සංයුත්තනිකායො

මහා වර්ගය

11. සොතාපත්ති සංයුත්තය

3. සරකානි වර්ගය

1. මා භායි මහානාම සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කිඹුල්වත්පුරයෙහි නිග්‍රොධාරාමයෙහි වාසය කරන සේක. ඉක්බිති මහානාම ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය එක්පසෙක හුන්නාවූ මහානාම ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.

[2] “ස්වාමීනි, මේ කිඹුල්වත් නුවර ආහාරපානාදියෙන් සමෘද්ධය. හැම දෙයින් සම්පූර්ණය. බොහෝ මිනිසුන්ගෙන් යුක්තය. මිනිසුන්ගෙන් අතරක් නැත. කෙළවරක් නොදත හැකි වීථීන්ගෙන් යුක්තය. ස්වාමීනි, ඒ මම වනාහි භාග්‍යවතුන් වහන්සේ හෝ සිත දියුණු කළ භික්ෂුවක් හෝ ආශ්‍රය කොට සවස් කාලයෙහි කිඹුල්වත් නුවරට ඇතුල්වන කල්හි කලබලවූ ඇතුන් ඉදිරියටද පැමිණෙමි. කලබලවූ අසුන් ඉදිරියටද පැමිණෙමි. කලබලවූ රිය ඉදිරියටද පැමිණෙමි. කලබලවූ ගැල් ඉදිරියටද පැමිණෙමි. කලබලවූ පුරුෂයකු ඉදිරියටද පැමිණෙමි. ස්වාමීනි, ඒ මට එකල්හි භාග්‍යවතුන් වහන්සේ අරබයා පවත්නා සිහිය නැතිවෙයි. ධර්මය අරබයා පවත්නා සිහිය නැතිවෙයි. සංඝයා අරබයා පවත්නා සිහිය නැතිවෙයි. ස්වාමීනි, ඒ මට ඉදින් එකල්හි කළුරිය කරන්නෙම් නම් ‘මාගේ ගතිය කුමක්ද, පරලොව කුමක්දැයි’ යන අදහස පහළවිය.

[3] “මහානාමය, බිය නොවව. මහානාමය, බිය නොවව තොපට ලාමක නොවන්නාවූ මරණයක්, ලාමක නොවන්නාවූ කාලක්‍රියාවක් වන්නේය. මහානාමය, යමෙකුට වනාහි බොහෝ කාලයක් ශ්‍රද්ධාවෙන් වඩනාලද සිතක් ඇත්තේද, සීලයෙන් වඩනාලද සිතක් ඇත්තේද, ශ්‍රැතයෙන් වඩනාලද සිතක් ඇත්තේද, ත්‍යාගයෙන් වඩනාලද සිතක් ඇත්තේද, ප්‍රඥාවෙන් වඩනාලද සිතක් ඇත්තේද, ඔහුගේ යම් මේ කයක් වේද එය වනාහි රූපයන්ගෙන් යුක්තය. සතර මහා භූතයන්ගෙන් හටගත්තේය. මව්පිය (ශුක්‍ර ශ්‍රොණිත) යන්ගෙන් උපන්නේය. බත් කොමු පිඩුවලින් එක්වූවකි. අනිත්‍ය ඉලීම් පිරිමැදීම්, බිඳීම් විනාශවීම් ස්වභාවයෙන් යුක්තය. ඒ කය මෙහිදීම කපුටෝ හෝ කා දමත්. ගිජුළිහිණියෝ හෝ කා දමත්. උකුස්සෝ හෝ කා දමත්. සුනඛයෝ හෝ කා දමත්. හිවල්ලු හෝ කා දමත් නොයෙකුත් සත්තු හෝ කා දමත්. බොහෝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රද්ධාවෙන් වඩනා ලද සීලයෙන් වඩනාලද ශ්‍රැතයෙන් වඩනාලද ත්‍යාගයෙන් වඩනාලද ප්‍රඥාවෙන් වඩනාලද ඔහුගේ යම් සිතක්වේද එය උඩට යන්නාවූ විශෙෂයට පැමිණෙන්නාවූ සිතක් වෙයි

[4] “මහානාමය, යම්සේ බලවත් පුරුෂයෙක් වනාහි ගිතෙල් සැළියක් හෝ තෙල් සැළියක් හෝ ගැඹුරුවූ දියක ගිල්වා බිඳින්නේ වේද, (එවිට) එහි යම් කැට හෝ කැබිලිති හෝ වේද, ඒ යට යන්නේය. එහි යම් ගිතෙලක් හෝ තෙලක් හෝ වේද, එය උඩට මතුවන්නේ, විශෙෂයට පැමිණෙන්නේ වේද, මහානාමය, එසේම යම් කිසිවෙකුගේ ශ්‍රද්ධාවෙන් වඩනාලද, සීලයෙන් වඩනාලද ශ්‍රැතයෙන් වඩනාලද ත්‍යාගයෙන් වඩනාලද ප්‍රඥාවෙන් වඩනාලද සිතක් වේද එය උඩට යන්නාවූ විශෙෂයට පැමිණෙන්නාවූ සිතක් වෙයි.

“ඔහුගේ මේ කය වනාහි රූපයන්ගෙන් යුක්තය. සතර මහාභූතයන්ගෙන් හටගත්තේය. මව්පිය (ශුක්‍ර ශ්‍රොණිතයන්) ගෙන් උපන්නේය. බත් කොමු පිඬුවලින් එක්වූවකි. අනිත්‍ය ඉලීම්, පිරිමැදීම්, බිඳීම්, විනාශවීම්, ස්වභාවයෙන් යුක්තය. ඒ කය මෙහිදීම කපුටෝ හෝ කා දමත්. ගිජුළිහිණියෝ හෝ කා දමත්. උකුස්සෝ හෝ කා දමත්. සුනඛයෝ හෝ කා දමත්. හිවල්ලු හෝ කා දමත්. නොයෙකුත් සත්තු හෝ කාදමත් බොහෝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රද්ධාවෙන් වඩනා ලද සීලයෙන් වඩනාලද ශ්‍රැතයෙන් වඩනාලද ත්‍යාගයෙන් වඩනාලද ප්‍රඥාවෙන් වඩනාලද ඔහුගේ යම් සිතක්වේද එය උඩට යන්නාවූ විශෙෂයට පැමිණෙන්නාවූ සිතක් වෙයි.

[5] “මහානාමය, තොපගේ සිත බොහෝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රද්ධාවෙන් වඩනා ලද්දේය. සීලයෙන් වඩනා ලද්දේය. ශ්‍රැතයෙන් වඩනා ලද්දේය. ත්‍යාගයෙන් වඩනා ලද්දේය. ප්‍රඥාවෙන් වඩනා ලද්දේය. මහානාමය, බය නොවව. මහානාමය, බය නොවව. තොපට උතුම්වූ මරණයත් උතුම්වූ කාලක්‍රියාවක් වන්නේයයි” වදාළේය.