සංයුත්තනිකායො

මහා වර්ගය

11. සොතාපත්ති සංයුත්තය

4. පුඤ්ඤාභිසන්ද වර්ගය

10. නන්දිය සක්ක සූත්‍රය

[1] මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත්පුර සමීපයෙහිවූ නිග්‍රොධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි නන්දිය ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක උන්නේය. එක්පසෙක උන්නාවූ නන්දිය ශාක්‍ය තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීයේය.

[2] “ස්වාමීනි, යම් ආර්‍ය්‍යශ්‍රාවකයෙකුට ශ්‍රොතාපත්තියංග ධර්ම සතර සියලු ආකාරයෙන් සම්පූර්ණව නැත්තේද? ස්වාමීනි, ඒ ආර්‍ය්‍යශ්‍රාවකයාම ප්‍රමාදව වාසය කරන්නෙකැයි කියනු ලැබේද?

“නන්දිය යමෙකුට සොතාපත්තියංග ධර්ම සතර සියලු ආකාරයෙන් සම්පූර්ණව නැත්තේද මම ඔහු ආර්‍ය්‍යයන්ගෙන් බාහිරවූ පෘථග්ජන පක්ෂයෙහි සිටියෙකැයි කියමි. නන්දිය එතකුදු වුවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ යම්සේ ප්‍රමාදව වාසය කරන්නෙක් වෙයිද අප්‍රමාදව වාසය කරන්නෙක් වෙයිද එය අසව, නන්දිය, ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ කෙසේ නම් ප්‍රමාදව වාසය කරන්නෙක් වෙයිද?

[3] “නන්දිය, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, අෂ්ට විද්‍යාවෙන් හා පසලොස්චරණ ධර්මයෙන් යුක්තයහ, සුගතයහ, සියලු ලෝකයන් දන්නාහ, ශ්‍රෙෂ්ඨයහ, හික්මවිය යුතු පුරුෂයන් හික්මවීමෙහි රියැදුරෙකු වැනියහ, දෙවිමිනිසුන්ට ගුරුවරයෙක් වූහ, බුද්ධයහ, භාග්‍යවත්හ යනුවෙන් බුදුන් කෙරෙහි නොසැලෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද,

[4] “හෙතෙම බුදුන් කෙරෙහිවූ ඒ නොසැලෙන ශ්‍රද්ධාවෙන් සතුටුව දහවල් කාලයෙහි විවේකය සඳහාද රාත්‍රි කාලයෙහි විවේකය සඳහාද මත්තෙහි උත්සාහ නොකරයි. මෙසේ ප්‍රමාදව වාසය කරන්නාවූ ඔහුට සතුට නූපදියි. සතුට නොමැති කල්හි ප්‍රීතිය නූපදියි. ප්‍රීතිය නොමැති කල්හි සන්සිඳීම ඇති නොවේ. සන්සිඳීම නැති කල්හි දුකසේ වාසය කරයි. දුකින් යුක්ත වූවහුගේ සිත එකඟ බවට නොපැමිණෙයි. එකඟ නොවූ සිතෙහි සමථ විදර්ශනා ධර්මයෝ පහළ නොවෙත්. සමථ විදර්ශනා ධර්මයන්ගේ පහළ නොවීමෙන් ප්‍රමාදව වාසය කරන්නේය යන සංඛ්‍යාවට පැමිණෙයි.

[5] “තවද නන්දිය, ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය යහපත් කොට වදාරණ ලදී. ප්‍රත්‍යක්ෂ ඤාණයෙන් තමන් විසින්ම දැක්කයුතුය. මාර්ගයාගේ පැවැත්මට අනතුරුව දෙන ඵල ඇති බැවින් කල් නොයවා දෙන ගුණ ඇත්තේය. එව, බලව, යන විධානයට සුදුසුය. සිත්හි ඉපිද විය යුතුය. නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහි ලා වෙන් වෙන් වශයෙන් දැක්ක යුතුය යනුවෙන් ධර්මය කෙරෙහි නොසෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද,

[6] “හෙතෙම ධර්මය කෙරෙහිවූ ඒ නොසැලෙන ශ්‍රද්ධාවෙන් සතුටුව දහවල් කාලයෙහි විවේකය සඳහාද රාත්‍රි කාලයෙහි විවේකය සඳහාද මත්තෙහි උත්සාහ නොකරයි. මෙසේ ප්‍රමාදව වාසය කරන්නාවූ ඔහුට සතුට නූපදියි. සතුට නොමැති කල්හි ප්‍රීතිය නූපදියි. ප්‍රීතිය නොමැති කල්හි සන්සිඳීම ඇති නොවේ සන්සිඳීම නැති කල්හි දුකසේ වාසය කරයි. දුකින් යුක්තවූවහුගේ සිත එකඟ බවට නොපැමිණෙයි. එකඟ නොවූ සිතෙහි සමථ විදර්ශනා ධර්මයෝ පහළ නොවෙත්. සමථ විදර්ශනා ධර්මයන්ගේ පහළ නොවීමෙන් ප්‍රමාදව වාසය කරන්නේය යන සංඛ්‍යාවට පැමිණෙයි.

