සංයුත්තනිකායො

මහා වර්ගය

11. සොතාපත්ති සංයුත්තය

1. වේළුද්වාර වර්ගය

2. බ්‍රහ්මචරියොගධ සූත්‍රය

(මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1 වෙනි ඡෙදය මෙනි.)

“මහණෙනි, ධර්මසතරකින් යුක්තවූ, ආර්‍ය්‍යශ්‍රාවකතෙම අපායෙහි නොවැටෙන ස්වභාව ඇති, රහත්බව නියතවූ, රහත් බව පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙක් වෙයි. කවර සතරකින්ද?

“මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම, ඒ භාග්‍යවතුන්වහන්සේ මෙසේත් අර්හත් වනසේක. සම්‍යක් සම්බුද්ධ වනසේක. විජ්ජාචරණසම්පන්න වනසේක සුගත වනසේක. ලෝකවිදූ වනසේක. අනුත්තර පුරිස ධම්මසාරථි වනසේක. දෙවි මිනිසුන්ගේ ශාස්තෲ වනසේක. චතුස්සත්‍යය අවබොධ කළසේක. භාග්‍යවත් වනසේකැයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද,

“භාග්‍යවතුන් වහන්සේ විසින් සද්ධර්මය මනාකොට දෙශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙනඵල ඇත්තේය. කල්නොයවා විපාක දෙන්නේය. එව බලවයි පෙන්වියහැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩියයුතු ගුණයෙන් යුක්තවූයේය. නුවණැත්තන් විසින් වෙනවෙනම දතයුත්තේ යයි මෙසේ ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවෙයිද,

“භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්‍රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය. ගරුබුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිස යුග සතරක් වෙත්ද, පුද්ගලයන් අටදෙනෙක් වෙත්ද මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙළකළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. තුටු පඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූ සේක. අඤ්ජලිකර්මයට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පින් කුඹුරය. මෙසේ සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයි.

(මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 7 වෙනි ඡෙදය මෙනි.)

“මහණෙනි, මේ ධර්ම සතරින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම අපායෙහි නොවැටෙන ස්වභාව ඇති, රහත් බව නියතවූ, රහත්බව පිහිටකොට ඇත්තාවූ සෝවාන් වූයේ වෙයි.” භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. මෙය වදාරා අනතුරුව සුගතවූ ශාස්තෲන් වහන්සේ මෙසේද වදාළසේක.

“යමෙක්හට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයද, ධර්මය කෙරෙහි ප්‍රසාදයද, සංඝයා කෙරෙහි ප්‍රසාදයද, ආර්‍ය්‍යයන් කැමතිවූ සීලයද ඇත්තාහුද ඔවුහු සුදුසු කාලයෙහි ශාසන බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි බැස සිටි මතු මාර්ගත්‍රය හා යෙදුණ සැපයට සුදුසු කාලයෙහි පැමිණෙත් යනුයි.”