සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

2. ධම්මචක්කප්පවත්ත වර්ගය

1. ධම්මචක්කප්පවත්ත සූත්‍රය

[1] මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස්නුවර සමීපයෙහිවූ මිගදාය නම්වූ ඉසිපතනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ පස්වග භික්ෂූන්ට ඇමතූහ.

[2] “මහණෙනි, පැවිද්දා විසින් සේවනය නොකළ යුතු මේ දෙකෙළවරකි. (එනම්) ලාමකවූ ගැමියන්ට අයත්වූ පෘථග්ජනයන්ට අයත්වූ උතුම් නොවූ අනර්ථය පිණිස පවතින්නාවූ වස්තු කාමයන්හි ක්ලෙශ කාමය කරණකොට යම් ඇලී වාසය කිරීමක් වේද දුක්වූ ලාමකවූ අනර්ථය පිණිස පවත්නාවූ යම් ඒ කයට දුක් ගෙන දෙන පිළිවෙතක යෙදීමක් වේද යන මේ අන්ත දෙකය.

“මහණෙනි, ඒ මේ දෙකෙළවරට නොපැමිණ තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ප්‍රඥාචක්ෂුව ඇති කරන්නාවූ, ඥානය ඇති කරන්නාවූ මධ්‍යම ප්‍රතිපදාව කෙලෙසුන්ගේ සංසිඳීම පිණිස චතුස්සත්‍යය දැනීම පිණිස චතුස්සත්‍යය අවබෝධය පිණිස නිවන් පිණිස පවතිත්.

“මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් අවබොධ කරන ලද්දාවූ ප්‍රඥා චක්ෂුව ඇති කරන්නාවූ ඥානය ඇති කරන්නාවූ කෙළෙසුන්ගේ සංසිඳීම පිණිස චතුස්සත්‍යයාගේ දැනීම පිණිස චතුස්සත්‍යය අවබොධය පිණිස නිවන් පිණිස පවතින්නාවූ ඒ මධ්‍යම ප්‍රතිපදාව කවරීද?

“මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ කවරේදයත්? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාවය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මොහුයි.

“මහණෙනි, මේ වනාහි තථාගතයන් විසින් අවබෝධ කරන ලද ප්‍රඥා චක්ෂුස ඇති කරන්නාවූ ඥානය ඇති කරන්නාවූ කෙළෙසුන්ගේ සංසිඳීම පිණිස චතුස්සත්‍යයාගේ දැනීම පිණිස චතුස්සත්‍ය අවබොධය පිණිස නිවන් පිණිස පවතින්නාවූ මධ්‍යම ප්‍රතිපදාව වෙයි.

“මහණෙනි, මේ වනාහි දුක්ඛාර්‍ය්‍ය සත්‍යයයි. ඉපදීම දුකය, ජරාවද දුකය, රෝගයද දුකය, මරණයද දුකය, අප්‍රියයන් හා එක්වීම දුකය, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකය, කැමති යමක් නොලැබේද, එයද දුකය. සැකෙවින් පඤ්ච උපාදානස්කන්ධයෝම දුක් වන්නාහුය.

“මහණෙනි, මේ වනාහි දුක්ඛ සමුදයාර්ථර්‍ය්‍ය සත්‍යයයි. නැවත නැවත ඉපදීම ඇති කරන්නාවූ නන්දිරාගය හා එක්වූ ඒ ඒ ආත්මභාවයෙහි ඇලෙන්නාවූ යම් ඒ තෘෂ්ණාවක් වේද, ඒ කවරේද යත්. කාම තෘෂ්ණාවය, භවතෘෂ්ණාවය, විභව තෘෂ්ණාවයි යන මොව්හුයි

“මහණෙනි, මේ වනාහි දුක්ඛ නිරෝධ ආර්‍ය්‍ය සත්‍යයවේ. යම් ඒ තෘෂ්ණාවගේ ඉතිරි නොකොට නිරුද්ධ කිරීමක් වේද, දුරු කිරීමක් වේද, නැති කිරීමක් වේද, මිදීමක් වේද, ආලය අත්හැරීමක් වේද එයයි.

‘මහණෙනි, මේ වනාහි දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්‍ය්‍යසත්‍යය වේ. එනම් ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගමැයි. හේ කවරේද යත්? සම්‍යක්දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මොහුයි.

“මහණෙනි, පෙර නොඇසූවිරූ ධර්මයන්හි මට මේ දුක්ඛ ආර්‍ය්‍ය සත්‍යයයි. නුවණැස පහළවිය. ඥානය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය.

