සංයුත්තනිකායො

මහා වර්ගය

11. සොතාපත්ති සංයුත්තය

2. රාජකාරාම වර්ගය

4. දුග්ගති භය සූත්‍රය

[1] මා විසින් මෙසේ අසනලදී. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේ පිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.

“මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම සියලු දුර්ගති භය ඉක්මවූයේ වෙයි.

[2] “කවර සතරකින්ද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේත් අර්හත් වන සේක, සම්‍යක් සම්බුද්ධ වනසේක, විද්‍යාචරණ සම්පන්න වන සේක, සුගත වන සේක, ලෝකවිදූ වන සේක, අනුත්තර පුරිස දම්ම සාරථි වනසේක. දෙව් මිනිසුන්ගේ ශාස්තෲ වන සේක. චතුස්සත්‍යය අවබොධ කළ සේක. භාග්‍යවත් සේකැයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද,

[3] “ධර්මයතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දෙශනාකරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය. කල්නොයවා දෙන විපාක දෙන්නේය. එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්තවූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දතයුත්තේයයි මෙසේ ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද,

“භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්‍රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය. ගරුබුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අටදෙනෙක් වෙත්ද මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. තුටු පඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළීගැනීමට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසුවූ සේක. ඇඳිලි කර්මයට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පින් කෙත විය. මෙසේ සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේද,

“නොකැඩුනාවූ, සිදුරු නොවූ, කබර නොවූ, කැළල් නොවූ, නිදොස්වූ, නුවණ ඇත්තන් විසින් ප්‍රශංසා කරන ලද්දාවූ, තෘෂ්ණාදෘෂ්ටීන් විසින් පරාමර්ෂණය නොකරන ලද්දාවූ සමාධිය පිණිස පවත්නාවූ ආර්‍ය්‍යයන් කැමති ශීලයෙන් යුක්ත වූයේ වෙයිද,

[4] “මහණෙනි, මේ සතර ධර්මයන් ගෙන් යුක්තවූ ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම වනාහි සියලු දුර්ගති භය ඉක්මවූයේ වෙයි.”