සංයුත්තනිකායො
මහා වර්ගය
11. සොතාපත්ති සංයුත්තය
3. සරකානි වර්ගය
4. පඨම සරකානි සූත්‍රය
[1] මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් නුවර නීග්‍රොධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි සරකානි නම් ශාක්‍යතෙම කාලක්‍රියා කෙළේය භාග්‍යවතුන් වහන්සේ විසින් හෙතෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත් බවට නියතවූ මතු මාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙකැයි වදාරණලදී.
[2] “එහිදී බොහෝ ශාක්‍යයෝ එක්ව රැස්ව, මෙසේ දොස් කියත්, ගර්හා කරත්, බැණවදිත් කෙසේද? පින්වතුනි, ආශ්චර්‍ය්‍යයකි පුදුමයකි. සාරකානි ශාක්‍යතෙම කළුරිය කෙළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් හෙතෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත් බවට නියතවූ මතු මාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙකැයි ප්‍රකාශ කරනලදී. එසේ නම් මෙහි කවරෙක් සෝවාන් වූවෙක් නොවන්නේද? සරකානි ශාක්‍යතෙම ශීලයෙන් දුර්වලවූ මත්පැන් පානය කරන්නෙක් විය යනුවෙනි.”
[3] ඉක්බිති මහානාම ශාක්‍යතෙම භාග්‍යවතුන්වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් මහානාම ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මෙහි සරකානි ශාක්‍යතෙම කළුරිය කෙළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් හෙතෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත් බවට නියතවූ මතු මාර්ගත්‍රය පිහිට කොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙකැයි වදාරණලදී.
“ස්වාමීනි, එහි බොහෝ ශාක්‍යයෝ එක්ව රැස්ව මෙසේ දොස් කියත්, ගර්හා කරත්, බැණ වදිත්. කෙසේද? පින්වත්නි, ආශ්චර්‍ය්‍යයකි, පුදුමයකි. සරකානි ශාක්‍යතෙම කළුරිය කෙළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් හෙතෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත් බවට නියතවූ මතුමාර්ගත්‍රය පිහිට කොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙකැයි ප්‍රකාශ කරන ලදී. එසේ නම් මෙහි කවරෙක් සෝවාන් වූවෙක් නොවන්නේද? සරකානි ශාක්‍යතෙම ශීලයෙන් දුර්වලවූ මත්පැන් පානය කරන්නෙක් විය යනුවෙනි.”
[4] “මහානාමය, යම් ඒ උපාසකයෙක් තෙම බොහෝ කාලයක් මුළුල්ලෙහි බුදුන් සරණකොට ගියේ වේද, ධර්මය සරණකොට ගියේ වේද, සංඝයා සරණකොට ගියේ වේද, හෙතෙම කෙසේ අපායට යන්නේද? මහානාමය, යමෙකුට වනාහි බොහෝ කාලයක් මුළුල්ලෙහි බුදුරජාණන් වහන්සේ සරණකොට ගියාවූ, ධර්මය සරණකොට ගියාවූ සංඝයා සරණකොට ගියාවූ උපාසකයෙකැයි මනාව කියන්නේ නම් සරකානි ශාක්‍යයාහට මනාකොට කියන්නේය. මහානාමය, සරකානි ශාක්‍යතෙම බොහෝ කාලයක් මුළුල්ලෙහි බුදුන් සරණ ගියාවූ ධර්මය සරණ ගියාවූ සංඝයා සරණ ගියාවූ උපාසකයෙක් වන්නේය. හෙතෙම කෙසේ අපායට යන්නේද?
[5] “මහානාමය, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද, (මෙහි මේ වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡෙදයේ බුදුගුණ, දහම් ගුණ, සඟගුණ කොටස් යොදන්න.) මහත් නුවණින් යුක්ත වූයේද තියුණු නුවණින් යුක්ත වූයේ වෙයිද, අර්හත් ඵලයෙන් යුක්ත වූයේ වෙයිද, හෙතෙම ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධියත් අර්හත් ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහිදීම තෙමේ දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ, වාසය කෙරෙයි.
මහානාමය, මේ පුද්ගලතෙමේද, නිරයෙන් මිදුනේ, තිරිසන් යොනියෙන් මිදුනේ, ප්‍රෙත විෂයෙන් මිදුනේ, නපුරු ගති ඇති, විෂමවූ වැටීම් ඇති අපායෙන් මිදුනේ වෙයි.
[6] “මහානාමය, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූයේම වෙයිද, (මෙහි මේ වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡෙදයේ බුදුගුණ, දහම්ගුණ, සඟගුණ කොටස් යොදන්න) මහත් නුවණ ඇත්තේ තියුණු නුවණ ඇත්තේ අර්හත් ඵලයෙන් යුක්ත නොවූයේ වෙයිද හෙතෙම පඤ්චවිධවූ ඔරම්භාගිය සංයොජනයන් ක්ෂය කිරීමෙන් ඕපපාතිකව එහිදී පිරිනිවන් පාන්නාවූ ඒ බඹලොවින් නැවත නොඑන ස්වභාවය ඇතියෙක් වෙයි. මහානාමය, මේ පුද්ගල තෙමේද, නිරයෙන් මිදුනේ, තිරිසන් යොනියෙන් මිදුනේ, ප්‍රේත විෂයෙන් මිදුනේ, නපුරු ගති ඇති, විෂමවූ වැටීම් ඇති, අපායෙන් මිදුනේ වෙයි.
