සංයුත්තනිකායො

මහා වර්ගය

11. සොතාපත්ති සංයුත්තය

3. සරකානි වර්ගය

5. දුතිය සරකානි සූත්‍රය

(මේ ඡෙදය මේ වර්ගයේ 4 වෙනි සූත්‍රයේ 1 වෙනි ඡෙදය මෙනි)

එහිදී බොහෝවූ ශාක්‍යයෝ එක්ව, රැස්ව, මෙසේ දොස් කියත්, ගර්හා කරත්. බැණවදිත්, කෙසේද, පින්වතුනි, ආශ්චර්‍ය්‍යයකි. පුදුමයකි. සරකානි ශාක්‍යතෙම කළුරිය කෙළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් හෙතෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බව නියතවූ මතු මාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙකැයි ප්‍රකාශ කරනලදී. එසේනම් මෙහි කවරෙක් සෝවාන්වූවෙක් නොවන්නේද? සරකානි ශාක්‍යතෙම සීලය සම්පූර්ණ කරන්නෙක් නොවීය කියායි.

ඉක්බිති මහානාම ශාක්‍යතෙම භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් මහානාම ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ ස්වාමීනි, මෙහි සරකානි ශාක්‍යතෙම කළුරිය කෙළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් හෙතෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත් බවට නියතවූ මතු මාර්ගත්‍රය පිහිට කොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙකැයි වදාරණලදී.

“ස්වාමීනි, එහි බොහෝ ශාක්‍යයෝ එක්ව රැස්ව මෙසේ දොස් කියත්, ගර්හා කරත්, බැණවදිත්. කෙසේද? පින්වත්නි, ආශ්චර්‍ය්‍යයකි, පුදුමයකි. සරකානි ශාක්‍යතෙම කළුරියකෙළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් හෙතෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බවට නියතවූ මතු මාර්ගත්‍රය පිහිට කොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙකැයි ප්‍රකාශ කරන ලදී. එසේ නම් මෙහි කවරෙක් සෝවාන් වූවෙක් නොවන්නේද? සරකානි ශාක්‍යතෙම සීලය සම්පූර්ණ නොකෙළෙක් විය කියායි.

(මේ ඡෙදය මේ වර්ගයේ 4 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡෙදය මෙනි.)

(මේ ඡෙදයන්හි ඇති “අචල ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයි.” යන්න මෙහිදී “ස්ථිරගති ඇත්තෙක්, අතිශයින් ප්‍රසන්න වූයෙක් වෙයි” කියා වෙනස්කොට මේ වර්ගයේ 4 වෙනි සූත්‍රයේ 5-10 ඡෙද යොදාගන්න.)

“මහානාමය, යම්සේ වනාහි නොනසන ලද කටු කොහොල් ඇත්තාවූ විෂමවූ කෙතක් විෂමවූ භූමියක් වෙයිද කැඩුනාවූ කුණුවූ වාතයට සහ අව්වට අසුවූ හරය නැත්තාවූ මනාකොට නොතබන ලද්දාවූ බීජයෝ වන්නාහුද, වැස්ස මනාව වසින්නේය. එහෙත් ඒ බීජයෝ වැඩීමට හැදීමට මහත් බවට පැමිණෙන්නාහුද? ස්වාමීනි, එය නොවේමය.

“මහානාමය, එසේම මේ ලොකයෙහි ධර්මය නපුරු කොට කියන ලද්දේද නපුරු කොට ප්‍රකාශ කරන ලද්දේද නෛර්‍ය්‍යාණික නොවන්නේද සංසිඳීම පිණිස නොපවත්නේද සම්‍යක්සම්බුද්ධ නොවූවකු විසින් ප්‍රකාශ කරන ලද්දේද ඒ ධර්මය මම විෂම ක්ෂෙත්‍රයෙහිලා කියමි. ඉදින් ඒ ධර්මයෙහි ශ්‍රාවක තෙම ධර්මානුකූල ප්‍රතිපත්තියෙහි පිළිපදිමින් ගෞරවයට සුදුසුසේ පිළිපදිමින් ධර්මය අනුව හැසිරෙමින් වාසය කෙරෙයිද මම එය අයහපත් බීජයයි කියමි.

‘මහානාමය, යම්සේ වනාහි නසනලද කටු කොහොල් ඇත්තාවූ යහපත් කෙතක්, යහපත් භූමියක් වෙයිද, කඩනොවූ, කුණු නොවූ, වාතයට සහ අව්වට අසුනොවූ හරය ඇත්තාවූ, මනාකොට තබන ලද්දාවූ බීජයෝ වෙත්ද, වැසිද මනාව වසින්නේය. ඒ බීජයෝ වැඩීමට හැදීමට මහත් බවට පැමිණෙන්නාහුද?”-“එසේය ස්වාමීනි”

“මහානාමය, එසේම මේ ලොකයෙහි ධර්මය තෙම මනාකොට කියන ලද්දේද, මනාකොට ප්‍රකාශකරන ලද්දේද නෛර්‍ය්‍යාණික වේද, සංසිඳීම පිණිස පවත්නේද සම්‍යක් සම්බුදු කෙනකු විසින් වදාරන ලද්දේද මම එය යහපත් කෙතයයි කියමි. ඉදින් ඒ ධර්මයෙහි ශ්‍රාවකතෙම ධර්මයට අනුකූල ප්‍රතිපත්තියෙහි පිළිපදිමින් ගෞරවයට සුදුසුසේ පිළිපදිමින් ධර්මය අනුව හැසිරෙමින් වාසය කෙරෙයිද, මෙය මම යහපත් බීජයයි කියමි. සරකානි ශාක්‍යයා ගැන කියනුම කවරේද? මහානාමය සරකානි ශාක්‍යතෙම මැරෙන කාලයෙහි ශික්ෂාව සම්පූර්ණ කෙළේ වීය.”