සංයුත්තනිකායො

මහා වර්ගය

11. සොතාපත්ති සංයුත්තය

2. රාජකාරාම වර්ගය

2. උදය ගාමිනි සූත්‍රය

(මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1 වෙනි ඡෙදය මෙනි.)

මහණෙනි, බ්‍රාහ්මණයෝ “උදයගාමිණී” නම් ප්‍රතිපදාවක් පණවත්. ඔවුහු ශ්‍රාවකයන් මෙසේ සමාදන් කරවත්. (කෙසේද?) පින්වත් පුරුෂය, නුඹ මෙහි එව. උදෙන්ම නැගිට පෙරදිගට මුහුණලා යව. ඒ නුඹ මඩ වගුරද ප්‍රපාතයද කණුද කටුවලින් ගැවසී තැනද ගවරවලද කුණුවලද අත් නොහරුව. යම් තැනක වැටෙන්නෙහිද, එහිදීම මරණයට පැමිණෙව. පින්වත් පුරුෂය, මෙසේ වනාහි නුඹ කය බිඳීමෙන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ගලොකයෙහි උපදින්නේය’ කියායි.

“මහණෙනි, මෙය වනාහි ඒ බමුණන්ගේ අඥාන ගමනකි. මෝඩගමනකි. (එය) කලකිරීම පිණිස, විරාගය පිණිස නිරොධය පිණස, සංසිඳීම පිණිස, දැනගැනීම පිණිස අවබොධ කිරීම පිණිස නො පවතියි.

“මහණෙනි, මමද ආර්‍ය්‍ය විනයෙහි උදය ගාමිනී ප්‍රතිපදාවක් පනවමි. එය ඒකාන්තයෙන් කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරොධය පිණිස, සංසිඳීම පිණිස, දැනගැනීම පිණිස, අවබොධ කිරීම පිණිස පවතියි.

මහණෙනි, එය ඒකාන්තයෙන් කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරොධය පිණිස, සංසිඳීම පිණිස, දැනගැනීම පිණිස අවබොධ කිරීම පිණිස පවතින්නාවූ උදයගාමිණී පටිපදාව කවරීද?

“මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේත් අර්හත් වන සේක. සම්‍යක් සම්බුද්ධ වනසේක. විද්‍යාචරණසම්පන්න වනසේක. සුගත වනසේක. ලෝකවිදූ වනසේක. අනුත්තර පුරිසදම්මසාරථි වන සේක. දෙව් මිනිසුන්ගේ ශාස්තෲ වනසේක, චතුස්සත්‍යය අවබොධ කළසේක. භාග්‍යවත්සේකැයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද,

“ධර්මයතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දෙශනාකරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය. කල්නොයවා දෙන විපාක දෙන්නේය. එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්තවූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දතයුත්තේයයි මෙසේ ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද,

“භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්‍රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය නිවනට සුදුසුව පිළිපන්නේය. ගරුබුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද පුද්ගලයන් අට දෙනෙක් වෙත්ද මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. තුටු පඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. කම්ඵල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසුවූ සේක. ඇඳිලි කර්මයට (වැඳීමට) සුදුසුවූයේය. ලෝකයාගේ උතුම් පිංකෙතය. මෙසේ සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේද,

“නොකැඩුනාවූ, සිදුරුනොවූ, කබරනොවූ, කැළල්නොවූ නිදොස්වූ, නුවණ ඇත්තන් විසින් ප්‍රශංසා කරන ලද්දාවූ, තෘෂ්ණා දෘෂ්ටීන් පරාමර්ෂණය නොකරන ලද්දාවූ සමාධිය පිණිස පවත්නාවූ ආර්‍ය්‍යයන් කැමැති ශීලයෙන් යුක්ත වූයේ වෙයිද,

“මහණෙනි, මේ වනාහි ඒකාන්තයෙන් කලකිරීම පිණිස, විරාගය පිණිස නිරොධය පිණිස. සංසිඳීම පිණිස, දැනගැනීම පිණිස, අවබොධකිරීම පිණිස, නිවන පිණිස පවතියි.