සංයුත්තනිකායො

මහා වර්ගය

11. සොතාපත්ති සංයුත්තය

2. රාජකාරාම වර්ගය

8. පඨම දෙවචාරිකා සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම සැවැත්නුවර අනේපිඬුසිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කෙරෙයි. එකල්හි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිර තෙම යම්සේ බලවත් පුරුෂයෙක් හකුළුවනලද අතක් දිගහරින්නේද, දිගහරිනලද, අතක් හකුළුවන්නේද එමෙන් ජේතවනාරාමයෙන් අතුරුදහන්ව තව්තිසා දෙවියන් අතරෙහි පහළවිය. එකල්හි බොහෝ වූ තව්තිසා දෙවියෝ මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වැඳ එක්පසෙක හුන්නාහුය එක්පසෙක හුන්නාවූ, ඒ දෙවියන්ට ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම මෙය කීයේය.

[2] “ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවීම යහපත් වෙයි.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ. සම්‍යක් සම්බුද්ධයහ විජ්ජාචරණ සම්පන්නයහ. සුගතයහ. ලෝකවිදූහ. පුරුෂයන් දමනය කිරීමෙහි අතිඋතුම් රියදුරෙකු හා සමානයහ. දෙවි මිනිසුන්ගේ ශාස්තෲහ. චතුරාර්‍ය්‍යසත්‍යය අවබොධ කළසේක. භාග්‍යවත්හ කියායි.

“ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවීම හේතුකොටගෙන මෙසේ සමහර සත්වයෝ කය බිඳීමෙන්. මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ගලොකයෙහි උපදිත්.

[3] “නිදුකාණනි, ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවීම යහපත් වෙයි.

“භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය. කල් නොයවා විපාක දෙන්නේය. එව. බලවයි, පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්ත වූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දතයුත්තේය කියායි.

[4] “නිදුකාණනි, ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවීම හේතුකොටගෙන මෙසේ සමහර සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු, යහපත් ගති ඇත්තාවූ ස්වර්ග ලෝකයෙහි උපදිත්.

“නිදුකාණනි, සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වීම යහපත් වෙයි.

“භාග්‍යවතුන්වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්‍රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය. ගරුබුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අට දෙනෙක් වෙත්ද, මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙළකළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූසේක. ඇඳිලි කිරීමට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පිංකුඹුරය කියායි.

නිදුකාණනි, සංඝයා කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්තවීම හේතුකොටගෙන මෙසේ සමහර සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු, යහපත් ගති ඇත්තාවූ ස්වර්ග ලොකයෙහි උපදිත්.

[5] “ඇවැත්නි, නොකැඩුනාවූ, කැළල් නොවූ, නිදොස්වූ, නුවණ ඇත්තන් විසින් ප්‍රසංසා කරනලද්දාවූ, (තෘෂ්ණා දෘෂ්ටීන් විසින්) පරාමර්ෂණය නොකරන ලද්දාවූ, සමාධිය පිණිස පවතින්නාවූ ආර්‍ය්‍යයන් විසින් කැමැතිවෙනු ලබන්නාවූ ශීලයෙන් යුක්තවීම යහපත් වෙයි ඇවැත්නි, ආර්‍ය්‍යයන් කැමති ශීලයෙන් යුක්තවීම හේතුකොටගෙන මෙසේ සමහර සත්වයෝ කයබිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ගලෝකයෙහි උපදිත්.

[6, 7, 8, 9] (2, 3, 4, 5 ඡෙදයන්හි ඇති ‘ඇවැත්නි,’ වෙනුවට ‘නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස,’ කියා වෙනස්කොට ගැනීමෙන් මේ ඡෙද හතර සම්පූර්ණ කරගන්න.)