“මහණෙනි, පෙර නොඇසූවිරූ ධර්මයන්හි මට ඒ මේ දුක්ඛාර්‍ය්‍ය සත්‍යය පිළිසිඳ දත යුතුයයි නුවණැස පහළවිය. ඥානය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය.

“මහණෙනි, පෙර නොඇසූ විරූ ධර්මයන්හි මට මේ දුක්ඛ ආර්‍ය්‍ය සත්‍යය පිළිසිඳ දැනගන්නාලදැයි නුවණැස පහළවිය, ඥානය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය.

“මහණෙනි, මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි මේ දුක්ඛ සමුදය ආර්‍ය්‍ය සත්‍යයයි නුවණැස පහළවිය, ඥානය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.

“මහණෙනි, මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි ඒ දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය පහකළ යුතුයයි නුවණැස පහළවිය, ඥානය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.

“මහණෙනි, මට පෙර නොඇසූ විරූ ධර්ම ඒ මේ දුක්ඛ සමුදය ආර්‍ය්‍ය සත්‍යය ප්‍රහීන කරනලදැයි නුවණැස පහළවිය, ඥානය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.

“මහණෙනි, පෙර නොඇසූවිරූ ධර්මයෙහි මට මේ දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යයයි නුවණැස පහළවිය, ඥානය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.

“මහණෙනි, මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි මේ දුක්ඛ නිරොධාර්‍ය්‍ය සත්‍යය ප්‍රත්‍යක්ෂකළ යුතුයයි නුවණැස පහළවිය, ඥානය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.

“මහණෙනි, මට පෙර නොඇසූවිරූ ධර්මයෙහි මේ දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය ප්‍රත්‍යක්ෂ කරන ලදැයි මට නුවණැස පහළවිය, ඥානය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.

“මහණෙනි, පෙර නොඇසූවිරූ ධර්ම විෂයෙහි මට මේ දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදා ආර්‍ය්‍ය සත්‍යයයි නුවණැස පහළවිය, ඥානය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.

“මහණෙනි, පෙර නොඇසූවිරූ ධර්මය විෂයෙහි මේ දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදා ආර්‍ය්‍ය සත්‍යය වැඩිය යුතු යයි නුවණැස පහළවිය, ඥානය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.

“මහණෙනි, පෙර නොඅසන ලද ධර්මයන්හි මට දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්‍ය්‍ය සත්‍යය වඩන ලදැයි නුවණැස පහළවිය, ඥානය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.

“මහණෙනි, මට යම්තාක් කල් මෙසේ තුන් පැවැත්මක් (තිපරිවට්ට) ඇති, දොළොස් ආකාරයක් ඇති මේ චතුස්සත්‍යයන්හි යථාභූතඥාන දර්ශනය මනාව පිරිසිඳ නොවීද, මහණෙනි, ඒතාක් කල් මම දෙවියන් සහිතවූ බඹුන් සහිතවූ සත්වලෝකයෙහිද මහණ බඹුන් සහිතවූ දෙවි මිනිසුන් සහිත ප්‍රජාව අතරෙහිද අනුත්තරවූ සම්‍යක් සම්බොධිය අවබොධ කෙළෙමියි ප්‍රතිඥා නොකෙළෙමි.

“මහණෙනි, මට වනාහි යම් අවස්ථාවක මෙසේ තුන් පැවැත්මක් (තිපරිවට්ට) ඇති, දොළොස් ආකාරයක් ඇති, මේ චතුරාර්‍ය්‍ය සත්‍යයන්හි යථාභූතඥාන දර්ශනය මනාව පිරිසිඳ වූයේද, මහණෙනි, මම එකල්හි දෙවියන් සහිත බඹුන් සහිත ලෝකයෙහිද මහණ බමුණන් ඇතුළු දෙවි මිනිසුන් සහිතවූ ප්‍රජාවෙහිද අනුත්තරවූ සම්‍යක් අවබෝධිය අවබොධ කෙළෙමියි, ප්‍රතිඥා කෙළෙමි.

