සංයුත්තනිකායො

මහා වර්ගය

11. සොතාපත්ති සංයුත්තය

1. වේළුද්වාර වර්ගය

1. චක්කවත්තිරාජ සූත්‍රය

[1] මා විසින් මෙසේ අසනලදී. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේ පිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ස්වාමීනියි’ කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.

[2] “මහණෙනි, හුදෙක් සක්විති රජතෙම සතර මහාද්වීපයට අධිපති වූ, රාජ්‍යය කරවා කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ගලෝකයෙහි උපදියිද, තව්තිසා දෙවියන් හා එක්වීමට පැමිණෙයිද ඒ සක්විති රජතෙම ඒ දෙව්ලොවදී දෙවඟනන් විසින් පිරිවරන ලද්දේ දිව්‍යමය වූ පඤ්චකාම ගුණයෙන් සම්පූර්ණවූයේ යුක්තවූයේ ඉන්ද්‍රියයන් පිනවයිද එහෙත් හෙතෙම ධර්ම සතරකින් යුක්තවූයේ නොවෙයි, එහෙයින් ඒ සක්විති රජ තෙම වනාහි නිරයෙන් නො මිදුනේම වෙයි. තිරිසන් යෝනියෙන් නො මිදුණේම වෙයි. ප්‍රෙත විෂයෙන් නොමිදුණේම වෙයි. නපුරු ගති ඇති, විසම වැටීම් ඇති අපායෙන් නො මිදුණේ වෙයි.

[3] ‘මහණෙනි, හුදෙක් ආර්‍ය්‍යශ්‍රාවකතෙම පිණ්ඩපාතයෙන් යැපෙයිද, කඩරෙදි දරයිද, එහෙත් හෙතෙම ධර්ම සතරකින් යුක්තවූයේ වෙයි, එහෙයින් ඒ ආර්‍ය්‍යශ්‍රාවකතෙම වනාහි නිරයෙන් මිදුණේ වෙයි. තිරිසන් යෝනියෙන් මිදුණේ වෙයි. ප්‍රේත විෂයෙන් මිදුණේ වෙයි. නපුරු ගති ඇති, විසමවූ වැටීම් ඇති අපායෙන් මිදුණේ වෙයි.

[4] “කවර සතරකින්ද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම, ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේත් අර්හත් වෙන සේක, සම්‍යක් සම්බුද්ධ වනසේක, විජ්ජාචරණ සම්පන්න වනසේක. සුගත වනසේක, ලෝකවිදූ වනසේක. අනුත්තර පුරිසදම්මසාරථි වනසේක. දෙවි මිනිසුන්ගේ ශාස්තෲ වනසේක. චතුස්සත්‍යය අවබොධ කළසේක. භාග්‍යවත් වනසේකැයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද,

[5] “ධර්මය තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දෙශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය. කල්නොයවා විපාක දෙන්නේය. එව බලවයි පෙන්වියහැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩියයුතු ගුණයෙන් යුක්තවූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දතයුත්තේයයි මෙසේ ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද,

[6] “භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්‍රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය. ගරුබුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිස යුගසතරක් වෙත්ද, පුද්ගලයන් අටදෙනෙක් වෙත්ද මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙළකළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. තුටු පඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූ සේක. ඇඳිළිකිරීමට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පින් කෙතය. මෙසේ සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද,

[7] “නොකැඩුනාවූ, සිදුරු නොවූ, කබර නොවූ කැළල් නොවූ නිදහස්වූ නුවණ ඇත්තන් විසින් ප්‍රසංසා කරන ලද්දාවූ, තෘෂ්ණා දෘෂ්ටීන් විසින් පරාමර්ශනය නොකරන ලද්දාවූ සමාධිය පිණිස පවතින්නාවූ ආර්‍ය්‍යයන් කැමති ශීලයෙන් යුක්තවූයේ වෙයිද,

[8] “මහණෙනි, යම් සතරමහා දිවයින ලැබීමක් වේද, යම් ධර්ම සතරක් ලැබීමක් වේද, ඒ සතර මහා දිවයින ලැබීම මේ ධර්මසත ධර්මයන්ගේ ලැබීමෙන් සොළොස් කලාවෙන් කලාවකුදු නොවටීයයි” වදාළේය.