සංයුත්තනිකායො

මහා වර්ගය

11. සොතාපත්ති සංයුත්තය

1. වේළුද්වාර වර්ගය

3. ආබාධික දීඝාවූ සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම් ලත් උණවනයෙහි වාසය කරන සේක. එකල්හි වනාහි දීඝාවූ උපාසකතෙම රෝගාතුරවූයේ, දුකට පත්වූයේ, දැඩි ගිලන් වූයේ වෙයි. ඉක්බිති දීඝාවූ උපාසක තෙම පියාවන ජොතික නම් ගහපතියාහට කථාකොට මෙසේ කීය.

[2] “ගහපතිය, ඔබ මෙහි එනු මැනවි. භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි යනු මැනව ගොස් ‘ස්වාමීනි, දීඝාවූ උපාසකතෙම රෝගාතුරවූයේ, දුකටපත්වූයේ, දැඩි ගිලන්වූයේ වෙයි. හෙතෙම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයන් සිරසින් වඳීයයි’ කියා මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදය සිරසින් වඳිනු මැනවි (වැඳ) මෙසේත් කියන්න. ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ දීඝාවූ උපාසකයාගේ ගෙදර යම් තැනෙක්හිද අනුකම්පා උපදවා එතැන්හි වඩිනසේක් නම් හොඳය’ කියායි.”

[3] “දරුව එසේයයි” ජොතිය ගෘහපතිතෙම දීඝාවූ උපාසකයාහට පිළිතුරුදී, භාග්‍යවතුන්වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි ගියේය. ගොස් භාග්‍යවතුන්වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ජොතිය ගහපති තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ස්වාමීනි, දීඝාවූ උපාසකතෙම රෝගාතුරවූයේ, දුකට පත්වූයේ දැඩි ගිලන්වූයේ වෙයි. හෙතෙම භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳියි. මෙසේත් කියයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ දීඝාවූ උපාසකයාගේ ගෙදර යම් තැනෙක්හිද අනුකම්පා උපදවා එතැන්හි වඩිනසේක්නම් හොඳය’ කියායි.”

[4] “භාග්‍යවතුන් වහන්සේ එය නිශ්ශබ්ද භාවයෙන් ඉවසූසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හැඳ, පාත්‍ර සිවුරු ගෙන, දීඝාවූ උපාසකයාගේ ගෙදර යම්තැනෙක්හිද එතැන්හි වැඩිසේක. වැඩ, පණවන ලද ආසනයෙහි වැඩ සිටිසේක. වැඩ හුන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දීඝාවූ උපාසකයාහට මෙය වදාළසේක.

“කිම, දීඝාවූ, නුඹට ඉවසිය හැකිද? කිම, යැපිය හැකිද? කිම, දුක් වේදනාවෝ සංසිඳෙත්ද? නොවැඩෙත්ද? සංසිඳෙන බවක් පෙනේද? වැඩෙන බවක් නොපෙනේද?’

“ස්වාමීනි, මට ඉවසිය නොහැක. යැපිය නොහැක. මාගේ බලවත්වූ දුක් වේදනාවෝ නොසංසිඳෙත්. වැඩෙන බව පෙනෙත්. සංසිඳෙන බවක් නොපෙනේයයි කීය. දීඝාවූ, එසේ නම් මෙහිදී නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි.

[5] “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේත් අර්හත්වන සේක. සම්‍යක් සම්බුද්ධවන සේක. විද්‍යාචරණසම්පන්නවන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තර පුරිසදම්ම සාරථි වන සේක දෙවි මිනිසුන්ගේ ශාස්තෲ වන සේක. චතුස්සත්‍යය අවබොධකළ සේක. භාග්‍යවත් සේකැයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද, මෙසේ වනාහි හික්මිය යුතු වන්නේය.

“භාග්‍යවතුන්වහන්සේ විසින් ධර්මය මනාකොට දෙශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය, කල් නොයවා දෙන විපාක දෙන්නේය. එව බලවයි, පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් තළා එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්තවූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දත යුත්තේයයි මෙසේ ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයිද, මෙසේ වනාහි හික්මිය යුතු වන්නේය.

“භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්‍රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය, ගරු බුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අට දෙනෙක් වෙත්ද? මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසුවූයේය. තුටු පඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළිගැන්මට සුදුසුවූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූසේක. ඇඳිලි කිරීම (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පින් කුඹුරය. මෙසේ සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේද, මෙසේ වනාහි හික්මිය යුතු වන්නේය.

[6] (මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 7 වෙනි ඡෙදය මෙනි.)

