද නොපිළිකුල් දෙයෙහිද නොපිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරන්නෙමියි’ කැමති වෙයිද, එහි නොපිළිකුල්ය යන හැඟීමෙන් වාසයකරයිද, ඉදින් ‘නොපිළිකුලද පිළිකුලද යන දෙක මනාකොට ඉක්මවා මධ්‍යස්ථව සිහි ඇතිව යහපත් නුවණ ඇතිව වාසය කරන්නෙමියි’ කැමතිවේද, එහි මධ්‍යස්ථව සිහි ඇතිව මනා නුවණ ඇතිව වාසය කරයිද,

“මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලොකයෙහි ලොභයද ද්වෙෂයද දුරුකොට තමාගේ සිතෙහි ඉපදීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, තමාගේ සිතෙහි විනාශවීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, තමාගේ සිතෙහි ඉපදීම් ස්වභාවයත් විනාශවීම් ස්වභාවයත් නැවත නැවත බලමින් වාසය කෙරේද,

“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලොකයෙහි ලොභයද ද්වෙෂයද දුරුකොට අනුන්ගේ සිතෙහි ඉපදීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, අනුන්ගේ සිතෙහි විනාශවීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, අනුන්ගේ සිතෙහි ඉපදීම් ස්වභාවයත් විනාශවීම් ස්වභාවයත් නැවත නැවත බලමින් වාසය කෙරේද,

“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලොකයෙහි ලොභයද ද්වෙෂයද දුරුකොට තමාගේ සිතෙහිද අනුන්ගේ සිතෙහිද ඉපදීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, තමාගේ සිතෙහිද අනුන්ගේ සිතෙහිද විනාශවීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, තමාගේ සිතෙහිද අනුන්ගේ සිතෙහිද ඉපදීම් ස්වභාවයත් විනාශවීම් ස්වභාවයත් නැවත නැවත බලමින් වාසය කෙරේද

“හෙතෙම ඉදින් ‘නොපිළිකුල් දෙයෙහි පිළිකුල්ය යන හැඟීමෙන් වාසයකරමියි’ කැමතිවේද, එහි පිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරයිද, ඉදින් ‘පිළිකුල් දෙයෙහි නොපිළිකුල්ය යන හැඟීමෙන් යුක්තව වාසය කරන්නෙමියි’ කැමති වෙයිද,

“එහි පිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරයිද, ඉදින් ‘නොපිළිකුල් දෙයෙහිද පිළිකුල් දෙයෙහිද පිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරන්නෙමියි’ කැමතිවේද, එහි පිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරයිද ඉදින් ‘පිළිකුල් දෙයෙහිද නොපිළිකුල් දෙයෙහිද නොපිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරන්නෙමියි’ කැමති වෙයිද, එහි නොපිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරයිද, ඉදින් ‘නොපිළිකුලද පිළිකුලද යන දෙක මනාකොට ඉක්මවා මධ්‍යස්ථව සිහි ඇතිව යහපත් නුවණ ඇතිව වාසය කරන්නෙමියි’ කැමතිවේද, එහි මධ්‍යස්ථව සිහි ඇතිව මනා නුවණ ඇතිව වාසය කරයිද,

“මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලොකයෙහි ලොභයද ද්වෙෂයද දුරුකොට තමාගේ ධර්මයන්හි ඉපදීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, තමාගේ ධර්මයන්හි විනාශවීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, තමාගේ ධර්මයන්හි ඉපදීම් ස්වභාවයත් විනාශවීම් ස්වභාවයත් නැවත නැවත බලමින් වාසය කෙරේද,

“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලොකයෙහි ලොභයද ද්වෙෂයද දුරුකොට අනුන්ගේ ධර්මයන්හි ඉපදීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, අනුන්ගේ ධර්මයන්හි විනාශවීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, අනුන්ගේ ධර්මයන්හි ඉපදීම් ස්වභාවයත් විනාශවීම් ස්වභාවයත් නැවත නැවත බලමින් වාසය කෙරේද,

“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලොකයෙහි ලොභයද ද්වෙෂයද දුරුකොට තමාගේ ධර්මයන්හිද අනුන්ගේ ධර්මයන්හිද ඉපදීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, තමාගේ ධර්මයන්හිද අනුන්ගේ ධර්මයන්හිද විනාශවීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, තමාගේ ධර්මයන්හිද අනුන්ගේ ධර්මයන්හිද ඉපදීම් ස්වභාවයත් විනාශවීම් ස්වභාවයත් නැවත නැවත බලමින් වාසය කෙරේද,

“හෙතෙම ඉදින් ‘නොපිළිකුල් දෙයෙහි පිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරමියි’ කැමතිවේද, එහි පිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරයිද, ඉදින් ‘පිළිකුල් දෙයෙහි නොපිළිකුල්ය යන හැඟීමෙන් යුක්තව වාසය කරන්නෙමියි’ කැමති වෙයිද,

‘එහි පිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරයිද, ඉදින් ‘නොපිළිකුල් දෙයෙහිද පිළිකුල් දෙයෙහිද පිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරන්නෙමියි’ කැමතිවේද, එහි පිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරයිද, ඉදින් ‘පිළිකුල් දෙයෙහිද නොපිළිකුල් දෙයෙහිද නොපිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරන්නෙමියි’ කැමති වෙයිද, එහි නොපිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරයිද, ඉදින් නොපිළිකුලද පිළිකුලද යන දෙක මනාකොට ඉක්මවා මධ්‍යස්ථව සිහි ඇතිව යහපත් නුවණ ඇතිව වාසයකරන්නෙමියි’ කැමතිවේද, එහි මධ්‍යස්ථව සිහි ඇතිව මනා නුවණ ඇතිව වාසය කරයි.

“ඇවැත්නි, මෙපමණකින් වනාහි භික්ෂුවගේ සතර සතිපට්ඨානයෝ සම්පූර්ණ කරන ලද්දාහුයයි” කීය.