සංයුත්තනිකායො

මහා වර්ගය

10. ආනාපාන සංයුත්තය

2. දුතිය ඒක ධමම වර්ගය

2. ලොමසවඩ්ගීස සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් ලෝමසවංගීස ස්ථවිරතෙමේ ශාක්‍යරට කිඹුල්වත් පුරයෙහි නිග්‍රොධාරාමයෙහි වාසය කරනසේක. එකල්හි මහානාම සාක්‍යතෙමේ ආයුෂ්මත් ලොමසවංගීස ස්ථවිරයන් යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ලෝමසවංගීස ස්ථවිරයන්ට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ මහානාම සාක්‍යතෙමේ ආයුෂ්මත් ලෝමසවංගීස තෙරුන්ට මෙය කීය.

“ස්වාමීනි, සෙඛ විහරණය, තථාගත විහරණය යනු එකක්මද, නොහොත් සෙඛ විහරණය අනිකක්මද? තථාගත විහරණය අනිකක්ද?” “ඇවැත් මහානාමය, ඒ සෙඛ විහරණය ඒ තථාගත විහරණය නොවන්නේමය. ඇවැත් මහානාමය සෙඛ විහරණය අනිකකි. තථාගත විහරණය අනිකකි. ඇවැත් මහානාමය, යම් මේ රහත් නොවූ ශෛක්ෂ භික්ෂූහු නිරුත්තරවූ නිර්වාණය ප්‍රාර්ථනා කරන්නාහු වෙසෙත්ද ඔවුහු පඤ්චනීවරණයන් පහකරමින් වාසය කරත්.

‘කවර නම් පසෙක්ද? කාමච්ඡන්ද නීවරණය පහකොට වෙසෙත්.

ව්‍යාපාද නීවරණය පහකොට වෙසෙත්. ථීනමිද්ධ නීවරණය පහකොට වෙසෙත්. උද්ධච්චකුක්කුච්ච නීවරණය පහකොට වෙසෙත්. විචිකිච්ඡා නීවරණය පහකොට වෙසෙත් ඇවැත් මහානාමය, යම් ඒ රහත් නොවූ ශෛක්ෂ භික්ෂූහුද, අනුත්තරවූ නිර්වාණය ප්‍රාර්ථනා කරමින් වාසය කරත්ද, ඔවුහු මේ පඤ්ච නීවරණයන් පහකරමින් වාසය කරත්.

“ඇවැත් මහානාමය, අර්හත්වූ ක්ෂය කල ආශ්‍රවයන් ඇති බඹසර වැස නිමවූ කරන ලද කටයුතු ඇති, බහා තැබූ කෙලෙස් බර ඇති තමාගේ අර්ථයට පැමිණියාවූ නැති කල සසර බැඳුම් ඇති, මනාකොට දැන මිදුනාවූ යම් ඒ භික්ෂූහු වෙත්ද ඔවුන්ගේ පඤ්ච නීවරණයෝ පහවූහ. සිඳින ලද මුල් ඇත්තාහ. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහ. විනාශ කරන ලදහ. නැවත නූපදින බවට පත්කරන ලදහ.

කවර පසෙක්ද? කාමච්ඡන්ද නීවරණය පහවිය. සිඳලු මුල් ඇත්තේය. සිඳිනලද තල් ගසක්මෙන් කරන ලදී. විනාශ කරන ලදී. නැවත නූපදින බවට පත්කරන ලදී.

“ව්‍යාපාද නීවරණය පහවිය. සිඳලු මුල් ඇත්තේය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලදී. විනාශ කරන ලදී. නැවත නූපදින බවට පත් කරන ලදී.

“ථීනමිද්ධ නීවරණය පහවිය. සිඳලු මුල් ඇත්තේය. සිඳින ලද තල්ගසක් මෙන් කරන ලදී. විනාශ කරන ලදී. නැවත නූපදින බවට පත් කරන ලදී.

“උද්ධච්චකුක්කුච්ච නීවරණය පහවිය. සිඳලු මුල් ඇත්තේය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලදී. විනාශ කරන ලදී නැවත නූපදින බවට පත්කරන ලදී.

“විචිකිච්ඡා නීවරණය පහවිය. සිඳන ලද මුල් ඇත්තේය. සිඳලු තල් ගසක් මෙන් කරන ලදී. විනාශ කරන ලදී. නැවත නූපදින බවට පත් කරන ලදී.

“ඇවැත් මහානාමය, යම් මේ භික්ෂූහු නැති කල ආශ්‍රවයන් ඇත්තාවූ බඹසර වැස නිමවූ කරන ලද කටයුතු ඇත්තාවූ බහා තැබූ කෙලෙස් බර ඇත්තාවූ තමාගේ අර්ථයට පැමිණියාවූ නැති කල භව බැඳුම් ඇත්තාවූ මනාකොට දැන මිදුණාවූ රහත්හු වෙත්ද, ඔවුන්ගේ මේ පඤ්චනීවරණයෝ ප්‍රහීණවූවාහුය. සිඳලු මුල් ඇත්තාහුය. සිඳිනලද තල් ගසක් මෙන් කරන ලද්දාහුය. විනාශ කරන ලදහ. නැවත නූපදින ස්වභාවයට පමුණුවන ලදහ. ඇවැත් මහානාමය යම්සේ අනික් විහරණයක් සෙඛ විහරණය වන්නේද අනික් විහරණයක් තථාගත විහරණය වන්නේද එය මේ අකාරයෙන් දත යුතුය.

