සංයුත්තනිකායො

මහා වර්ගය

11. සොතාපත්ති සංයුත්තය

1. වේළුද්වාර වර්ගය

7. වෙළුද්වාර සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් නුවර චාරිකාවෙහි හැසිරෙනසේක් මහත්වූ භික්ෂු සංඝයා සමග කොසොල් රට වෙළුද්වාර නම් බමුණුගම යම් තැනෙක්හිද, එතැනට වැඩිසේක. වෙළුද්වාර ගම්වාසී බ්‍රාහ්මණ ගෘහපතියෝ ශාක්‍යපුත්‍රවූ ශාක්‍යකුලයෙන් පැවිදිවූ, ශ්‍රමණ භවත් ගෞතමතෙම මහත්වූ භික්ෂු සංඝයා සමග කොසොල්රට චාරිකාවෙහි වඩින්නේ වෙළුද්වාර ගමට පැමිණියේයයි ඇසුවාහුය.

ඒ භවත් ගෞතමයන් වහන්සේගේ මෙවැනි යහපත් වූ කීර්ති ඝෝෂාවක් උස්ව පැනනැංගේය. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ අර්හත් වනසේක. සම්‍යක් සම්බුද්ධයහ. විජ්ජාචරණ සම්පන්නයහ. සුගතයහ. ලෝකවිදූහ. පුරුෂයන් දමනය කිරීමෙහි තමහට වඩා උතුම් කෙනෙක් නැතියහ. දෙවිමිනිසුන්හට ශාස්තෲ වනසේක. බුද්ධයහ. භාග්‍යවත් වන සේක. උන්වහන්සේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, මහණ බමුණන් සහිත, දෙවිමිනිසුන් සහිත මේ සත්ව ප්‍රජාව තෙමේම දැන, ප්‍රත්‍යක්ෂකොට දෙශනා කරනසේක. උන්වහන්සේ මුල යහපත් වූ, මැද යහපත් වූ, අග යහපත්වූ අර්ථ සහිතවූ ව්‍යඤ්ජන සහිතවූ, ධර්මය දෙශනා කරනසේක. මුළුමනින් සම්පූර්ණවූ, පිරිසිදුවූ බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරනසේක. එවැනි රහතුන්ගේ දැකීම වනාහි යහපත් වේයයි සිතූහ.

ඉක්බිති වෙළුද්වාර ගම්වාසී බ්‍රාහ්මණ ගෘහපතියෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියාහුය පැමිණ ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වූවාහුය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එක් පසෙක හුන්නාහුය. ඇතැම්කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිළිබැඳ හිඳගත්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි (තමන්ගේ) නම් ගොත් කියා එක්පසෙක හුන්නාහුය. ඇතැම් කෙනෙක් නිශ්ශබ්දව එක් පසෙක හුන්නාහුය. එක්පසෙක හුන්නාවූ වෙළුද්වාර ගම්වාසී බ්‍රාහ්මණ ගෘහපතියෝ භාග්‍යවතුන් වහන්සේට මෙය කීවාහුය.

“භවත් ගෞතමයන් වහන්ස, අපි ගිහිගෙයි වෙසෙන්නෙමු. කසීසලු සහ සඳුන්සුවඳ පරිභොග කරන්නෙමු මල් ගඳ විලවුන් දරන්නෙමු. රන් රිදී මසු කහවණු ඉවසන්නෙමු. (ඒ අපි) කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගතිඇති ස්වර්ගලෝකයෙහි උපදින්නෙමු යන කැමැත්ත ඇත්තෝ ඡන්දය ඇත්තෝ, අභිප්‍රාය ඇත්තෝ වෙමු. මෙසේ කැමැත්තා වූ, මෙසේ ඡන්දය ඇත්තාවූ මෙසේ අභිප්‍රාය ඇත්තාවූ ඒ අපට යම් සේ ගිහිගෙයින් වසන්නෙමුද, කසීසලු සහ සඳුන් සුවඳත් පරිභොග කරන්නෙමුද, මල් ගඳ විලවුනුත් දරන්නෙමුද, රන්රිදී මසු කහවණුත් ඉවසන්නෙමුද, කයබිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහිත් උපදින්නෙමුද එවැනි ධර්මයක් අපට දෙශනාකරන සේක්වා.”

“ගෘහපතියෙනි, තොපට තමා කෙරෙහි පමුණුවා දතයුතු ධර්ම ක්‍රමයක් දෙශනා කරන්නෙමි එය අසව්. මනා කොට මෙනෙහි කරව්. දෙසනා කරන්නෙම්.”-“එසේය, පින්වතුන් වහන්සැයි” වෙළුද්වාර ගම්වැසි බ්‍රාහ්මණ ගෘහපතියෝ භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නාහුය. භාග්‍යවතුන් වහන්සේ මෙය දෙශනා කළසේක.

