සංයුත්තනිකායො

මහා වර්ගය

10. ආනාපාන සංයුත්තය

2. දුතිය ඒක ධමම වර්ගය

3. පඨම ආනන්ද එකධම්ම සූත්‍රය

[1] මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පැත්තක උන්හ. එක් පැත්තක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.

[2] “ස්වාමීනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ එක් ධර්මයක් ධර්ම සතරක් සම්පූර්ණ කෙරේද? වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ ධර්ම සතරක්, ධර්ම සතක් සම්පූර්ණ කෙරෙත්ද? වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ ධර්ම සතක්, ධර්ම දෙකක් සම්පූර්ණකෙරෙත්ද (එබඳුවූ ධර්මයක්) ඇත්තේද?”

“ආනන්දය, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ එක් ධර්මයක් ධර්ම සතරක් සම්පූර්ණ කෙරේද? වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ ධර්ම සතරක් ධර්ම සතක් සම්පූර්ණ කෙරෙත්ද? වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ ධර්ම සතක් ධර්ම දෙකක් සම්පූර්ණ කෙරෙත්ද? (එබඳුවූ ධර්මයක්) ඇත්තේය.”

[3] “ස්වාමීනි, එක් ධර්මයක් වඩන ලද්දාවූ බහුල කරන ලද්දේ ධර්ම සතරක් සම්පූර්ණ කෙරේද? ධර්ම සතරක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු ධර්ම සතක් සම්පූර්ණ කෙරෙත්ද? ධර්ම සතක් වඩන ලද්දාවූ බහුල කරන ලද්දාහු ධර්ම දෙකක් සම්පූර්ණ කෙරෙත්ද? (එබඳුවූ ධර්මය) කවරේද?”

[4] “ආනන්දය, එකම ආනාපාන සතිසමාධිය වනාහි වඩන ලද්දේ බහුල කරන ලද්දේ සතර සතිපට්ඨාන ධර්මයන් සම්පූර්ණ කෙරෙයි. සතර සතිපට්ඨාන ධර්මයෝ වඩන ලද්දාහු, බහුල කරන ලද්දාහු සත්තබොජ්ඣංගයන් සම්පූර්ණ කෙරෙත්. සත්ත බොජ්ඣංගයෝ වඩන ලද්දාහු, බහුල කරන ලද්දාහු අර්හත්මාර්ගය හා ඵලය සම්පූර්ණ කෙරෙත්.

[5] “ආනන්දය, කෙසේ වඩනලද්දාවූ, කෙසේ බහුල කරන ලද්දාවූ ආනාපාන සතිසමාධිය සතර සතිපට්ඨානයන් සම්පූර්ණ කෙරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම ආරණ්‍යයට ගියේ හෝ රුක් මුලට ගියේ හෝ සූන්‍යාගාරයට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ පර්‍ය්‍යංක බැඳ ශරීරය කෙලින් පිහිටුවාගෙන සිහිය ඉදිරිපත් කොට තබාගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම ආශ්වාස කරන්නේය. සිහියෙන්ම ප්‍රස්වාස කරන්නේය. දීර්ඝකොට ආස්වාස කරන්නේ හෝ දීර්ඝකොට ආස්වාස කරන්නෙමියි දන්නේය. දීර්ඝ කොට ප්‍රස්වාස කරන්නේ හෝ දීර්ඝකොට ප්‍රස්වාස කරන්නෙමි’යි දන්නේය. හ්‍රස්ව (ලුහුඬු) කොට ආස්වාස කරන්නේ හෝ භ්‍රස්ව කොට ආස්වාස කරන්නෙමියි දන්නේය. හ්‍රස්වකොට ප්‍රස්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ප්‍රස්වාස කරන්නෙමියි දන්නේය.

“මුල මැද අග යන සියලු ආස්වාස ප්‍රස්වාස කය දැන ගනිමියි යන අදහසින් ආස්වාස කරන්නෙමියි හික්මෙන්නේය. සියලු ආස්වාස ප්‍රස්වාස කය දැනගනිමින් ප්‍රස්වාසකරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආස්වාස ප්‍රස්වාසයන් සංසිඳුවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආස්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකටකරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකටකරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි චිත්තසංස්කාරය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්තසංස්කාරය සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැනගනිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැනගනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟ කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟකරමින් ප්‍රශ්වාසකරන්නෙමියි හික්මෙයි සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි අනිත්‍ය දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. නිරොධය දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. නිරොධය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය (හැරදැමීම) දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි.

