සංයුත්තනිකායො

මහා වර්ගය

10. ආනාපාන සංයුත්තය

1. එකධම්ම වර්ගය

10. කිම්බිලපඤ්හ සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කිම්බිල නගරයෙහිවූ වෙළුවනයෙහි වාසය කළසේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන්ට කථා කළසේක.

“කිම්බිලය, කෙසේ වඩන ලද්දාවූ, කෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ, ආනාපාන සති සමාධියෙන් මහත්ඵල මහා‘නිසංස ඇත්තේ වේද?” යනුවෙනි.

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් කිම්බිල ස්ථවිරතෙමේ නිහඬ විය. භාග්‍යවතුන් වහන්සේ දෙවනුවත් ආයුෂ්මත් කිම්බිල තෙරුන් ඇමතූසේක.

“කිම්බිලය, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල වශයෙන් වඩනලද්දාවූ ආනාපාන සති සමාධියෙන් මහත්ඵල මහානිසංස ඇත්තේ වේද?” යනුවෙනි. දෙවනුවත් ආයුෂ්මත් කිම්බිල තෙරුන් නිහඬවිය.

“භාග්‍යවතුන්වහන්සේ තුන්වෙනුවත් ආයුෂ්මත් කිම්බිල තෙරුන්ට ඇමතූසේක. “කිම්බිලය, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සති සමාධිය මහත්ඵල මහානිසංස ඇත්තේවේද?” කියායි. ආයුෂ්මත් කිම්බිල ස්ථවිරතෙමේ තුන්වෙනුවත් නිහඬ විය.

මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ මෙය කීය “භාග්‍යවතුන් වහන්සේ ආනාපාන සති සමාධිය දෙශනා කරන්නේ නම්, භාග්‍යවතුන් වහන්ස, මේ ඊට කාලයයි. සුගතයන් වහන්ස මේ ඊට කාලයයි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරාගනිත්.”

“ආනන්දය, එසේනම් අසව, මනාකොට මෙනෙහි කරව, දෙශනා කරන්නෙමියි” වදාළේය.

ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ “එසේය ස්වාමීනියි,’ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

“ආනන්දය, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සති සමාධිය මහත් ඵල මහානිසංස ඇත්තේ වේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙමේ ආරණ්‍යයට ගියේ හෝ ගසක්මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ පර්‍ය්‍යංක බැඳ ශරීරය කෙලින් පිහිටුවාගෙන සිහිය ඉදිරිපත්කොට තබා ගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම ආශ්වාස කරන්නේය. සිහියෙන්ම ප්‍රශ්වාස කරන්නේය. දීර්ඝකොට ආශ්වාස කරන්නේ හෝ දීර්ඝ කොට ආශ්වාස කරන්නෙමි’යි දන්නේය. දීර්ඝකොට ප්‍රශ්වාස කරන්නේ හෝ දීර්ඝකොට ප්‍රශ්වාස කරන්නෙමි’යි දන්නේය. හ්‍රස්ව (ලුහුඬු) කොට ආශ්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ආශ්වාස කරන්නෙමි’යි දන්නේය. හ්‍රස්වකොට ප්‍රශ්වාස කරන්නේ හෝ හ්‍රස්වකොට ප්‍රශ්වාස කරන්නෙමි’යි දන්නේය.

“මුල මැද අග යන සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැනගනිමියි යන අදහසින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැනගනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආශ්වාසප්‍රශ්වාසයන් සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි සුවය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැනගනිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැනගනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටුකරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟකරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟ කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ප්‍රශ්වාස කරමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. නිරොධය දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. නිරොධය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය (හැරදැමීම) දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය (හැරදැමීම) දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ආනන්දය, මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වෙයි.

“ආනන්දය, යම් කලෙක මහණතෙමේ දීර්ඝව ආස්වාස කරන්නේ හෝ දීර්ඝව ආස්වාස කරන්නෙමියි දැනගනීද, දීර්ඝව ප්‍රස්වාස කරන්නේ හෝ දීර්ඝව ප්‍රස්වාස කරන්නෙමියි දැන ගනීද, කෙටිව ආස්වාස කරන්නේ හෝ කෙටිව ආස්වාස කරන්නෙමියි දැනගනියිද කෙටිව ප්‍රස්වාස කරන්නේ හෝ කෙටිව ප්‍රස්වාස කරන්නෙමියි දැනගනියිද, සියලු ආස්වාස කය දැනගනිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයිද, සියලු ප්‍රශ්වාස කය දැනගනිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයිද, කාය සංස්කාරය සංසිඳුවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයිද, කාය සංස්කාරය සංසිඳුවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයිද, ආනන්දය, එකල්හි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලොභය හා ද්වෙෂය හික්මවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරයි. එයට හේතුව කවරේද? ආනන්දය, යම් මේ ආස්වාස ප්‍රස්වාසයක් වේද, එය මම කයින් එක්තරා දෙයකැයි කියමි. ආනන්දය, එසේ හෙයින් මහණතෙමේ එකල්හි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණින් යුක්තවූ සිහි ඇතිව ස්කන්ධ ලොකයෙහි ලොභයද ද්වෙෂයද දුරුකොට කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරයි.