“ගෘහපතියෙනි, තමා කෙරෙහි පමුණුවා දැනගතයුතු ධර්ම ක්‍රමය කවරේද? ගෘහපතියෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම මෙසේ සිතයි. ‘මම වනාහි ජීවත්වෙනු කැමැත්තේ, නො මැරෙනු කැමැත්තේ, සැප කැමැත්තේ වෙමි’ දුක් පිළිකුල් කරන්නෙමි.

‘යමෙක් වනාහි ජීවත්වෙනු කැමති, නොමැරෙනු කැමති, සැප කැමති දුක් පිළිකුල් කරන මා ජීවිතයෙන් තොර කරන්නේද, එය මට අප්‍රිය වෙයි. මනාප නොවෙයි. මම ජීවත්වෙනු කැමැත්තාවූ, නොමැරෙනු කැමැත්තාවූ, සැප කැමැත්තාවූ, දුක් පිළිකුල් කරන්නාවූ, අන්‍යයෙකු ජීවිතයෙන් තොර කරන්නෙම්ද, අන්‍යයාටත් එය අප්‍රිය වෙයි අමනාපවෙයි. යම් මේ ධර්මයක් තෙම මට අප්‍රිය අමනාපවේද, එය අනුන්ටත් ඒ ධර්මය අප්‍රිය වෙයි. අමනාප වෙයි. යම් මේ ධර්මයක් වනාහි මට අප්‍රියවේද, අමනාපවේද, කෙසේ මම අනිකෙකු ඒ හා සම්බන්ධ කෙරෙම්ද’ යනුවෙනි. හෙතෙම මෙසේ සලකා තමාද ප්‍රාණඝාතයෙන් වෙන්වූයේ වෙයි. අනුන්ද ප්‍රාණඝාතයෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. ප්‍රාණඝාතයෙන් වෙන්වීමෙහි ගුණද කියයි. මෙසේ ඔහුගේ මේ කායික පැවැත්ම තුන් ආකාරයකින් පිරිසිදු වූයේ වෙයි.

“නැවතද ගෘහපතියෙනි, ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම මෙසේ කල්පනා කෙරෙයි. ‘යමෙක් වනාහි මා සතු නුදුන් දෙයක් සොරෙන් පැහැර ගනීද, එය මට ප්‍රිය නොවෙයි. මනාප නොවෙයි. මමද අන්සතු නුදුන් දෙයක් සොරෙන් පැහැර ගන්නෙම්ද, එය අනුන්හටද ප්‍රිය නොවෙයි. මනාප නොවෙයි. යම් මේ ධර්මයක් වනාහි මට අප්‍රිය වෙයිද, අමනාප වෙයිද, අනුන්ටත් ඒ ධර්මය අප්‍රිය වෙයි. අමනාප වෙයි. යම් මේ ධර්මයක් වනාහි මට අප්‍රියවේද, අමනාප වෙයිද, මම කෙසේ අනිකකු ඒ හා සම්බන්ධ කෙරෙම්ද?’ යනුවෙනි. හෙතෙම මෙසේ සලකා තමාද හොරකමින් වැලකුණේ වෙයි. අනුන්ද හොරකමින් වැලකීමෙහි සමාදන් කරවයි. හොරකමින් වෙන්වීමෙහි ගුණද කියයි. ඔහුගේ මේ කාය සමාචාරය මෙසේ තුන් ආකාරයකින් පිරිසිදු වූයේ වෙයි.

“නැවතද ගෘහපතියෙනි, ආර්‍ය්‍යශ්‍රාවකතෙම මෙසේ කල්පනා කෙරෙයි. ‘යමෙක් වනාහි මාගේ ස්ත්‍රින් කෙරෙහි හැසිරීමට පැමිණෙන්නේද, එය මට ප්‍රිය නොවෙයි. මනාප නොවෙයි. මමද අනුන්ගේ ස්ත්‍රීන් කෙරෙහි හැසිරෙන්නෙම්ද එය අනුන්ටත් ප්‍රිය නොවේ. මනාප නොවේ. යම් මේ ධර්මයක් මට අප්‍රියද අමනාපද ඒ ධර්මය වනාහි අනුන්ටත් අප්‍රිය වෙයි. අමනාප වෙයි. යම් මේ ධර්මයක් වනාහි මට අප්‍රියවේද අමනාප වේද, මම කෙසේ අනිකෙකු ඒ හා සම්බන්ධ කෙරෙම්ද?” කියායි. හෙතෙම මෙසේ සලකා, තෙමේද කාමයන්හි වරදවා හැසිරීමෙන් වැලකුණේ වෙයි. අනුන්ද කාමයන්හි වරදවා හැසිරීමෙන් වැලකීමෙහි සමාදන් කරවයි. කාමයන්හි වරදවා හැසිරීමෙන් වැලකීමෙහි ගුණද කියයි. ඔහුගේ මේ කාය සමාචාරය මෙසේ තුන් ආකාරයකින් පිරිසිදු වූයේ වෙයි.