[6] “ආනන්දය, යම් කලෙක්හි මහණතෙම වනාහි දීර්ඝව ආශ්වාස කරන්නේ, දීර්ඝව ආශ්වාස කරන්නෙමියි, දනියි. දීර්ඝව ප්‍රශ්වාස කරන්නේ දීර්ඝව ප්‍රශ්වාස කරන්නෙමියි දනියි. හ්‍රස්ව (ලුහුඬු) කොට ආශ්වාස කරන්නේ හෝ හ්‍රස්වකොට ආශ්වාස කරන්නෙමියි දන්නේය. හ්‍රස්වකොට ප්‍රශ්වාස කරන්නේ හෝ හ්‍රස්වකොට ප්‍රශ්වාස කරන්නෙමියි දන්නේය.

“මුල මැද අග යන සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැනගනිමියි යන අදහසින් ආශ්වාස කරන්නෙමියි හික්මෙන්නේය.

සියලු ආස්වාස ප්‍රස්වාස කය දැනගනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි.

[7] “ආනන්දය, එකල්හි කෙලෙස්තවන වීර්‍ය්‍යය ඇත්තාවූ, නුවණින් යුක්තවූ සිහියෙන් යුක්තවූ භික්ෂුව ස්කන්ධ ලෝකයෙහි ලොභය හා ද්වෙෂය දුරුකොට කයෙහි කය නැවත නැවත බලමින් වාසයකෙරෙයි. ඊට හේතු කවරේද? ආනන්දය, මම මේ ආස්වාසය ප්‍රස්වාසය එක්තරා කයක්යයි කියමි. ආනන්දය, එහෙයින් මහණතෙම එකල්හි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, නුවණින් යුක්තවූයේ සිහි ඇත්තේ ස්කන්ධ ලොකයෙහි ලොභය සහ ද්වෙෂය දුරුකොට කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරෙයි.

[8] “ආනන්දය, යම් කලෙක මහණතෙම ප්‍රීතිය ප්‍රකට කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි.

“චිත්තසංස්කාරය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි.

“ආනන්දය එකල්හි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, නුවණින් යුක්තවූයේ සිහි ඇත්තේ ස්කන්ධලෝකයෙහි ලොභය සහ ද්වෙෂය දුරුකොට වෙදනාවන්හි වෙදනා නැවත නැවත බලමින් වාසය කෙරෙයි. ඊට හේතු කවරේද? ආනන්දය, මම මේ ආස්වාස ප්‍රස්වාසයන් මනාකොට මෙනෙහි කිරීම එක්තරා වෙදනාවක්යයි කියමි. ආනන්දය, එහෙයින් මහණතෙම එකල්හි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, නුවණින් යුක්තවූයේ සිහි ඇත්තේ ස්කන්ධ ලෝකයෙහි ලොභය සහ ද්වෙෂය දුරුකොට වෙදනාවන්හි වෙදනා නැවත නැවත බලමින් වාසය කෙරෙයි.

[9] “ආනන්දය, යම් කලක මහණතෙම ධ්‍යාන සිත දැන ගනිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයිද, ධ්‍යාන සිත සංසිඳුවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයිද,

“සිත අතිශයින් සතුටු කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයිද, සිත සංසිඳුවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයිද,

අරමුණෙහි සිත පිහිටුවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයිද,

(නීවරණයන් කෙරෙන්) සිත මුදමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයිද, ආනන්දය, මහණතෙම එකල්හි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, නුවණින් යුක්තවූයේ, සිහි ඇත්තේ ස්කන්ධ ලෝකයෙහි ලෝභය සහ ද්වෙෂය දුරුකොට චිත්තයෙහි චිත්තය නැවත නැවත බලමින් වාසය කෙරෙයි. ඊට හේතු කවරේද? ආනන්දය, මම සිහි මුළාවූ නුවණ නැත්තාට ආනාපාන සතිසමාධි භාවනාව නොවදාරමි.

[10] “ආනන්දය, එහෙයින් මෙහි මහණතෙම එකල්හි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, නුවණින් යුක්තවූයේ සිහි ඇත්තේ ස්කන්ධ ලොකයෙහි ලෝභය සහ ද්වෙෂය දුරුකොට චිත්තයන්හි චිත්තය නැවත නැවත බලමින් වාසය කෙරෙයි.