[7] “තවද නන්දිය, ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මනාව පිළිපන්නේය. සුදුසුව පිළිපන්නේය, ගරු බුහුමනට යොග්‍යව පිළිපන්නේය, යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අටදෙනෙක් වෙත්ද, මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙළ කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. තුටුපඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළිගැන්මට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසුවූයේය. ඇඳිලිකිරීමට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පින් කුඹුරය’ යනුවෙන් සංඝයා කෙරෙහි නොසෙල්වන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද.

[8] “හෙතෙම සංඝයා කෙරෙහි වූ ඒ නොසැලෙන ශ්‍රද්ධාවෙන් සතුටුව දහවල් කාලයෙහි විවේකය සඳහාද රාත්‍රි කාලයෙහි විවෙකය සඳහාද මත්තෙහි උත්සාහ නොකරයි. මෙසේ ප්‍රමාදව වාසය කරන්නාවූ ඔහුට සතුට නූපදියි. සතුට නොමැති කල්හි ප්‍රීතිය නූපදියි. ප්‍රීතිය නොමැතිකල්හි සන්සිඳීම ඇතිනොවේ. සන්සිඳීම නැතිකල්හි දුකසේ වාසයකරයි. දුකින් යුක්තවූවහුගේ සිත එකාබද්ධ බවට නොපැමිණෙයි. එකඟ නොවූ සිතෙහි සමථ විදර්ශනා ධර්මයෝ පහළ නොවෙත්. සමථ විදර්ශනා ධර්මයන්ගේ පහළ නොවීමෙන් ප්‍රමාදව වාසය කරන්නේය. යන සංඛ්‍යාවට පැමිණෙයි.

‘තවද නන්දිය ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ නොකැඩුනාවූද, නො සිදුරුවූද, නො ලපවූද නො තිත්වූද, නිදොස්වූද, නුවණැත්තන් විසින් පසස්නා ලැබුවාවූද, තෘෂ්ණා දෘෂ්ටි දෙකින් අල්ලාගනු නොලැබුවාවූද, සිත එකඟ කරන්නාවූද, ආර්‍ය්‍යයන් කැමතිවූ සීලයෙන් යුක්ත වෙයිද,

[9] “හෙතෙම ඒ අරියකාන්ත සීලයෙන් සතුටුවූයේ මත්තෙහි දහවල් කාලයෙහි විවේකය පිණිසද රාත්‍රි කාලයෙහි විවේකය පිණිසද උත්සාහ නොකරයි. මෙසේ ප්‍රමාදව වාසය කරණ ඔහුට සතුට නැත. සතුට නැතිකල්හි ප්‍රීතිය නැත. ප්‍රීතිය නැතිකල්හි සංසිඳීම නැත. සංසිඳීම නැති කල්හි දුක් සහිතව වාසය කරයි. දුකින් යුක්තවූවහුගේ සිත සමාධියට නොපැමිණෙයි. සමාධිය නැති සිතෙහි ධර්මයන් පහළ නොවෙත්. ධර්මයන් පහළනොවීමෙන් ප්‍රමාදව වාසය කරන්නේය. යන සංඛ්‍යාවට පැමිණේ. නන්දිය මෙසේ වනාහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ප්‍රමාදව වාසය කරන්නෙක් වෙයි.

[10] “නන්දිය, කෙසේනම් ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ අප්‍රමාදව වාසය කරන්නෙක් වෙයිද? නන්දිය මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙමේ මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්යහ සම්‍යක් සම්බුද්ධයහ. විජ්ජාචරණ සම්පන්නයහ. සුගතයහ. ලොකවිදූහ. අනුත්තර පුරිසදම්මසාරථි වනසේක. දෙවි මිනිසුන්ගේ ශාස්තෲ වනසේක. චතුස්සත්‍යය අවබොධකළ සේක. භාග්‍යවත්සේකැයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයි.

