සංයුත්තනිකායො

මහා වර්ගය

11. සොතාපත්ති සංයුත්තය

2. රාජකාරාම වර්ගය

3. ආනන්ද සොතාපත්තියංග සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිර තෙමේද, ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේද සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කෙරෙත්. ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිර තෙම සවස් කාලයෙහි විවේකයෙන් නැඟීසිටියේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් හා සමග සතුටුවිය. සතුටුවිය යුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිර තෙමේ වනාහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙය කීයේය.

“ඇවැත් ආනන්දය, කෙතෙක් ධර්මයන් නැතිකිරීම කෙතෙක් ධර්මයන්ගෙන් යුක්තවීම හෙතුකොටගෙන මෙසේ මේ ප්‍රජාව අපායෙහි වැටීමක් නැති රහත් බවට නියතවූ මතු මාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් බවට පැමිණියායි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේද?”

“ඇවැත්නි, ධර්ම සතරක් නැතිකිරීමත් ධර්ම සතරකින් යුක්තවීමත් හෙතුකොටගෙන මෙසේ මේ ප්‍රජාව අපායෙහි වැටීමක් නැති රහත් බවට නියතවූ මතුමාර්ගත්‍රයට පිහිටවූ සෝවාන් බවට පැමිණියා යයි’ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. කවර සතරකින්ද? ඇවැත්නි, බුදුන් කෙරෙහි යම්බඳුවූ අප්‍රසාදයකින් යුක්තවූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, විසම වැටීම් ඇති නිරයෙහි උපදියිද, බුදුන් කෙරෙහි ඔහුට එවැනි අප්‍රසාදයක් නැත. ඇවැත්නි, බුදුන් කෙරෙහි යම්බඳුවූ අචල ශ්‍රද්ධාවකින් යුත් ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලොකයෙහි උපදියිද, ඔහුට බුදුන් කෙරෙහි එවැනි නොසෙල්වෙන ප්‍රසාදයක් ඇත්තේය. මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත් වනසේක සම්‍යක්සම්බුද්ධ වන සේක. විජ්ජාචරණසම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තර පුරුසදම්මසාරථි වන සේක දෙව් මිනිසුන්ගේ ශාස්තෲ වන සේක චතුස්සත්‍යය අවබොධ කළ සේක. භාග්‍යවත්සේකැයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයි.

4 ‘ඇවැත්නි, ධර්මය කෙරෙහි යම්බඳුවූ අප්‍රසාදයෙන් යුක්තවූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, විසම වැටීම් ඇති නිරයෙහි උපදියිද, ඔහුට ධර්මය කෙරෙහි එබඳු අප්‍රසාදයක් නැත. ඇවැත්නි, ධර්මය කෙරෙහි යම්බඳු අචල ප්‍රසාදයෙන් යුක්තවූ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කය බිඳීමෙන් මරණින්මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදියිද. ඔහුට ධර්මය කෙරෙහි එබඳු අචල ප්‍රසාදය ඇත්තේය.

“ධර්මය තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දෙශනාකරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය. කල්නොයවා දෙන විපාක දෙන්නේය. එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්තවූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දත යුත්තේය, කියායි.

“ඇවැත්නි, සංඝයා කෙරෙහි යම්බඳුවූ අප්‍රසාදයෙන් යුක්තවූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති, විසම වැටීම් ඇති, නිරයෙහි උපදියිද, ඔහුට සංඝයා කෙරෙහි එබඳුවූ අප්‍රසාදය නැත්තේය ඇවැත්නි, සංඝයා කෙරෙහි යම්බඳුවූ අචලප්‍රසාදයෙන් යුක්තවූ ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදියිද ඔහුට සංඝයා කෙරෙහි එබඳු අචල ප්‍රසාදය ඇත්තේය.

“භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්‍රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය. ගරුබුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අට දෙනෙක් වෙත්ද, මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. තුටු පඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළිගැන්මට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසුවූ සේක. ඇඳිලි කර්මයට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ පින් කෙතය, කියායි. මෙසේ සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේද,

“ඇවැත්නි, යම්බඳුවූ දුස්සීල බවකින් යුක්තවූ අශ්‍රැතවත් පෘථග්ජනතෙම කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, විසම වැටීම් ඇති නිරයෙහි උපදියිද, ඔහුට එබඳුවූ දුශ්ශීල බවක් නැත්තේය. ඇවැත්නි, යම්බඳුවූ ආර්‍ය්‍යයන් කැමති සීලයෙන් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදියිද, ඒ ඔහුට නොකැඩුනාවූ, සිදුරු නොවූ, කබර නොවූ, කැළැල් නොවූ, දොස් නොවූ, නුවණැත්තන් විසින් පසස්නා ලද්දාවූ තෘෂ්ණාදෘෂ්ටීන් විසින් පරාමර්ෂණය නොකරන ලද්දාවූ සමාධිය පිණිස පවත්නාවූ ආර්‍ය්‍යයන් කැමති සීලය ඇත්තේ වෙයි.

“ඇවැත්නි, මේ සතර ධර්මයන් නැතිකිරීම හා මේ සතර ධර්මයන්ගෙන් යුක්තවීම හේතුකොට ගෙන මෙසේ මේ ප්‍රජාව වනාහි අපායෙහි වැටෙන ස්වභාව නැත්තාවූ, රහත් බවට නියතවූ මතු මාර්ගත්‍රයට පැමිණීම ඒකාන්තවූ සෝවාන් බවට පැමිණියේයයි” භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදී.