සංයුත්තනිකායො

මහා වර්ගය

11. සොතාපත්ති සංයුත්තය

3. සරකානි වර්ගය

2. යෙන නින්න මහානාම සූත්‍රය

(මේ ඡෙද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1, 2 වෙනි ඡෙද මෙනි)

“මහානාමය, බය නොවව. මහානාමය, බය නොවව. ඔබට උතුම් මරණයක්, උතුම් කාලක්‍රියාවක් වන්නේය. මහානාමය, ධර්ම සතරකින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවකතෙම නිවනට නැමුණේ, නිවනට හැරුණේ, නිවනට බරවූයේ වෙයි.

කවර සතරකින්ද? මහානාමය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවිය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ අර්හත්යහ. සම්‍යක් සම්බුද්ධයහ. විජ්ජාචරණ සම්පන්නයහ. සුගතයහ. ලොකවිදූහ. පුරුෂයන් දමනය කිරීමෙහි අති උතුම් රියැදුරෙකු හා සමානයහ. දෙවි මිනිසුන්ගේ ශාස්තෲහ. චතුරාර්‍ය්‍යසත්‍යය අවබොධ කළසේක භාග්‍යවත්හ කියායි.

“ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූවාහුය. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දෙශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය, කල් නොයවා දෙන විපාක දෙන්නේය. එව බලවයි. පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්තවූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දත යුත්තේය කියායි.

“සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූවාහුය. “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසංඝතෙම ශාසන ප්‍රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය, ගරු බුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අට දෙනෙක් වෙත්ද, මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසුවූයේය. තුටු පඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළිගැන්මට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූයේය. ඇඳිලි කිරීමට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පින් කුඹුරය කියායි.

“නොකැඩුනාවූ, සිදුරුනොවූ, කබරනොවූ, කැළල්නොවූ නිදොස්වූ, නුවණ ඇත්තන් විසින් ප්‍රශංසා කරන ලද්දාවූ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් පරාමර්ෂණය නොකරන ලද්දාවූ සමාධිය පිණිස පවත්නාවූ ආර්‍ය්‍යයන් කැමැති ශීලයෙන් යුක්ත වූයේ වෙයි කියායි.

මහානාමය, යම්සේ නැගෙනහිරට නැමුණාවූ නැගෙනහිරට හැරුණාවූ නැගෙනහිරට බරවූ ගසක්වේද, එය මුලින් කපන ලද්දේ කවර දිශාවට වැටෙන්නේද?

“ස්වාමීනි, යම් දිසාවකට නැමුණේවේද, යම් දිසාවකට හැරුණේ වේද, යම් දිසාවකට බරවූයේ වේද (ඒ දිසාවටය)

“මහානාමය, එසේම මේ ධර්ම සතරින් යුක්තවූ ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම නිවනට නැමුණේ, නිවනට හැරුණේ, නිවනට බරවූයේ වෙයි.”