සංයුත්තනිකායො

මහා වර්ගය

11. සොතාපත්ති සංයුත්තය

1. වේළුද්වාර වර්ගය

8. ගිඤ්ජකාවසථ සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ඤාතික නම් ගමෙහිවූ උළුගෙහි වැඩ වසනසේක. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.

[2] “ස්වාමීනි, සාළ්හ මහණතෙම කළුරිය කෙළේය. උන්වහන්සේගේ ගතිය කුමක්ද, පරලොව කුමක්ද, ස්වාමීනි, නන්දානම් මෙහෙණ කළුරිය කළාය. ඇගේ ගතිය කුමක්ද, පරලොව කුමක්ද? ස්වාමීනි, සුදත්ත නම් උපාසකතෙම කළුරිය කෙළේය. ඔහුගේ ගතිය කුමක්ද? පරලොව කුමක්ද, ස්වාමීනි, සුජාතා නම් උපාසිකාව කළුරිය කළාය. ඇගේ ගතිය කුමක්ද? පරලොව කුමක්ද?” යනුයි

[3] “ආනන්දය, කළුරිය කළ සාළ්හ මහණතෙම ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධිය හා අර්හත්ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහිම තෙමේ දැන, ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ විසීය.

“ආනන්දය, කළුරිය කළාවූ නන්දා මෙහෙණ ඕරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් ඕපපාතිකවූවා, ඒ බ්‍රහ්ම ලෝකයෙන් නැවත නොඑන ස්වභාව ඇත්තී එහිදී පිරිනිවන් පාන්නීය.

“ආනන්දය, කළුරිය කළාවූ සුදත්ත ගෘහපතිතෙම ත්‍රිවිධ සංයෝජනයන් ක්ෂය කිරීමෙන් රාග ද්වෙෂ මෝහයන් තුනී කිරීමෙන් සකෘදාගාමීව එක් වරක් පමණක් මේ ලෝකයට අවුත් දුක් කෙළවර කරන්නේය.

“ආනන්දය, කාලක්‍රියා කළාවූ සුජාතා උපාසිකාතොමෝ ත්‍රිවිධ සංයෝජනයන් ක්ෂය කිරීමෙන් අපායෙහි නොවැටීම ස්වභාව කොට ඇත්තාවූ රහත්බවට මතු මාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් තැනැත්තියක් වූවාය.

[4] “ආනන්දය, මිනිසෙකු මැරෙන්නේය යන මෙය පුදුමයක් නොවේ. ඉදින් ඒ ඒ මිනිසුන් මළ කල්හි මා කරා පැමිණ, මේ කරුණ අසන්නහුනම්, ආනන්දය, මේ ඇසීම තථාගතයන් වහන්සේට වෙහෙසක්ම වන්නේය. ආනන්දය, ඒ නිසා ධර්මාදාස (දහම් කැටපත) නම් ධර්ම ක්‍රමයක් දෙශනා කරන්නෙමි. එයින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවකතෙම කැමතිවන්නේ නම් ‘මම ක්ෂය කරනලද නිරය ඇත්තේ වෙමි. ක්ෂය කරන ලද තිරිසන් යෝනි ඇත්තේ වෙමි. ක්ෂය කරන ලද ප්‍රේත විෂය ඇත්තේ වෙමි. ක්ෂය කරන ලද විෂම වැටීම් ඇති දුර්ගති නම්වූ අපාය ඇත්තේ වෙමි. අපායෙහි වැටෙන ස්වභාවය නැත්තාවූ නියතවූ මතු මාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙක් වෙමැයි’ තෙමේම තමහට කියන්නේය.

[5] “ආනන්දය, යම් ධර්මයකින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම වනාහි කැමැතිවන්නේ ‘මම ක්ෂය කරන ලද නිරය ඇත්තේවෙමි. ක්ෂය කරන ලද තිරිසන් යෝනි ඇත්තේ වෙමි. ක්ෂය කරන ලද ප්‍රේත විෂය ඇත්තේ වෙමි. ක්ෂය කරන ලද විෂම වැටීම් ඇති දුර්ගති නම්වූ අපාය ඇත්තේවෙමි. අපායෙහි වැටෙන ස්වභාවය නැත්තාවූ, නියතවූ මතු මාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙක් වෙමියි තෙමේම තමහට ප්‍රකාශ කරන්නේද ඒ ධම්මාදාස නම්වූ ධර්මක්‍රමය කවරේද?

[6] “ආනන්දය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේත් අර්හත්වනසේක. සම්‍යක් සම්බුද්ධවන සේක. විජ්ජාචරණ සම්පන්නවන සේක. සුගතවන සේක ලෝකවිදූවන සේක. අනුත්තර පුරිසදම්මසාරථි වන සේක. දෙවිමිනිසුන්ගේ ශාස්තෲවන සේක. චතුස්සත්‍යය අවබොධකළ සේක. භාග්‍යවත්සේකැයි බුදුරජාණන්වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයි.

‘භාග්‍යවතුන්වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය. කල් නොයවා විපාක දෙන්නේය. එව බලවයි, පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්ත වූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දත යුත්තේයයි මෙසේ ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයි.

“භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්‍රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය. ගරුබුහුමනට යොග්‍යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අටදෙනෙක් වෙත්ද, මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙලකළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූසේක. ඇඳිලි කිරීමට (වැඳීමට) සුදුසු වූයේය. ලොකයාගේ උතුම් පිං කුඹුරය. මෙසේ සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි.

“නොකැඩුනාවූ, සිදුරු නොවූ, කබර නොවූ, කැළල් නොවූ, නිදහස්වූ, නුවණ ඇත්තන් විසින් ප්‍රශංසා කරන ලද්දාවූ තෘෂ්ණා දෘෂ්ටීන් විසින් පරාමර්ෂණය නොකරන ලද්දාවූ සමාධිය පිණිස පවතින්නාවූ ආර්‍ය්‍යයන් කැමැති ශීලයෙන් යුක්ත වූයේවෙයි.

[7] “ආනන්දය, යම් ධර්ම ක්‍රමයකින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම කැමැතිවන්නේ ‘මම ක්ෂය කරන ලද නිරය ඇත්තේ වෙමි ක්ෂය කරන ලද තිරිසන් යෝනි ඇත්තේ වෙමි ක්ෂය කරන ලද ප්‍රේත විෂය ඇත්තේ වෙමි. ක්ෂයකරන ලද විසමවූ වැටීම් ඇති, දුර්ගති නම්වූ අපාය ඇත්තේ වෙමි. අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තාවූ නියතවූ මතු මාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙක් වෙමියි’ තෙමේම තමහට ප්‍රකාශ කරන්නේද, ආනන්දය මේ ධර්මාදාස නම්වූ ඒ ධර්මක්‍රමය වෙයි.”