සංයුත්තනිකායො

මහා වර්ගය

11. සොතාපත්ති සංයුත්තය

3. සරකානි වර්ගය

8. අනාථ පිණ්ඩික වෙරභය සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි අනාථ පිණ්ඩික ගෘහපතිතෙම භාග්‍යවතුන්වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ අනාථ පිණ්ඩික ගෘහපතියාහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.

“ගෘහපතිය, යම්තැනක පටන් ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ යම් භය පසක් වෛර පසක් සංසිඳුනාහු වෙත්ද, සිව් වැදෑරුම් ශ්‍රොතාපත්ති අංගයන්ගෙන් යුක්තවූයේ වෙයිද, ඔහු විසින් ආර්‍ය්‍ය න්‍යාය ප්‍රඥාවෙන් මනාකොට දක්නා ලද්දේද, මනාකොට ප්‍රතිවේධ කරන ලද්දේද, හෙතෙම කැමැති වන්නේ තමාම තමහට ‘ක්ෂය කරන ලද නිරය ඇත්තේවෙමි. ක්ෂය කරන ලද, තිරිසන් යොනිය ඇත්තේ වෙමි. ක්ෂය කරන ලද ප්‍රේත විෂය ඇත්තේ වෙමි. ක්ෂය කරන ලද නපුරුගති ඇති විසම පතිතවීම් ඇති අපාය ඇත්තේ වෙමි. මම අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තාවූ නියත ගති ඇත්තාවූ මතු මාර්ගත්‍රය පිහිට කොට ඇත්තාවූ සොවාන් වෙමැයි’ ප්‍රකාශ කරන්නේය.

“කිනම් භය පසක් වෛර පසක් සංසිඳුනාහු වෙත්ද? ගෘහපතිය, ප්‍රාණඝාත කරන තැනැත්තේ ඒ ප්‍රාණඝාත කිරීම හෙතුකොට ගෙන මේ ආත්මයෙහිත් බියද වෛරයද රැස්කරයි. පරලොවත් බියද වෛරයද රැස්කරයි. මානසික දුකද දොම්නසද විඳියි. ප්‍රාණඝාතයෙන් වෙන්වූවහුට මේ බිය සහ වෛරය සංසිඳුනේ වෙයි.

“ගෘහපතිය, හොරකම් කරන තැනැත්තේ ඒ සොරකම් කිරීම් හෙතුකොට ගෙන මේ ආත්මයෙහිත් බියද වෛරයද රැස්කරයි. පරලොවත් බියද වෛරයද රැස්කරයි. මානසික දුකද දොම්නසද විඳියි. සොරකම් කිරීමෙන් වෙන්වූවහුට මේ බිය සහ වෛරය සංසිඳුනේ වෙයි.

“ගෘහපතිය, කාමයන්හි වරදවා හැසිරෙන තැනැත්තේ, ඒ කාමයන්හි වරදවා හැසිරීම හේතුකොටගෙන මේ ආත්මයෙහිත් බියද වෛරයද රැස්කරයි. පරලොවත් බියද වෛරයද රැස්කරයි. මානසික දුකද දොම්නසද විඳියි. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවහුට මේ බිය සහ වෛරය සංසිඳුනේ වෙයි.

“ගෘහපතිය, බොරු කියන තැනැත්තේ ඒ බොරු කීම හේතුකොටගෙන මේ ආත්මයෙහිත් බියද වෛරයද රැස්කරයි. පරලොවත් බියද වෛරයද රැස්කරයි. මානසික දුකද දොම්නසද විඳියි. බොරු කීමෙන් වෙන් වූවහුට මේ බිය සහ වෛරය සංසිඳුනේ වෙයි.

“ගෘහපතිය, මදයට හා ප්‍රමාදයට හේතුවන රහමෙර පානය කරන තැනැත්තේ ඒ මදයට හා ප්‍රමාදයට හේතුවන රහමෙර පානය කිරීම හේතුකොටගෙන මේ ආත්මයෙහිද වූ බිය සහ වෛරය රැස්කරයි. පරලොවත් බිය සහ වෛරයද රැස්කරයි. මානසික දුකද දොම්නසද විඳියි. මදයට හා ප්‍රමාදයට හෙතුවන රහමෙර පානය කිරීමෙන් වෙන් වූවහුට මේ බිය සහ වෛර සංසිඳුනේ වෙයි. මේ පස් බිය සහ වෛරයෝ සංසිඳුනාහු වෙත්.

“කිනම් සොතාපත්ති අංග සතරකින් යුක්තවූයේ වේද?

