සංයුත්තනිකායො

මහා වර්ගය

8. අනුරුද්ධ සංයුත්තය

1. රහොගත වර්ගය

8. සලළාගාර සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ සැවැත්නුවර සලළාගාරයෙහි විසූහ. එහිදී ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ භික්ෂූන් අමතා මෙය කීහ.

“ඇවැත්නි, යම්සේ ගංගා නදිය පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට නැඹුරුවී පවතීද, ඉක්බිති ‘අපි මේ ගංගානදිය බටහිරට නැමුනක් බටහිරට හැරුණක් බටහිරට නැඹුරුවූවක් කරන්නෙමුයි’ උදළු කූඩා ගත් මහජන සමූහයක් එන්නේය. ඇවැත්නි, ඒ කුමකැයි සිතව්ද? ඒ මහජන සමූහය ගංගානදිය බටහිරට නැමුනක් බටහිරට හැරුණක් බටහිරට නැඹුරුවූවක් කෙරේද?”

“ඇවැත්නි, එය එසේ නොවේ.”

“එයට හේතුව කවරේද?’

“ඇවැත්නි, ගංගානදිය පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට නැඹුරුවී පවත්නේය. එය බටහිරට නැමුණක් බටහිරට හැරුණක් බටහිරට නැඹුරුවූවක් කිරීමට පහසු නොවේ. ඒ මහාජන සමූහය එයින් ක්ලාන්ත බවට වෙහෙසීමට පත්වන්නේය.”

“ඇවැත්නි, එපරිද්දෙන්ම සතර සතිපට්ඨානය වඩන්නාවූ බහුල වශයෙන් වඩන්නාවූ භික්ෂුවට රජු හෝ රාජ මහාමාත්‍යයෙක් හෝ, මිත්‍රයෙක් හෝ අසල්වැස්සෝ හෝ සහලේ නෑයෝ හෝ, ‘පින්වත් පුරුෂය, නුඹ කුමක් නිසා මේ කාෂාය වස්ත්‍රය පෙරවන්නෙහිද, කුමක් නිසා හිස මුඬුකොට කබලක්

ගෙන හැසිරෙන්නෙහිද, එව සිව්රු හැර සම්පත්ද අනුභව කරව පින්ද කරවයි පවරන්නාහු නම් ඇවැත්නි, ‘සතර සතිපට්ඨානයන් වඩන්නාවූ සතර සතිපට්ඨානයන් බහුල වශයෙන් වඩන්නාවූ ඒ භික්ෂුව වනාහි ශික්ෂා ප්‍රත්‍යඛ්‍යානය කොට (භික්ෂුභාවය ප්‍රතික්ෂෙප කොට) ගිහි වන්නේය’ යන මේ කරුණ විද්‍යමාන නොවේ. එයට හේතුව කවරේද? ඇවැත්නි, යම් සිතක් බොහෝ කාලයක් විවේකයට නැමුනේද, විවේකයට හැරුණේද, විවෙකයට නැඹුරු වූයේද? එය එසේ ගිහි බවට පැමිණෙන්නේය යන මේ කරුණ විද්‍යමාන නොවේ.

“ඇවැත්නි, මහණතෙමේ කෙසේ නම් සතර සතිපට්ඨානයන් වඩන්නේද, සතර සතිපට්ඨානයන් බහුල කරන්නේද? ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලොභයද ද්වෙෂයද දුරුකොට කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද,

“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලොභයද ද්වෙෂයද දුරුකොට වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කෙරේද,

“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලොභයද ද්වෙෂයද දුරුකොට සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කෙරේද,

“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලොභයද ද්වෙෂයද දුරුකොට ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙරේද,

“ඇවැත්නි, මහණතෙමේ මෙසේ වනාහි සතර සතිපට්ඨානයන් වඩන්නේය. සතර සතිපට්ඨානයන් බහුල වශයෙන් වඩන්නේය” යනුයි.