[11] “ආනන්දය, යම් කලෙක මහණතෙම අනිත්‍යය දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍යය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය සිත සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය සිත සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. විරාගය දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. විරාගය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. විරාගය සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි විරාගය සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. නිරොධය දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. නිරොධය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ආනන්දය, මහණතෙම එකල්හි කෙලෙස්තවන වීර්‍ය්‍යය ඇත්තේ, නුවණින් යුක්තවූයේ සිහි ඇත්තේ ස්කන්ධ ලොකයෙහි ලොභය සහ ද්වෙෂය දුරුකොට ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙරෙයි. හෙතෙම ඒ ලොභ ද්වෙෂයන්ගේ යම් පහකිරීමක් වේද එය නුවණින් බල බලා මනාකොට මැදහත් වූයේ වෙයි.

[12] “ආනන්දය, එහෙයින් මෙහි මහණතෙම එකල්හි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ නුවණින් යුක්තවූයේ සිහි ඇත්තේ ස්කන්ධ ලෝකයෙහි ලොභය සහ ද්වෙෂය දුරු කොට ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙරෙයි. ආනන්දය, මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල කරන ලද්දාවූ ආනාපාන සතිසමාධිය වනාහි සතර සතිපට්ඨානයන් සම්පූර්ණ කෙරෙයි.

[13] “ආනන්දය, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල කරන ලද්දාවූ සතර සතිපට්ඨානයෝ සත්ත බොජ්ඣංගයන් සම්පූර්ණ කෙරෙත්ද? ආනන්දය, යම් කලක මහණතෙම කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද, එකල්හි ඒ මහණහුගේ සිහිය එළඹ සිටියේ වෙයි. මුළානොවූයේ වෙයි. ආනන්දය, යම් කලක මහණහුගේ සිහිය එළඹ සිටියේ වේද, මුළානොවූයේ වේද, එකල්හි භික්ෂුව විසින් සති සම්බොජ්ඣංගය සම්පූර්ණ කරන ලද්දේ වෙයි. එකල්හි මහණතෙම සති සම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ සතිසම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ වීමට පැමිණෙයි. එසේ සිහියෙන් වාසය කරන්නාවූ ඒ මහණතෙම ඒ ධර්මය නුවණින් සොයයි. හැසිරෙයි. විමසීමට පැමිණෙයි.

[14] “ආනන්දය, යම් කලෙක එසේ සිහියෙන් වාසය කරන්නාවූ මහණතෙම ඒ ධර්මය නුවණින් සොයාද, හැසිරේද විමසීමට පැමිණේද එකල්හි මහණහු විසින් ධම්මවිචය සම්බොජ්ඣංගය සම්පූර්ණ කරනලද්දේ වෙයි. එකල්හි මහණ තෙම ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. ඒ ධර්මය නුවණින් සොයන්නාවූ, හැසිරෙන්නාවූ විමසීමට පැමිණෙන්නාවූ ඒ මහණහුගේ වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේ වෙයි. පසුබට නොවූයේ වෙයි.

[15] ආනන්දය, යම් කලක ඒ ධර්මය නුවණින් සොයන්නාවූ හැසිරෙන්නාවූ විමසීමට පැමිණෙන්නාවූ මහණහුගේ වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේ වේද, පසුබට නොවූයේ වේද එකල්හි මහණහු විසින් විරිය සම්බොජ්ඣංගය සම්පූර්ණ කරන ලද්දේ වෙයි. එකල්හි මහණතෙම විරිය සම්බොජ්ඣංගය වඩයි

[16] “ආනන්දය, යම් කලක ඒ ධර්මය නුවණින් සොයන්නාවූ, හැසිරෙන්නාවූ, විමසීමට පැමිණෙන්නාවූ මහණහුගේ වීර්‍ය්‍යය පටන් ගන්නා ලද්දේ වේද, පසුබට නොවූයේ වේද, එකල්හි මහණහු විසින් විරිය සම්බොජ්ඣංගය සම්පූර්ණ කරන ලද්දේ වෙයි. එකල්හි මහණතෙම විරිය සම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ විරියසම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇති මහණහට නිරාමිස (නික්ලෙශ) ප්‍රීතිය උපදියි. එකල්හි මහණහු විසින් පීති සම්බොජ්ඣංගය සම්පූර්ණ කරන ලද්දේ වෙයි. එකල්හි මහණතෙම පීති සම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ පීති සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. ප්‍රීති සිත් ඇත්තාහුගේ කයද සංසිඳෙයි. සිතද සංසිඳෙයි.