“ගෘහපතිය, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වූයේවෙයි. මෙසේ භාග්‍යවතුන්වහන්සේ අර්හත්වෙයි. සම්‍යක් සම්බුද්ධ වෙයි. විජ්ජාචරණ සම්පන්නවෙයි. සුගතවෙයි. ලෝකවිදූ වෙයි. අනුත්තර පුරිසදම්මසාරථි වෙයි. දෙවි මිනිසුන්ගේ ශාස්තෲ වෙයි. චතුස්සත්‍යය අවබොධ කෙළේ වෙයි. භාග්‍යවත්හයි’ කියායි

“ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයි ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය. කල් නොයවා විපාක දෙනනේය. එව බලවයි, පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්තවූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දත යුත්තේය’ කියායි.

“සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වූයේවෙයි “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්‍රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය. ගරුබුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අටදෙනෙක් වෙත්ද, මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙළ කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූසේක. ඇඳිලිකිරීමට (වැඳීමට) සුදුසු වූයේය. ලොකයාගේ උතුම් පිං කුඹුරවූයේ වෙයි, කියායි.

“නොකැඩුනාවූ, සිදුරු නොවූ, කබර නොවූ, කැළල් නොවූ, නිදොස්වූ, නුවණ ඇත්තන් විසින් ප්‍රශංසා කරන ලද්දාවූ තෘෂ්ණා දෘෂ්ටීන් විසින් පරාමර්ෂණය නොකරන ලද්දාවූ සමාධිය පිණිස පවතින්නාවූ ආර්‍ය්‍යයන් කැමැති ශීලයෙන් යුක්තවූයේ වෙයි.

“මේ සොතාපත්ති අංග සතරින් යුක්තවූයේ වෙයි.

“කිනම් ආර්‍ය්‍ය න්‍යායක් ප්‍රඥාවෙන් මනාකොට දක්නා ලද්දේ මනාකොට අවබොධ කරන ලද්දේද? ගෘහපතිය, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම පටිච්චසමුප්පාදයම නුවණින් මනාකොට මෙනෙහි කෙරෙයිද, මෙසේ මේ හේතුව ඇති කල්හි මේ ඵලය ඇතිවෙයි. මේ ඉපදීම හේතුකොටගෙන මේ ඵලය ඇතිවෙයි මෙසේ මේ හේතුව නැති කල්හි මේ ඵලය ඇති නොවෙයි මේ හේතුව නැතිවීම හේතුකොටගෙන මේ ඵලය ඇති නොවෙයි හේ කෙසේද යත්.

“අවිද්‍යාව නිසා සංස්කාරයෝ ඇතිවෙත්. සංස්කාරයන් නිසා විඥානය ඇතිවෙයි. විඥානය නිසා නාමරූප දෙක ඇතිවෙයි, නාමරූපයන් නිසා සළායතන ඇතිවෙයි සළායතන නිසා ස්පර්ශය ඇතිවෙයි. ස්පර්ශය නිසා වේදනාව ඇති වෙයි වේදනාව නිසා තණ්හාව ඇතිවෙයි. තණ්හාව නිසා උපාදානය ඇතිවෙයි. උපාදානය නිසා භවය ඇතිවෙයි. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවෙයි. ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසයෝ ඇති වෙත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුඃඛ ස්කන්ධයාගේ හටගැනීම ඇතිවෙයි

“අවිද්‍යාවගේම ඉතිරි නොකොට නැති කිරීමෙන් සංස්කාරයන් නැතිවෙත්. සංස්කාරයන් නැතිවීමෙන් විඥානය නැතිවෙයි. විඥානය නැතිවීමෙන් නාමරූප දෙක නැතිවෙයි. නාමරූප දෙක නැතිවීමෙන් සළායතන නැතිවෙයි සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැති වෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම්) නැතිවෙයි. ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා, මරණ සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුඃඛස්කන්ධයාගේ නිරොධය වෙයි. මේ තෙම ආර්‍ය්‍ය න්‍යායය, ප්‍රඥාවෙන් මනාකොට දක්නා ලද්දේ මනාකොට අවබොධ කරන ලද්දේ වෙයි.

“ගෘහපතිය, යම්තැනක පටන් ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් මේ පස්බිය සහ වෛරයෝ සංසිඳුවන ලද්දාහු වෙත්ද, මේ ශ්‍රොතාපත්ති අංග සතරින් යුක්තවූයේ වෙයිද, ආර්‍ය්‍ය න්‍යාය ප්‍රඥාවෙන් මනාකොට දක්නා ලද්දේ, මනාකොට අවබොධ කරන ලද්දේ වෙයිද, හෙතෙම කැමතිවන්නේ තෙමේම තමහට ක්ෂයවූ නිරය ඇත්තෙමි. ක්ෂයවූ තිරිසන් යොනි ඇත්තෙමි, ක්ෂයවූ ප්‍රේතවිෂය ඇත්තෙමි, ක්ෂයවූ අපාය දුර්ගති නිරය ඇත්තේ වෙමි. නිරයෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ, නියතගති ඇත්තාවූ, මතුමාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් වූවෙක් වෙමියි’ ප්‍රකාශ කරන්නේය.”