“ඇවැත් මහානාමය, එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ඉච්ඡානංගල ජනපදයෙහි ඉච්ඡානංගල වන ලැහැබෙහි වාසය කළසේක. ඇවැත්නි, එහිදී වනාහි භාග්‍යවතුන්වහන්සේ භික්ෂූන්ට අමතා මෙසේ වදාළසේක.

“මහණෙනි, මම තෙමසක් විවේකව විසීමට කැමැත්තෙමි. පිණ්ඩපාතය ගෙනෙන එක් භික්ෂුවක් හැර කිසිවෙක් නොඑළඹිය යුතුය යනුයි, ඇවැත්නි, ඒ භික්ෂූහු ‘එසේය ස්වාමීනියි’ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී එක් පිණ්ඩපාතය ගෙන යන එක් භික්ෂුවක් හැර කිසිවෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත නොඑළඹියේය.

“ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ තුන් මාසය ඇවෑමෙන් විවේකයෙන් නැඟී සිටිසේක් භික්ෂූන් ඇමතූසේක ‘මහණෙනි, ඉදින් අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ තොපගෙන් මෙසේ අසන්නාහු වෙත්ද, ‘ඇවැත්නි, ශ්‍රමණ ගෞතමතෙම කිනම් විහරණයකින් බහුලව වස්විසුවේද?’ කියායි. මහණෙනි, මෙසේ විචාරණ ලද්දාවූ තොපි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්හට මෙසේ ප්‍රකාශ කරව්. (කියව්). ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ ආනාපාන සති සමාධියෙන් බහුලව වස්විසූසේක.’ කියායි.

“මහණෙනි, මම මෙහිදී සිහියෙන් ආශ්වාස කරමි. සිහියෙන් ප්‍රස්වාස කරමි. දීර්ඝව හෝ ආස්වාස කරන්නේ දීර්ඝව ආස්වාස කරන්නෙමියි දනිමි. දීර්ඝව හෝ ප්‍රස්වාස කරන්නේ දීර්ඝව ප්‍රස්වාස කරන්නෙමියි දනිමි. හ්‍රස්ව (ලුහුඬු) කොට ආශ්වාස කරන්නේ හෝ හ්‍රස්වකොට ආශ්වාස කරන්නෙමියි දන්නේය. හ්‍රස්වකොට ප්‍රස්වාස කරන්නේ හෝ භ්‍රස්වකොට ප්‍රශ්වාස කරන්නෙමියි දන්නේය.

“මුල මැද අග යන සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැනගනිමියි යන අදහසින් ආශ්වාස කරන්නෙමියි හික්මෙන්නේය.

“සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැනගනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැනගනිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැනගනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ආශ්වාසකරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟකරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟ කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. නිරෝධය දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. නිරෝධය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි පටිනිස්සග්ගය (හැරදැමීම) දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි.

“මහණෙනි, යම් ඒ දෙයක් වනාහි මනාකොට කියනු ලබන්නේ ආර්‍ය්‍ය විහාරයයි කියාත්, බ්‍රහ්ම විහාරයයි කියාත්, තථාගත විහාරයයි කියාත් කියන්නේවේද. ආනාපාන සති සමාධිය වනාහි මනාකොට කියනු ලබන්නේ ආර්‍ය්‍ය විහාරයයි කියාත්, බ්‍රහ්ම විහාරයයි කියාත්, තථාගත විහාරයයි කියාත් කියන්නේ වෙයි

“මහණෙනි, යම් ඒ භික්ෂූහු හික්මෙන්නාහු, නොපැමිණි රහත් බැව් ඇත්තාහු, අති උතුම්වූ නිර්වාණය ප්‍රාර්ථනා කරන්නාහු වාසය කෙරෙද්ද, වඩන ලද්දාවූ, පුරුදු කරන ලද්දාවූ ඒ භික්ෂූන්ගේ ආනාපාන සති සමාධි භාවනාව ආශ්‍රවයන් ක්ෂයකිරීම පිණිස පවතියි.

“මහණෙනි, අර්හත්වූ ආශ්‍රවයන් ක්ෂය කළාවූ බ්‍රහ්ම චරියාවෙහි හැසිර නිමවන ලද්දාවූ කොට අවසන් කරන ලද කටයුතු ඇත්තාවූ බහා තබන ලද බර ඇත්තාවූ, නිවනට පැමිණෙන ලද්දාවූ, ක්ෂය කරන ලද භව බැඳුම් ඇත්තාවූ මනාකොට දැන මිදුනාවූ යම් ඒ භික්ෂූහු වෙත්ද, වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ, ඒ භික්ෂූන්ගේ ආනාපාන සති සමාධි භාවනාව වනාහි මේ ආත්මයේදීම සුඛ විහාරණය පිණිසද සතිසම්පජඤ්ඤය පිණිසද පවතියි.

“මහණෙනි, යම් ඒ දෙයක් වනාහි මනාකොට කියනු ලබන්නේ ආර්‍ය්‍ය විහාරයයි කියාත්, බ්‍රහ්ම විහාරයයි කියාත්, තථාගත විහාරයයි කියාත් කියන්නේ වේද, ආනාපාන සති සමාධිය වනාහි මනාකොට කියනු ලබන්නේ ආර්‍ය්‍ය විහාරයයි කියාත් බ්‍රහ්ම විහාරයයි කියාත්, තථාගත විහාරයයි කියාත් කියන්නේ වෙයි. ඇවැත් මහානාමය, මේ ක්‍රමයෙන් වනාහි ‘සෙඛ’ විහාරය අනිකකි. තථාගත විහාරය අනිකකියි කියා දත යුත්තේය.”