[7] “මහානාමය, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූයේම වෙයිද (මෙහි මේ වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡෙදයේ බුදුගුණ, දහම්ගුණ, සඟගුණ කොටස් යොදන්න.) මහත් නුවණින් යුක්ත නොවූයේ, තියුණු නුවණින් යුක්ත නොවූයේ අර්හත් ඵලයෙන් යුක්ත නොවූයේ වේද, හෙතෙම ත්‍රිවිධ සංයෝජනයන් ක්ෂය කිරීමෙන් රාග-ද්වෙෂ-මොහයන් තුනී කිරීමෙන් මේ ලෝකයට එක් වරක් පමණක් අවුත් දුක් කෙළවර කෙරෙයි. මහානාමය, මේ පුද්ගල තෙමේද නිරයෙන් මිදුනේ, තිරිසන් යොනියෙන් මිදුනේ, ප්‍රේතවිෂයෙන් මිදුනේ නපුරු ගති ඇති, විෂමවූ වැටීම් ඇති, අපායෙන් මිදුනේ වෙයි.
[8] “මහානාමය, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූයේම වෙයිද, (මෙහි මේ වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡෙදයේ බුදුගුණ, දහම්ගුණ, සඟගුණ කොටස් යොදන්න.) මහත් නුවණින් යුක්ත නොවූයේ තියුණු නුවණින් යුක්ත නොවූයේ අර්හත් ඵලයෙන් යුක්තනොවූයේ වේද හෙතෙම සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ, රහත් බවට නියතවූ, මතු මාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙක් වෙයි. මහානාමය, මේ පුද්ගල තෙමේද නිරයෙන් මිදුනේ, තිරිසන් යොනියෙන් මිදුනේ ප්‍රේතවිෂයෙන් මිදුනේ, නපුරු ගති ඇති, විෂමවූ වැටීම් ඇති අපායෙන් මිදුනේ වෙයි.
[9] “මහානාමය, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත නොවූයේම වෙයිද, ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තනොවූයේම වෙයිද, සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත නොවූයේ වෙයිද, මහත් නුවණින් යුක්තනොවූයේ, තියුණු නුවණින් යුක්ත නොවූයේ අර්හත් ඵලයෙන් යුක්ත නොවූයේත් වේද, එහෙයින් සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය යන මේ ධර්මයෝ වෙත්ද, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්දාවූ ධර්මයෙන් නුවණින් ප්‍රමාණකොට බලත්ද, මහානාමය, මේ පුද්ගලතෙමේද නිරයට නොයන්නේ, තිරිසන් යොනියට නොයන්නේ, ප්‍රේතවිෂයට නොයන්නේ, විෂමවූ වැටීම් ඇති දුර්ගති නම් ලත් අපායට නොයන්නේ වෙයි.
[10] “මහානාමය, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම වනාහි බුදුන් කෙරෙහි අවලප්‍රසාදයෙන් යුක්ත නොවූයේ වෙයිද, ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තනොවූයේ වෙයිද, සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තනොවූයේ වෙයිද, මහත් ප්‍රඥාවෙන් යුක්ත නොවූයේ තියුණු ප්‍රඥාවෙන් යුක්ත නොවූයේ. අර්හත් ඵලයෙහි යුක්ත නොවූයේත් වෙයිද එහෙත් සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය සහ පඤ්ඤින්ද්‍රිය යන මේ ධර්මයෝ වෙත්ද තථාගතයන් කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රෙම මාත්‍රයක් ඇත්තේද තථාගතයන් වහන්සේ විසින් වදාරණලද ධර්මයන් නුවණින් ප්‍රමාණකොට බලත්ද මහානාමය, මේ පුද්ගල තෙමේද, නිරයට නොයන්නේ තිරිසන් යෝනියට නොයන්නේ, ප්‍රෙතවිෂයට නොයන්නේ, විෂම වූ පතිතවීම් ඇති දුර්ගති නම් ලත් අපායට නොයන්නේ වෙයි.
[11] “මහානාමය, මේ මහ සල්ගස් ඉදින් සුභාෂිත දුර්භාෂිත දනිත් නම් මේ සල්ගස්පවා අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බවට නියතවූ මතු මාර්ගත්‍රය පිහිට කොට ඇත්තාවූ සෝවාන් වූවෝයයි මම ප්‍රකාශ කරන්නෙමි. සරකානි ශාක්‍යයා ගැන කියනුම කවරේද? මහානාමය, සරකානි ශාක්‍යතෙම වනාහි මැරෙන කාලයෙහි ත්‍රිවිධ ශික්ෂාව සම්පූර්ණ කෙළේයයි” (වදාළසේක.)