“නැවතද ගෘහපතියෙනි, ආර්‍ය්‍යශ්‍රාවක තෙම මෙසේ කල්පනා කෙරෙයි. ‘යමෙක් වනාහි බොරු කීමෙන් මාගේ අර්ථය බිඳින්නේද, එය මට ප්‍රිය නොවෙයි. මනාප නොවෙයි. මමද අනුන්ගේ අර්ථය බොරු කීමෙන් බිඳින්නෙම්ද, එය අනුන්ටත් අප්‍රිය වෙයි. අමනාප වෙයි. යම් මේ ධර්මයක් මට අප්‍රියවේද, අමනාප වේද, ඒ ධර්මය අනුන්ටත් අප්‍රිය වෙයි. අමනාප වෙයි. යම් මේ ධර්මයක් වනාහි මට අප්‍රියද අමනාපද මම කෙසේ අනිකෙකු ඒ හා සම්බන්ධ කෙරෙම්ද?’ යනුවෙනි. හෙතෙම මෙසේ කල්පනා කොට, තමාද බොරුකීමෙන් වෙන්වූයේ වෙයි. අනුන්ද බොරු කීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. බොරු කීමෙන් වෙන් වීමෙහි ගුණද කියයි. ඔහුගේ වචනයේ පැවැත්ම මෙසේ තුන්ආකාරයකින් පිරිසිදුවූයේ වෙයි.

“නැවතද ගෘහපතියෙනි, ආර්‍ය්‍යශ්‍රාවක තෙම මෙසේ කල්පනා කෙරෙයි. ‘යමෙක් වනාහි කේලාම් කියා මාගේ මිතුරන් බිඳින්නේද එය මට ප්‍රිය නොවෙයි. මනාප නොවෙයි. මමද කේලාම් කියා අනුන්ගේ මිතුරන් බිඳින්නෙම් නම් එය අනුන්ටද ප්‍රිය නොවෙයි. මනාප නොවෙයි. යම් මේ ධර්මයක් වනාහි මට අප්‍රියද අමනාපද ඒ ධර්මය අනුන්ටත් අප්‍රියවෙයි. අමනාප වෙයි. යම් මේ ධර්මයක් වනාහි මට අප්‍රියද අමනාපද මම අනිකෙකු කෙසේ ඒ හා සම්බන්ධ කරන්නෙම්ද?” යනුවෙනි. හෙතෙම මෙසේ කල්පනා කොට, තමාද කේලාම් කීමෙන් වෙන්වූයේ වෙයි. අනුන්ද කේලාම් කීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. කේලාම් කීමෙන් වෙන්වීමෙහි ගුණද කියයි. මෙසේ ඔහුගේ වචනයේ පැවැත්ම තුන්ආකාරයකින් පිරිසිදුවූයේ වෙයි.

“නැවතද ගෘහපතියෙනි, ආර්‍ය්‍යශ්‍රාවක තෙම මෙසේ කල්පනා කෙරෙයි. ‘යමෙක් වනාහි මට ඵරුස වචනයෙන් ගටා බණින්නේද එය මට ප්‍රිය නොවේ. මනාප නොවේ. මමද ඵරුස බසින් අනුන්ට ගටා බණින්නෙම් නම් එය අනුන්ටද ප්‍රිය නොවේ මනාප නොවේ. යම් මේ ධර්මයක් වනාහි මට අප්‍රියද අමනාපද ඒ ධර්මය අනුන්ටත් අප්‍රිය වෙයි. අමනාප වෙයි. යම් මේ ධර්මයක් වනාහි මට අප්‍රියද අමනාපද මම අනිකකු ඒහා කෙසේ සම්බන්ධ කරවන්නෙම්ද?’ කියායි. හෙතෙම මෙසේ කල්පනාකොට තමාද ඵරුස වචනයෙන් වෙන්වූයේ වෙයි. අනුන්ද ඵරුස වචනයෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි ඵරුස වචනයෙන් වෙන්වීමෙහි ගුණද කියයි. මෙසේ ඔහුගේ වචනයේ පැවැත්ම තුන්ආකාරයකින් පිරිසිදුවූයේ වෙයි.