“ආනන්දය, යම්කෙලක මහණතෙමේ ධ්‍යාන ප්‍රීතිය දැනගනිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයිද, ධ්‍යාන ප්‍රීතිය දැනගනිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයිද, සැපය දැන ගනිමින් ආස්වාසකරන්නෙමියි හික්මෙයිද, සැපය දැනගනිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයිද, චිත්ත සංස්කාරයන් දැන ගනිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයිද, චිත්ත සංස්කාරයන් දැනගනිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයිද, චිත්ත සංස්කාරයන් සංසිඳුවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයිද, චිත්ත සංස්කාරයන් සංසිඳුවමින් ප්‍රස්වාසකරන්නෙමියි හික්මෙයිද, ආනන්දය එකල්හි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලොකයෙහි ලොභයද ද්වෙෂයද දුරුකොට වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කරයි. එයට හේතුව කවරේද? ආනන්දය යම් මේ ආස්වාස ප්‍රස්වාසයන්ගේ යහපත්ව මෙනෙහි කිරීමක් වේද? එය මම වේදනා අතුරෙන් එක්තරා වේදනාවක්යයි කියමි. ආනන්දය එසේ හෙයින් මහණ තෙමේ එකල්හි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලොකයෙහි ලොභයද ද්වෙෂයද දුරුකොට වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කෙරෙයි.”

“ආනන්දය, යම් කලක මහණතෙමේ ධ්‍යාන සිත් දැනගනිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයිද, ධ්‍යාන සිත දැනගනිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයිද, සිත සතුටු කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයිද, සිත සතුටු කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයිද, සිත එකඟ කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයිද, සිත එකඟ කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයිද, සිත කෙලෙසුන්ගෙන් මුදවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයිද, සිත කෙලෙසුන්ගෙන් මුදවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයිද, ආනන්දය, එකල්හි මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව ස්කන්ධ ලොකයෙහි ලොභයද ද්වෙෂයද දුරුකොට චිත්තයෙහි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරයි. එයට හේතුව කවරේද?

“ආනන්දය මම මුළාවූ සිහිය ඇත්තහුට නුවණ නැත්තහුට ආනාපාන සති සමාධි නොකියමි. ආනන්දය එසේ හෙයින් මහණතෙමේ එකල්හි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලොකයෙහි ලොභයද ද්වෙෂයද දුරුකොට චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරයි.

“ආනන්දය, යම් කලෙක මහණතෙමේ අනිත්‍යය දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයිද, අනිත්‍යය දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයිද, විරාගය දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයිද, විරාගය දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයිද, නිරොධය දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයිද, නිරොධය දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයිද, පටිනිස්සග්ගය දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයිද, පටිනිස්සග්ගය දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයිද, ආනන්දය ඒ කාලයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලොකයෙහි ලොභයද ද්වෙෂයද දුරුකොට ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරයි. හෙතෙම යම් ඒ ලොභ ද්වෙෂයන්ගේ පහකිරීමක් වේද, එය නුවණින් දැක මනාකොට මැදහත් වන්නේ වෙයි. ආනන්දය එසේ හෙයින් මහණතෙමේ එකල්හි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලොකයෙහි ලොභයද ද්වෙෂයද දුරුකොට ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරයි.

“ආනන්දය, යම්සේ සතරමං සන්ධියක මහා පස් ගොඩක් වේද පෙරදිගින් ගැලක් හෝ රියක් එන්නේද, එයිනුදු ඒ පස්ගොඩ තැලෙන්නේමය. බස්නාහිරින් ගැලක් හෝ රියක් එන්නේද, එයිනුදු ඒ පස්ගොඩ තැලෙන්නේමය. උතුරු දිගින් ගැලක් හෝ රියක් එන්නේද එයිනුදු ඒ පස්ගොඩ තැලෙන්නේමය. දකුණු දිසාවෙන්ද ගැලක් හෝ රියක් එන්නේද, එයිනුදු ඒ පස්ගොඩ තැලෙන්නේය. ආනන්දය එපරිද්දෙන්ම මහණතෙමේ කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරන්නේද, ලාමක අකුසල ධර්මයන් නසන්නේමය. මහණතෙමේ වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කරන්නේද, ලාමක අකුසල ධර්මයන් නසන්නේමය. මහණතෙමේ සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කරන්නේද, ලාමක අකුසල ධර්මයන් නසන්නේමය. මහණ තෙමේ ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරන්නේද, ලාමක අකුසල ධර්මයන් නසන්නේමය.

එකධම්ම වර්ගය නිමි