[11] “හෙතෙම බුදුරජාණන් වහන්සේ කෙරෙහිවූ අචල ශ්‍රද්ධාවෙන් සතුටු නොවී මත්තෙහි දවල් කාලයෙහි විවේකය සඳහාද රාත්‍රිකාලයෙහි විවේකය සඳහාද උත්සාහ කෙරෙයි. මෙසේ අප්‍රමාදව වාසයකරන ඔහුට සතුටු ඇතිවෙයි. සතුටු වූවාහුට ප්‍රීතිය ඇතිවෙයි. ප්‍රීතිය ඇත්තහුට සංසිඳීම ඇතිවෙයි සංසිඳුණහුට සැපය ඇතිවෙයි. සුවපත් වූවහුගේ සිත එකඟ වෙයි. සිත එකඟවූකල්හි සමථ විදර්ශනා ධර්මයෝ පහළවෙත්. ධර්මයන් පහළවීමෙන් අප්‍රමාදව වාසය කරන්නේය යන සංඛ්‍යාවට පැමිණෙයි.

[12] (මේ ඡෙදය මේ සූත්‍රයේ 5 වෙනි ඡෙදය මෙනි)

[13] “හෙතෙම ධර්මය කෙරෙහිවූ අචල ශ්‍රද්ධාවෙන් සතුටු නොවී මත්තෙහි දහවල් කාලයෙහි විවේකය සඳහාද රාත්‍රි කාලයෙහි විවේකය සඳහාද උත්සාහ කෙරෙයි. මෙසේ අප්‍රමාදව වාසයකරන ඔහුට සතුටු ඇතිවෙයි. සතුටු වූවහුට ප්‍රීතිය ඇතිවෙයි. ප්‍රීතිය ඇත්තහුට සංසිඳීම ඇතිවෙයි. සංසිඳුනහුට සැපය ඇතිවෙයි සුවපත්වූවහුගේ සිත එකඟවෙයි. සිත එකඟවූ කල්හි සමථ විදර්ශනා ධර්මයෝ පහළ වෙත්. ධර්මයන් පහළවීමෙන් අප්‍රමාදව වාසය කරන්නේය යන සංඛ්‍යාවට පැමිණෙයි.

[14] (මේ ඡෙදය මේ සූත්‍රයේ 7 වෙනි ඡෙදය මෙනි.)

[15] “හෙතෙම සංඝයා කෙරෙහිවූ ඒ නොසැලෙන ශ්‍රද්ධාවෙන් සතුටු නොවී මත්තෙහි දහවල් කාලයෙහි විවේකය සඳහාද රාත්‍රි කාලයෙහි විවෙකය සඳහාද උත්සාහ කරයි. මෙසේ අප්‍රමාදව වාසය කරන්නාවූ ඔහුට සතුට උපදියි. සතුට ඇති කල්හි ප්‍රීතිය උපදියි. ප්‍රීතිය ඇතිකල්හි සන්සිඳීම ඇතිවේ. සන්සිඳීම ඇතිකල්හි සුවසේ වාසයකරයි. සැපයෙන් යුක්තවූවහුගේ සිත එකඟබවට පැමිණෙයි. එකඟවූ සිතෙහි සමථ විදර්ශනා ධර්මයෝ පහළ වෙත්. සමථ විදර්ශනා ධර්මයන්ගේ පහළවීමෙන් අප්‍රමාදව වාසය කරන්නේය, යන සංඛ්‍යාවට පැමිණෙයි.

[16] (මේ ඡෙදය මේ සූත්‍රයේ 8 වෙනි ඡෙදයේ දෙවෙනි කොටස මෙනි)

[17] හෙතෙම ඒ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සතුටුනොවී මත්තෙහි දවල් කාලයෙහි විවේකය පිණිසත් රාත්‍රි කාලයෙහි විවේකය පිණිසත් උත්සාහ කරයි. මෙසේ අප්‍රමාදව වාසය කරන්නාවූ ඔහුට සතුට උපදියි. සතුටුවූවහුට ප්‍රීතිය උපදියි, ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි, සංසිඳුනු කය ඇත්තේ සැපය විඳීයි, සැපවත් වූවහුගේ සිත එකඟවෙයි. එකඟ වූ සිතෙහි ධර්මයෝ පහළවෙත්, ධර්මයන් ගේ පහළවීමෙන් අප්‍රමාදව වාසය කරන්නේය යන සංඛ්‍යාවට පැමිණේ නන්දිය, මෙසේ වනාහි ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ අප්‍රමාදව වාසය කරන්නේ වේයයි” වදාළේය.

පුඤ්ඤාභිසන්දවග්ගො චතුත්ථො.