සංයුත්තනිකායො

මහා වර්ගය

11. සොතාපත්ති සංයුත්තය

2. රාජකාරාම වර්ගය

10. තතිය දෙවචාරිකා සූත්‍රය

[1] මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ යම්සේ බලවත් පුරුෂයෙක් වක් කළ අතක් දික් කරන්නේද, දික් කළ අතක් වක් කරන්නේද, එපරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ තව්තිසා දෙව්ලොව පහළවූහ.

ඉක්බිති බොහෝවූ, තව්තිසා දෙව්ලොව වැසි දෙවතාවෝ භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියාහුය පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නාහුය. එක්පසෙක හුන්නාවූ ඒ දෙවියන්හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

[2] “ඇවැත්නි, බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වීම යහපත් වෙයි.

“මෙසේ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ. සම්‍යක් සම්බුද්ධයහ. විජ්ජාචරණ සම්පන්නයහ. සුගතයහ. ලෝකවිදූහ. පුරුෂයන් දමනය කිරීමෙහි අති උතුම් රියැදුරෙකු හා සමානයහ. දෙවි මිනිසුන්ගේ ශාස්තෲහ. චතුරාර්‍ය්‍යසත්‍යය අවබොධ කළසේක. භාග්‍යවත්හ කියායි.

“ඇවැත්නි, බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්තවීම හේතුකොටගෙන වනාහි ඇතැම් කෙනෙක් අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බවට නියතවූ මතු මාර්ගත්‍රයට පැමිණීම ඒකාන්තවූ සෝවාන්වූවෝ වන්නාහුය.

[3] “ඇවැත්නි, ධර්මයෙහි අචලප්‍රසාදයෙන් යුක්තවීම යහපත් වෙයි.

“ධර්මය තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දෙශනාකරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය. කල් නොයවා දෙන විපාක දෙන්නේය. එව, බලවයි, පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්ත වූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දතයුත්තේයයි මෙසේ ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද, ලෝකයාගේ අති උතුම් පින්කෙත වන්නේය කියායි.

“ඇවැත්නි, ධර්මය කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්තවීම හේතුකොට ගෙන ඇතැම් කෙනෙක් අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බවට නියතවූ මතු මාර්ගත්‍රයට පැමිණීම ඒකාන්තවූ සෝවාන්වූවෝ වන්නාහුය.

[4] “ඇවැත්නි, සංඝයා කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්තවීම යහපත් වෙයි.

“භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්‍රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය. ගරුබුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අටදෙනෙක් වෙත්ද, මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙළ කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූසේක, ඇඳිලිකිරීමට (වැඳීමට) සුදුසුවූයේය. ලොකයාගේ උතුම් පිංකුඹුරය කියායි.

“ඇවැත්නි, සංඝයා කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්තවීම හේතුකොටගෙන ඇතැම් කෙනෙක් අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බවට නියතවූ මතු මාර්ගත්‍රයට පැමිණීම ඒකාන්තවූ සෝවාන්වූවෝ වන්නාහුය.

[5] “ඇවැත්නි, නොකැඩුනාවූ, කැළල් නොවූ, නිදොස්වූ, නුවණ ඇත්තන් විසින් ප්‍රසංසා කරන ලද්දාවූ, (තෘෂ්ණා දෘෂ්ටීන් විසින්) පරාමර්ෂණය නොකරන ලද්දාවූ, සමාධිය පිණිස පවතිනනාවූ ආර්‍ය්‍යයන් විසින් කැමැති ශීලයෙන් යුක්තවීම යහපත් වෙයි.

‘ඇවැත්නි, කඩනොවූ අචලප්‍රසාදයෙන් යුක්තවීම හේතු කොටගෙන ඇතැම් කෙනෙක් අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බවට නියතවූ මතු මාර්ගත්‍රයට පැමිණීම ඒකාන්තවූ සෝවාන්වූවෝ වන්නාහුය.”

[6, 7, 8, 9] (මේ ඡෙද මේ සූත්‍රයේ 2, 3, 4, 5 ඡෙද මෙන් වෙත්. “ඇවැත්නි” වෙනුවට “නිදුකාණනි” යොදාගත යුතුයි.)

දෙවැනි සහස්ස වර්ගය නිමි.