“මට වනාහි ඥාන දර්ශනය පහළවිය. මාගේ අර්හත් ඵල විමුක්තිය වෙනස් කළ නොහැකිය. මේ අන්තිම ජාතිය වන්නීය. දැන් මට නැවත ඉපදීමක් නැත” භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

සතුටු සිත් ඇති පස්වග භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්හ. මේ සූත්‍රය දෙශනා කරනු ලැබීමෙහිදී ආයුෂ්මත් අඤ්ඤා කොණ්ඩඤ්ඤ භික්ෂුවට කෙලෙස් රජස් නැති පහවූ කෙළෙස් මල ඇති ධර්මචක්ෂුස හෙවත් ශ්‍රොතාපත්ති මාර්ග ඥානය පහළවූයේය (කෙසේද?) ‘යම් කිසිවක් ඇතිවීම ස්වභාවකොට ඇත්තේද, ඒ සියල්ල නැතිවීමද ස්වභාවය කොට ඇත්තේය’ කියායි,

“භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මචක්‍රය පැවැත්වූ කල්හි වනාහි භූමිය ඇසුරුකොට වසන දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදාය නම්වූ ඉසිපතනාරාමයේදී ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් හෝ නොපැවැත්විය හැකි මේ අනුත්තරවූ ධර්මචක්‍රය පවත්වන ලදැයි” සාධුනාද පැවැත්වූහ.

“බූමාටු දෙවියන්ගේ ශබ්දය අසා චාතුර් මහාරාජික දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදාය නම්වූ ඉසිපතනාරාමයේදී ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් නොපැවැත්විය හැකි උතුම් මේ ධර්මචක්‍රය පවත්වනලදැයි’ සාධුනාද පැවැත්වූහ.

චාතුර් මහාරාජික දෙවියන්ගේ ශබ්දය අසා තාවතිංස දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදාය නම්වූ ඉසිපතනාරාමයේදී ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් නොපැවැත්විය හැකි උතුම්වූ මේ ධර්ම චක්‍රය පවත්වනලදැයි’ තාවතිංස දෙවියෝ සාධුනාද පැවැත්වූහ.

තාවතිංස දෙවියන්ගේ ශබ්දය අසා යාම දෙවියෝ ‘භාග්‍යවතුන්වහන්සේ විසින් බරණැස මිගදාය නම්වූ ඉසිපතනාරාමයේදී ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් නොපැවැත්විය හැකි උතුම් මේ ධර්මචක්‍රය පවත්වනලදැයි’ යාම දෙවියෝ සාධුකාර දුන්හ.

යාම දෙවියන්ගේ ශබ්දය අසා තුසිත දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදාය නම්වූ ඉසිපතනාරාමයේදී ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් නොපැවැත්විය හැකි උතුම්වූ මේ ධර්ම චක්‍රය පවත්වන ලදැයි’ තුසිත දෙවියෝ සාධුකාර දුන්හ.

තුසිත දෙවියන්ගේ සාධුකාර අසා නිම්මානරතී දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදාය නම්වූ ඉසිපතනාරාමයේදී ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් නොපැවැත්විය හැකි උතුම් මේ ධර්මචක්‍රය පවත්වනලදැයි’ නිම්මානරතී දෙවියෝ සාධුකාර දුන්හ.

නිම්මානරතී දෙවියන්ගේ සාධුකාර අසා පරනිර්මිත වසවර්ති දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදාය නම්වූ ඉසිපතනාරාමයේදී ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් නොපැවැත්විය හැකි උතුම් මේ ධර්ම චක්‍රය පවත්වන ලදැයි’ පරනිර්මිත වසවර්ති දෙවියෝ සාධුකාර දුන්හ.

පරනිර්මිත වසවර්ති දෙවියන්ගේ ශබ්දය අසා බ්‍රාහ්මකායික දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදායනම්වූ ඉසිපතනාරාමයේදී ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් නොපැවැත්විය හැකි උතුම්වූ මේ ධර්මචක්‍රය පවත්වනලදැයි’ බ්‍රහ්මකායික දෙවියෝ සාධුකාර දුන්හ.

මෙසේ ඒ ක්ෂණයකින් ඒ මොහොතින් බඹලොව දක්වා (සාධුකාර) ශබ්දය පැනනැංගේය. මේ දසසහශ්‍ර ලෝක ධාතුව කම්පාවිය. අතිශයින් කම්පාවිය. මහත්සේ වෙව්ලා ගියේය, දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා අප්‍රමාණවූ පහත්වූ ආලෝකයක් ලෙව්හි පහළවූයේය.

එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ “පින්වත්නි, කොණ්ඩඤ්ඤතෙම ඒකාන්තයෙන් අවබෝධ කෙළේය. පින්වත්නි, කොණ්ඩඤ්ඤතෙමේ ඒකාන්තයෙන් අවබෝධ කෙළේයයි” ප්‍රීතිවාක්‍යයක් පහළ කෙළේය. මෙය නිමිතිකොට ආයුෂ්මත් කොණ්ඩඤ්ඤ ස්ථවිරයන් වහන්සේට අඤ්ඤා කොණ්ඩඤ්ඤ යන නාමය වූයේය.