[7] “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් සොතා පත්තියංග ධර්ම සතරක් දෙශනා කරන ලද්දාහුද ඒ ධර්මයෝ මා කෙරෙහි ඇත්තාහුය. ඒ ධර්මයන්හි මම දකිනු ලබමි. ස්වාමීනි, මම වනාහි ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේත් අර්හත් වන සේක. විද්‍යාචරණසම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූවන සේක. අනුත්තර පුරිසදම්ම සාරථි වන සේක. දෙවි මිනිසුන්ගේ ශාස්තෲවන සේක. චතුස්සත්‍යය අවබෝධකළ සේක භාග්‍යවත්සේකැයි බුදුරජාණන්වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද,

“ධර්මයතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දෙශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ලද ඵල ඇත්තේය. කල් නොයවා දෙන විපාක දෙන්නේය. එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්තවූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දත යුත්තේයයි මෙසේ ධර්මයෙහි නොසෙල් වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද,

“භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම (ශාසන ප්‍රතිපත්තියෙහි) මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය. ගරු බුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අට දෙනෙක් වෙත්ද, මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසුවූයේය. තුටු පඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළිගැන්මට සුදුසුවූයේය, කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසුවූසේක. ඇඳිලි කිරීමට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පින් කුඹුරය. මෙසේ සංඝා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේද,

[8] “දීඝාවූ, එසේනම් මෙහිදී නුඹ මේ සතර සෝතාපත්ති අංගයන්හි පිහිටා මතු හය වැදෑරුම් විජ්ජාභාගීය ධර්මයන් වඩව. දීඝාවූ, නුඹ මෙහිදී සියලු සංස්කාරයන් කෙරෙහි අනිත්‍යය අනුව බලමින් අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව ඇතිව දුකෙහි අනාත්ම සංඥා පහාණ සංඥා ඇතිව විරාග සංඥා ඇතිව නිරොධ සංඥා ඇතිව වාසය කරව දීඝාවූ මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුවන්නේය.

[9] “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම් මේ විජ්ජාභාගීය ධර්මයෝ සය දෙනෙක් දෙශනා කරන ලද්දාහුද, ඒ ධර්මයෝ මා කෙරෙහි ඇත්තාහුය. මම ඒ ධර්මයන්හි දකිනු ලබමි. ස්වාමීනි, මම වනාහි සියලු සංස්කාරයන් කෙරෙහි අනිත්‍යය අනුව බලමින්, අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව ඇතිව දුකෙහි අනාත්ම සංඥාව ඇතිව, පහාණ සංඥාව ඇතිව, විරාග සංඥා ඇතිව, නිරොධ සංඥා ඇතිව වාසය කරමි. ස්වාමීනි, එතකුදුවුවත් මට මෙසේ සිතේ. මේ ජොතිය ගහපතිතෙම මාගේ මරණයෙන් පසු දුකට පත් නොවේවායි” කියායි.

[10] “දරුව, දීඝාවූ, නුඹ මෙසේ නොසිතව. දරුව දීඝාවූ, යමක් භාග්‍යවතුන්වහන්සේ වදාළේනම් නුඹ එයම මනාකොට මෙනෙහි කරව. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දීඝාවූ උපාසකයාහට මේ අවවාදයෙන් අවවාදකොට හුනස්නෙන් නැඟිට වැඩිසේක ඉක්බිති දීඝාවූ උපාසකතෙම භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින් කළුරිය කෙළේය.

[11] එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නාහුය. එක්පසක හුන්නාවූ ඒ භික්ෂූහු වනාහි භාග්‍යවතුන් වහන්සේට මෙය කීවාහුය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කෙටි අවවාදයකින් අවවාද කරන ලද්දාවූ යම් ඒ දීඝාවූ නම් උපාසකයෙක් වූයේද, හෙතෙම කළුරිය කෙළේය. ඔහුට කිනම් ගතියක්වීද පරලොව කුමක්ද?” යනුයි.

[12] “මහණෙනි, දීඝාවූ උපාසකතෙම පණ්ඩිතයෙක් විය. ලොකොත්තර ධර්මයට අනුකූල ධර්මයෙහි පිළිපැද්දේය. ධර්මාවබොධය කරුණුකොට මා නොවෙහෙසවිය. දීඝාවූ උපාසකතෙම ඔරම්භාගීය සංයොජන පස ක්ෂය කිරීමෙන් ඒ බඹලොව පිරිනිවෙන්නාවූ ඒ ලෝකයෙන් නැවත ආපසු නොඑන්නාවූ ඔපපාතිකයෙක් වන්නේයයි’ වදාළේය.