“ආනන්දය, යම් කලක ප්‍රීති සිත් ඇති මහණහුගේ කයද සංසිඳෙයිද සිතද සංසිඳෙයිද එකල්හි මහණහු විසින් පස්සද්ධි සම්බොජ්ඣංගය සම්පූර්ණ කරන ලද්දේ වෙයි. එකල්හි මහණතෙම පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. සංසිඳුණු කය ඇතිව සැපවත්වූවහුගේ සිත සමාධි ගතවේ. (එකඟවේ.)

“ආනන්දය, යම් කලක සංසිඳුණු කය ඇතිව සැපවත්වූ මහණහුගේ සිත සමාධිගතවේද, එකල්හි මහණහු, විසින් සමාධි සම්බොජ්ඣංගය සම්පූර්ණ කරන ලද්දේ වෙයි. එකල්හි මහණතෙම සමාධි සම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ සමාධි සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. ඒ මහණතෙම එසේ එකඟවූ සිත මනාකොට මැදහත්ව බලන්නේවෙයි.

[17] “ආනන්දය, යම් කලක මහණතෙම එසේ එකඟවූ, සිත මැදහත්ව බලන්නේවේද, එකල්හි මහණහු විසින් උපෙක්ඛා සම්බොජ්ඣංගය සම්පූර්ණ කරන ලද්දේවෙයි. එකල්හි මහණ තෙම උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ උපෙක්ඛා සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි.

[18] “ආනන්දය, යම් කලෙක මහණතෙම වීර්‍ය්‍යයෙන් යුක්තව යහපත් නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලොකයෙහි ලොභ ද්වෙෂයන් දුරුකොට කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරයිද කයෙහි කය නැවත නැවත, බලමින් වාසය කරන්නාවූ ඔහුගේ සිත සමාධියට පැමිණෙයි. ක්ලෙශයෝ පහවෙත්. හෙතෙමේ ඒ නිමිත්ත උගනියි.

“වීර්‍ය්‍යයෙන් යුක්තව යහපත් නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලොකයෙහි ලොභ ද්වෙෂයන් දුරුකොට වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කරයිද, වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කරන්නාවූ ඔහුගේ සිත සමාධියට පැමිණෙයි. ක්ලෙශයෝ පහවෙත්. හෙතෙම ඒ නිමිත්ත උගනියි.

“වීර්‍ය්‍යයෙන් යුක්තව යහපත් නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලොකයෙහි ලොභ ද්වෙෂයන් දුරුකොට සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කරයිද, සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කරන්නාවූ ඔහුගේ සිත සමාධියට පැමිණෙයි. ක්ලෙශයෝ පහවෙත්. හෙතෙම ඒ නිමිත්ත උගනියි.

“වීර්‍ය්‍යයෙන් යුක්තව යහපත් නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලොකයෙහි ලොභ ද්වෙෂයන් දුරුකොට ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරයිද, ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරන්නාවූ ඔහුගේ සිත සමාධියට පැමිණෙයි. ක්ලෙශයෝ පහවෙත්. හෙතෙම ඒ නිමිත්ත උගනියි.

“ආනන්දය, මෙසේ වඩන ලද්දාවූ, මෙසේ බහුල කරන ලද්දාවූ සතර සතිපට්ඨානයෝ වනාහි සත්තබොජ්ඣංගයන් සම්පූර්ණ කෙරෙත්.

[19] “ආනන්දය, කෙසේ වඩන ලද්දාවූ, කෙසේ බහුල කරන ලද්දාවූ සත්ත බොජ්ඣංගයෝ (අර්හත් මාර්ගය හා ඵලය) විජ්ජාවිමුත්තිය සම්පූර්ණ කෙරෙද්ද? ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ නිවනට නැමුණාවූ සති සම්බොජ්ඣංගය වඩාද,

“මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසරුකළාවූ නිවනට නැමුණාවූ ධම්ම විචය සම්බොජ්ඣංගය වඩාද,

“මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ නිවනට නැමුණාවූ විරිය සම්බොජ්ඣංගය වඩාද,

“මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ නිවනට නැමුණාවූ පීති සම්බොජ්ඣංගය වඩාද,

“මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ නිවනට නැමුණාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩාද,

“මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ නිවනට නැමුණාවූ සමාධි සම්බොජ්ඣංගය වඩාද,

‘මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ නිවනට නැමුණාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩාද,

“ආනන්දය, මෙසේ වඩන ලද්දාවූ, මෙසේ බහුල කරන ලද්දාවූ සත්තබොජ්ඣගයෝ විජ්ජාවිමුත්තිය (අර්හත් මාර්ගය හා ඵලය) සම්පූර්ණ කරත්.