“නැවතද ගෘහපතියෙනි, ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ කල්පනා කෙරෙයි. ‘යමෙක් වනාහි මට හිස් වචන කියන්නේද එය මට ප්‍රිය නොවෙයි. මනාප නොවෙයි. මමද අනුන්ට හිස්වචන කියන්නෙම් නම් එය අනුන්ටද ප්‍රියනොවේ මනාප නොවෙයි. යම් මේ ධර්මයක් වනාහි මට අප්‍රියද අමනාපද ඒ ධර්මය අනුන්ටත් අප්‍රිය වෙයි, අමනාප වෙයි. යම් මේ ධර්මයක් වනාහි මට අප්‍රියද අමනාපද මම එහි අනිකකු කෙසේ සම්බන්ධ කරවන්නෙම්ද? කියායි. හෙතෙම මෙසේ කල්පනාකොට තමාද හිස් වචන කීමෙන් වෙන්වූයේ වෙයි. අනුන්ද හිස් වචන කීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. හිස් වචන කීමෙන් වෙන්වීමෙහි ගුණද කියයි මෙසේ ඔහුගේ වචනයේ පැවැත්ම තුන් ආකාරයකින් පිරිසිදුවූයේ වෙයි.

“හෙතෙම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූවාහුය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විජ්ජාචරණ සම්පන්නයහ, සුගතයහ, ලොකවිදූහ, පුරුෂයන් දමනය කිරීමෙහි අති උතුම් රියැදුරෙකු හා සමානයහ, දෙවිමිනිසුන්ගේ ශාස්තෲහ, චතුරාර්‍ය්‍යසත්‍යය අවබොධ කළසේක, භාග්‍යවත්හ කියායි.

“ධර්මය කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්ත වූවාහුය. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය. කල් නොයවා විපාක දෙන්නේය. එව බලවයි, පෙන්විය හැකිගුණ ඇත්තේය තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්ත වූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දත යුත්තේය කියායි.

“සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වූවාහුය. භාග්‍යවතුන්වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්‍රතිත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය. ගරු බුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අටදෙනෙක් වෙත්ද, මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙළ කළ දෙය පිළිගැනීමට සුදුසු වූසේක. ඇඳිලි කිරීමට (වැඳීමට) සුදුසු වූයේය. ලොකයාගේ උතුම් පිං කුඹුරය, කියායි.

“ගෘහපතියෙනි, යම් තැනක සිට ආර්‍ය්‍යශ්‍රාවක තෙම වනාහි මේ ධර්ම සතෙන් යුක්ත වන්නේද හෙතෙම කැමතිවන්නේ මේ කැමැති වන්නාවූ කරුණු සතරින් තෙමේම තමහට ප්‍රකාශකරන්නේය කෙසේද? මම ක්ෂය කළ නිරය ඇත්තේ වෙමි. ක්ෂය කළ තිරිසන් අපාය ඇත්තේ වෙමි. ක්ෂය කළ ප්‍රේතවිෂය ඇත්තේවෙමි. ක්ෂය කළ නපුරු ගති ඇති, විසම වැටීම් ඇති අපාය ඇත්තේ වෙමි. අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත් බව නියතවූ, රහත් බව පිහිට කොට සෝවාන්වූවෙක් වෙමි’ කියායි.

මෙසේ වදාළ කල්හි වෙළුද්වාර ගම්වාසී බ්‍රාහ්මණ ගෘහපතියෝ භාග්‍යවතුන් වහන්සේට මෙය කීවාහුය. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති, භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති, භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු හෝ කෙරේද, සැඟවූවක් විවෘත හෝ කෙරේද මංමුළාවූවෙකුට මාර්ගය හෝ කියයිද, ඇස්ඇත්තෝ රූප දකිත්වායි, අන්ධකාරයෙහි තෙල් පහනක් හෝ දරාද, එපරිද්දෙන් භවත් ගෞතමයන්වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්මය දේශනා කරනලදී. ස්වාමීනි, අපද අද පටන් දිවිහිමියෙන් භාග්‍යවතුන් වහන්සේද ධර්මයද සංඝයාද සරණ යමු. භවත් ගෞතමයන් වහන්සේ දිවිහිමිකොට සරණ ගිය උපාසකයන් කොට අප දරණ සේක්වා.”