සංයුත්තනිකායො
මහා වර්ගය
11. සොතාපත්ති සංයුත්තය
2. රාජකාරාම වර්ගය
1. සහස්ස භික්ඛුනී සූත්‍රය
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ රාජකාරාමයෙහි වාසය කරනසේක. ඉක්බිති සහස්ස නම් භික්ඛුනී සමූහයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක සිටියේය. එක්පසෙක සිටියාවූ ඒ භික්ඛුනීන්හට භාග්‍යවතුන් වහන්සේ මෙය දෙශනා කළසේක.
[2] “මෙහෙණෙනි, ධර්ම සතරකින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත් බවට නියතවූ මතු මාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙක් වන්නේය. කවර සතරකින්ද? මෙහෙණනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙම, ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේත් අර්හත් වනසේක. සම්‍යක් සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තර පුරිසදම්ම සාරථි වන සේක. දෙව් මිනිසුන්ගේ ශාස්තෲ වනසේක. චතුස්සත්‍යය අවබොධ කළසේක. භාග්‍යවත්සේකැයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයිද,
“ධර්මය තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දෙශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය. කල් නොයවා විපාක දෙන්නේය. එව, බලවයි පෙන්වියහැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්තවූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දතයුත්තේයයි මෙසේ ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයිද,
“භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්‍රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය ගරුබුහුමනට යොග්‍යව පිළිපන්නේය යම් මේ පුරුස යුග සතරක් වෙත්ද පුද්ගලයන් අටදෙනෙක් වෙත්ද මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. තුටු පඬුරු පිණිස පිළියෙළ කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසුවූසේක. ඇඳිලි කර්මයට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පිං කෙතය මෙසේ සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේද,
නොකැඩුනාවූ, සිදුරු නොවූ, කබර නොවූ කැළල් නොවූ නිදොස්වූ නුවණ ඇත්තන් විසින් ප්‍රශංසා කරන ලද්දාවූ, තෘෂ්ණා දෘෂ්ටීන් විසින් පරාමර්ෂණය නොකරන ලද්දාවූ සමාධිය පිණිස පවතින්නාවූ ආර්‍ය්‍යයන් කැමති සීලයෙන් යුක්තවූයේ වෙයිද,
[3] “මෙහෙණනි, මේ ධර්ම සතරින් යුක්තවූ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත් බවට නියතවූ මතුමාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙක් වන්නේයයි” වදාළේය.